රුසියාව චීනය පෙරමුණ ගෙන යුද අපරාධ චෝදනා බල රහිත කරන සැලසුම්

Spread the News

රුසියාව චීනය පෙරමුණ ගෙන

යුද අපරාධ චෝදනා බල රහිත කරන සැලසුම්

ටී. චන්ද්‍රසේකර source:

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ පිළිබඳව අන්තර්ජාතික විමර්ශනයක් සිදුකළ යුතු බවට ගෙනෙන යෝජනාව බල රහිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව රුසියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක අවධානය යොමු වී ඇත.

ඇමෙරිකාව වැනි බලගතු රටක් තවත් රටක අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම බරපතළ වරදක් බව ද එම රටවල් පෙන්වා දෙයි.

‍ඇමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට යන මෙවැනි යෝජනා මෙන් ම එම යෝජනා සම්මත කරගැනීම සඳහා තම රටින් ආධාර උපකාර ලබාගන්නා රටවල්වලට බලපෑම් කර බලහත්කාරයෙන් සහය ලබාගැනීමට ගන්නා ක්‍රියාමාර්ග ද කිසිසේත්ම අනුමත නොකරන බවද එම රටවල් ප්‍රකාශ කර සිටී.

මේ අතර පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවූ චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වාං යි මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම චීනය කිසිවිටෙක අනුමත නොකරන බවයි.

මෙවන් තත්ත්වයක් හමුවේ ඇමෙරිකාවේ ක්‍රියා කලාපය ලෝකයේ සෙසු රටවලට ද අනාගතයේදී බලපෑමක් වන හෙයින් එවැනි යෝජනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බැහැර කළ යුතු බවට සකස්කරන ලද යෝජනාවක් මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට ගෙන ඒම පිළිබඳව එම රටවල් සාකච්ඡා කරමින් සිටින බව විදේශීය අන්තර්ජාල පුවත් වාර්තා කරයි.