දළදා මාලිගාව ඉදිරිපිට එල්ලුම් ගස ස්ථාපිත කළ අය අද ආගමික සංහිඳියාව පිළිබඳ ප්‍රශ්න කරනවා

Spread the News

දළදා මාලිගාව ඉදිරිපිට එල්ලුම් ගස ස්ථාපිත කළ අය අද ආගමික සංහිඳියාව පිළිබඳ ප්‍රශ්න කරනවා

බන්ධනාගාර රැඳවියන්ගේ සුනීත විද්‍යාලය විවෘත කරමින් ජනපති කියයි

source:

එදා දළදා වහන්සේට අපහාස කරන්නට දළදා මාලිගාව ඉදිරිපිට එල්ලුම් ගස ස්ථාපිත කළ අය අද අපගෙන් ආගමික සංහිඳියාව පිළිබඳ ප්‍රශ්න කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අප රටේ මානව හිමිකම් පිළිබඳ කථා කරන්නේ එදා වයස අවුරුදු 16ට වැඩි සියලු දෙනා ඝාතනය කරන්නට අණ දුන් අය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් එදා අපට සැලකුවේ ඒ ආකාරයට වුවත් අප සිතන්නේ වෙනස් ආකාරයකට බව පෙන්වා දුන්නේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ බන්ධනාගාර රැඳවියන්ගේ අධ්‍යාපනය උදෙසා ඉදි කළ හෝමාගම සුනීත විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමිනි. බන්ධනාගාර ගතව සිටින රැඳවියන් වෙනුවෙන් ඉදි කළ ප්‍රථම පාසල වන සුනීත විද්‍යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි පන්ති කාමර සහ අනෙකුත් පහසුකම් නිරීක්ෂණය කළේය.

වරදක් කළ අයකු සැමදා වැරැදිකරුවකු කර තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් සැමදා සිරගත කර ගෙන නොසිට පුනරුත්ථාපනය කොට සමාජයට එක් කළ යුතු බවත් ප්‍රකාශ කළේය. අප ඝාතනය කරන්නට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන් පවා පුනරුත්ථාපනය කොට සමාජයට එක් කිරීමට පසුගිය කාලයේ කටයුතු කළ බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ඉතා සුළු වැරැදිවලට බන්ධනාගාර ගත වී වසර ගණන් සිටින දරුවන් දෙස බැලීමේ දී එක්දහස් නවසිය හතළිස් ගණන්වල හඳුන්වා දී තිබෙන නීතිය හා ආඥා පනත් අදට ගැලපෙනවාද යන ගැටලුව මතු වන බවත් ජනාධිපතිවරයා පැවැසීය. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

අනුග්‍රහය : දිනමිණ