පොසොන් සිරියෙන් රජරට බැබළෙයි

Spread the News

පොසොන් සිරියෙන් රජරට බැබළෙයි

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සමරන අද (12දා) ට යෙදී තිබෙන අති උතුම් පොසොන් පුර පසළොස්‌වක පෝය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ප්‍රමුඛ අටමස්‌ථානය, මිහින්තලා රජමහා විහාරස්‌ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්‌ථානය කේන්ද්‍ර කොටගෙන පිංකම් රැසක්‌ පැවැත්වේ.මෙම පිංකම්වලට සහභාගිවීම සඳහා මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක්‌ පැමිණි සිටිති.

පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අනුරාධපුර පොසොන් උත්සව කමිටුව මේ වනවිටත් සියලු කටයුතු සුදානම් කොට ඇති බව එම කමිටුවේ සභාපති සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා “දිවයින”ට පැවසීය.

අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, අනුරාධපුර ස්‌වර්ණමාලී චෛත්‍යාරාමාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන සහ මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය එස්‌. එම්. රංජිත් සමරකෝන්, අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් මහින්ද සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මෙවර පොසොන් උත්සවය රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක දායකත්වයෙන් සංවිධානය කොට තිබේ.

“කළගුණ සලකමු – මිහිඳු හිමි සමරමු” යන්න මෙවර පොසොන් උත්සවයේ තේමාව වී තිබේ.

පොසොන් පෝය නිමිති කොටගෙන අද දවස පුරා අනුරාධපුර අටමස්‌ථානය මිහින්තලා රජමහා විහාරස්‌ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්‌ථානය කේන්ද්‍ර කරගනිමින් දාන, ශීල, භාවනා, ධර්ම දේශණා සහ ධර්ම සාකච්ඡා ආදී පිංකම් රැසක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පිංකම්වලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් රැසක්‌ සහභාගී වීමට නියමිතය. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියට නුදුරු කුරුණෑගල මංසන්දියේ ඉදි කරනු ලබන සඳහිරු සෑයේ චෛත්‍ය ගර්භයේ කේෂ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ.

පොසොන් උත්සව සමයේ අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ රජමහා විහාරස්‌ථාන වන්දනාමාන කිරීමට පැමිණෙන සියලු බැතිමතුන්ගේ පහසුව සඳහා පානීය ජලය හා සනීපාරක්‍ෂක සේවාවන්, ප්‍රවාහන සේවා හා අනෙකුත් සුබසාධක සේවා ඇතුළු පහසුකම් නොඅඩුව සැලසීමට පොසොන් උත්සව කමිටුව පියවර ගෙන තිබේ.

අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පූජා භූමි කේන්ද්‍ර කොටගෙන සිසිල් පැන් සහ බත් දන්සල් දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ පැවැත්වේ.

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මහ නගර සභාව මගින් අනුරාධපුර විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී අමා දහර නමින් පොසොන් කලාපයක්‌ ද පැවැත්වීමට සංවිධානයකර ඇති බව නාගරික කොමසාරිස්‌ සම්පත් රෝහණ ධර්මදාස මහතා පැවසීය.