ශ්‍රී ලංකාවට අයිති කච්චතිව් ඉන්දියාවට පවරා ගැනීමේ කිසිදු හැකියාවක් නැහැ

Spread the News

ශ්‍රී ලංකාවට අයිති කච්චතිව් ඉන්දියාවට පවරා ගැනීමේ කිසිදු හැකියාවක් නැහැ

ඉන්දීය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් දැනුම් දෙයි

මහින්ද අලුත්ගෙදර source:

ශ්‍රී ලංකාවට අයිති කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීමේ හැකියාවක් නැති බවත්; පූජනීය කටයුතු සඳහා පමණක් එම දූපතට ඇතුළුවීමට ලබා දී ඇති අවසරය වැරැදි සහගත ලෙස වටහා ගනිමින් ධීවර කටයුතුවල යෙදීමේ කිසිදු අයිතියක් ඉන්දීය ධීවර ප්‍රජාවට නැති බවත් එරට මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් දැනුම් දී තිබේ.

ඉන්දියාවට අයත් භූමි ප්‍රදේශයක් ශ්‍රී ලංකාවට පවරා නොමැති බව ද එහෙයින් කච්චතිවු දූපත පවරා ගැනීමේ හැකියාවක් නැතැ යිද ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කරයි.

කච්චතිවු දූපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමැති මුතුවෙල් කරුණානිධි එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඉන්දීය මධ්‍යම රජය මේ බව සඳහන්කර තිබේ.

ඉන්දියාවට අයත් භූමි ප්‍රදේශයක් ශ්‍රී ලංකාවට පවරා දී නොමැති බව ද එම දූපත ශ්‍රී ලංකාවට අයත් වන්නක් ​බැවින් ඒ සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නැතැයි ද ඉන්දීය මධ්‍යම රජය මෙහි දී ප්‍රකාශකර ඇති අතර කච්චතිවු දූපත ඉන්දියාවට අයත් භූමියක් නොවන බව ද පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේ ඉන්දියාව සහ එවකට සිලෝන් ලෙස හැදින්වුණු ශ්‍රී ලංකාව අතර නිශ්චිත මුහුදු සීමාවක් නොපැවති අතර ඓතිහාසික සාධක, නීතිමය ප්‍රතිපාදන ඇතුළු සියලූ අංශවලින් සලකා බලා කච්චතිව් දූපත සම්බන්ධයෙන් 1976 වසරේ ඇති කරගත් එකඟතාව මත මේ සම්බන්ධයෙන් විසඳුමකට පැමිණි බවද ඉන්දිය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ.

කච්චතිවු දූපතට ඇතුළුවීමට දී ඇති අයිතිය එම දූපත වටා ඉන්දීය ධීවරයන් ධීවර කටයුතු සඳහා ලබාදී ඇති අයිතියක් ලෙස වටහා නොගත යුතු බවද ඉන්දීය මධ්‍යම රජය කරුණු දක්වා ඇත. ඉන්දියාවට අයත් කිසිදු භූමි ප්‍රදේශයක් පවරාදීමක් හෝ ස්වෛරීත්ව අත්හැරීමක් සිදුකර නොමැති බවද මධ්‍යම රජය අවධාරණය කර තිබේ.

මේ හේතුවෙන් මුතුවෙල් කරුණානිධි පවසන පරිදි කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට පවරාදී ඇති බව පැවසීම වැරදි මෙන්ම නිල වාර්තාවලට පටහැනි බවද ඉන්දිය මධ්‍යම රජය අධිකරණයට දන්වා ඇතැයි වාර්තා වෙයි.

 

.