Spread the News

ඇමැති සමාව නොගත්තොත් නුවරඑළියේ එම්ඕඑච් වර්ජනයක්‌

මස්‌කෙළිය – ගාමිණි බණ්‌ඩාර ඉලංගන්තිලක

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් අබේගුණරත්න මහතාට අමාත්‍ය ආරුමුගම් තොණ්‌ඩමන් මහතා විසින් තර්ජනය කළ බව කියන සිද්ධියට විරෝධය පළකරමින් අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ගෙන් සමාව නොගතහොත් නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (එම්. ඕ. එච්.) වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයත් සමග ඉකුත් 14 දා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි හා අමාත්‍ය ආරුමුගම් තොණ්‌ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස්‌ මූලස්‌ථානයේදී විශේෂ රැස්‌වීමක්‌ පැවැත්විණි. එම රැස්‌වීමට දිස්‌ත්‍රික්‌කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් සමග කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් අබේගුණරත්න මහතාද සහභාගි විය. එම අවස්‌ථාවේද තොණ්‌ඩමන් අමාත්‍යවරයා විසින් තමන්ට අභූත චෝදනා නගමින් හා තර්ජනය කරමින් තමන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය යටතේ පාලනය කෙරෙන තේ වතුවල සේවය නිසි ලෙස නොකරන බවත් එම තත්ත්වය නිසා තමන්ට කොටගල කාර්යාලයේ සේවය නොකර වෙනත් ප්‍රදේශයකට ස්‌ථාන මාරුවීම් ලබාගෙන යන ලෙසත් කියා සිටි එම වෛද්‍ය ජගත් අබේගුණරත්න මහතා පවසයි. වහාම ක්‍රියාත්මක වන පරිදි කොටගල සෞඛ්‍ය නිලධාරිවරයාට ස්‌ථාන මාරුවක්‌ ලබා දෙන ලෙස මෙහිදී තොණ්‌ඩමන් අමාත්‍යවරයා මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක්‌ ලබා දුන් බවත් එසේ නොකරන්නේ නම් ප්‍රදේශයේ සියලුම තේවතු කම්කරුවන් ප්‍රධාන මාර්ගවලට කැඳවා උද්ඝෝෂණය කරන බවත් කියා සිටි බව වෛද්‍ය ජගත් අබේගුණරත්න මහතා පවසයි.

පෙරේදා (14 දා) පෙ. ව. 9.00 11.00 දක්‌වා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිටදී ප්‍රධාන මාර්ග අවහිර කරමින් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවෝ 3000 කට ආසන්න පිරිසක්‌ උද්ඝෝෂණයක නිරත වූහ. එහිදී උද්ඝෝෂකයෝ කොටගල සෞඛ්‍ය වෛද්‍යවරයාගේ අනුරුවකටද ගිනිතබා පුළුස්‌සා දැමූහ.

තොණ්‌ඩමන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවති ආපදා රැස්‌වීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට එරෙහිව චෝදනා නැගු තොණ්‌aඩමන් අමාත්‍යවරයා මුණගැසුණු ප්‍රදේශයේ තවත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා අතින් වරදක්‌ සිදුවී ඇත්නම් එය නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවස්‌ථාවක්‌ ලබා දෙන ලෙසත්ය. එම කිසිදු ඉල්ලීමකට අමාත්‍යවරයා අවනත නොවූ බව පවසන එම වෛද්‍යවරු ඔහු තමන්ටද බැණ වැදුන බව කියා සිටිති. තොණ්‌ඩමන් අමාත්‍යවරයා පවසන්නේ කොටගල සෞඛ්‍ය වෛද්‍යවරයා ඔහුගේ සේවය වතු ආශ්‍රිත ප්‍රදේශවලට ලබා නොදී ඔහුගේ පෞද්ගලික වෛද්‍ය සායනය පමණක්‌ සාර්ථකව පවත්වාගෙන යන බවයි.