Spread the News

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණ ඉල්ලීම රටක අභ්‍යන්තර ගැටලුවලට අතපෙවීමක්‌
– කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කියයි
SOURCE:
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිද්ධීන් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවට යෝජනා කිරීම ස්‌වෛරී රටක අභ්‍යන්තර ගැටලුවලට අනිසි ලෙස විදේශ මැදිහත්වීමක්‌ යෑයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් මෙන්ම මේ රටේ යුද්ධයට මැදි වී අසරණ වූ ජනතාව වෙනුවෙන් සාමූහිකව පොදු වැඩපිළිවෙළක්‌ යෝජනා කරමින් අප විසින්ම අප රට තුළම සකස්‌ කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් සභාවේ වාර්තාව අප ක්‍රියාවට නැංවීමට කටයුතු කරද්දී නොහික්‌මුනු බවකින් යුක්‌තව ජාත්‍යන්තරය කටයුතු කිරීමෙන් සිදු වන්නේ අප ගොඩනඟාගත් සමාජ, ආර්ථික, අධ්‍යාත්මික, සහෝදරත්වයන් විනාශ වීම බවද උන්වහන්සේ පෙන්වා දෙති.

උන්වහන්සේ විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිද්ධීන් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බව ජාත්‍යන්තරයේ රටවල් රැසක්‌ ඉදිරිපත් කර ඇති යෝජනාවක්‌ හමුවේ ශ්‍රී ලංකා වාසී ජනතාවක්‌ හැටියට කවුරුන් හෝ ඇතුළත අවුල් පිටත දිගහැර හෝ පිටත අවුල් ඇතුළතට ගෙන එන ක්‍රියාදාමයක නිරත වන්නේ නම් කවුරුන්වත් ජයග්‍රහණය නොකරනු ඇත. එමගින් සිදුවනුයේ ස්‌වෛරී රටක අභ්‍යන්තර ගැටලු වලට විදේශිකයන් අනිසි ලෙස ඇඟිලි ගැසීමක්‌ වීමයි. අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් මෙන්ම සාමූහික පොදු වැඩ පිළිවෙළක්‌ වෙනුවෙන් අප රට තුළම එකී දැ සාකච්ඡාවට බඳුන් කොට අපම සකස්‌ කළ වාර්තාවක්‌ එනම් උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ කොමිසමේ වාර්තාව අප අත තිබියදී අනෙක්‌ කරුණු කාරණා දුරින් සිට නොහික්‌මුනු බවකින් ඉස්‌මතු කරවීමෙන් පළුදු වන්නේත් පළුදු කරන්නේත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයි. ඉරිතලා යන්නේ අප සහෝදරත්වයයි. දියවී යන්නේ අප පොදු අධ්‍යාත්මික සබැඳියාවයි. එම නිසා අපි අපේ ප්‍රශ්න විස¹ගන්නට එඩිතරව එකිනෙකා සමඟ සාකච්ඡා කරමු. නම්‍යශීලී වෙමු. එකට අත් වැල් බැඳගමු. මේ සඳහා විදේශ මැදිහත්කමක්‌ අවශ්‍ය නොවේ. අප මාතෘ භූමිය ගොඩනැගීම ආරක්‍ෂා කිරීම හා වර්ධනය කිරීම කාගේත් යුතුකමක්‌ බව සිහිපත් කරමින් මෙහිදී සමස්‌තය සමබර කොට යන ගමන නිමග්න වීම අප කාගේත් යහපතටම හේතු වන බවද අවධාරණය කරමු.”