විල්පත්තු ජාතික වන උද්‍යානයේ මුස්‌ලිම් ජනතාව අනවසරයෙන් පදිංචි වන්නේ නාවික හමුදාව නිසා නොවේ නාවික හමුදාව පවසයි

Spread the News

විල්පත්තු ජාතික වන උද්‍යානයේ මුස්‌ලිම් ජනතාව
අනවසරයෙන් පදිංචි වන්නේ නාවික හමුදාව නිසා නොවේ
නාවික හමුදාව පවසයි
source:
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මුස්‌ලිම් පවුල් අනවසරයෙන් පදිංචි වීමට හේතුව ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ ඉඩම් පවරා ගැනීම බවට විවිධ මාධ්‍ය ඔස්‌සේ ගෙනයනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක්‌ නොමැති බවට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මුල්ලිකුලම් සහ මරිච්චිකට්‌ටු ප්‍රදේශවල නාවික කඳවුරු පිහිටුවීමේදී අවතැන් වී ඇත්තේ එක්‌ මුස්‌ලිම් පවුලක්‌ පමණි. ඔවුන්ද විල්පත්තු වන උද්‍යානය තුළ අනවසර පදිංචිව නොමැති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම පවුල් වෙත මරිච්චිකට්‌ටු ප්‍රදේශයෙන් වෙනත් සුදුසු ඉඩමක්‌ ලබාදීම සඳහා අදාළ බලධාරීන් සමඟ කටයුතු දැනටමත් ආරම්භකොට ඇත. මේ හැර වෙනත් කිසිදු මුස්‌ලිම් පවුලක්‌ මෙම නාවික කඳවුරු සංකීර්ණය හේතුවෙන් අවතැන් වූ බවට සාක්‍ෂි ඉදිරිපත් කිරීමට මේ වනතෙක්‌ කටයුතු කොට නැති බවද නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනයක දැක්‌වේ.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිරතුරුවම කටයුතු කරන ආරක්‍ෂක හමුදා මෙවන් සාවද්‍ය චෝදනා වලට ලක්‌කොට අපකීර්තියට පත් කිරීමෙන් වළකිනු ඇතැයි අපේක්‍ෂා කරන අතර වගකිව යුතු බලධාරීන් මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක්‌ ලබාදීමට මැදිහත් වනු ඇතැයි අප බලාපොරොත්තු වේ