Spread the News

අපි ඔක්‌කොම රජවරු
ඔක්‌කොම වැසියෝ..
තුන් සිංහලයම නෑදැයෝ…

සිංහල- මුස්‌ලිම් දෙපැත්තම
සාමය රැකීමට එකඟවෙති

කළුතර දිසාපති කාර්යාලයේදී ඊයේ දහවල් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇතිකරගත් අතර ගැටුම් ඇති කිරීම හෝ ගැටුම්වලට අනුබලදෙන හෝ කිසිදු ක්‍රියාවක නොයෙදෙන ලෙස ජනතාවගෙන් විවෘත ඉල්ලීමක්‌ කළහ.

ආගමික නායකයන් හා පැවති මෙම සාකච්ඡාවට අගමැති දි. මු. ජයරත්න, මෛත්‍රීපාල සිරිසේන, කුමාර වෙල්ගම, ඩලස්‌ අලහප්පෙරුම, එස්‌. බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරුන් හා බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර අලෙවි මව්ලානා, පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීහු කිහිපදෙනෙක්‌ සහභාගි වී සිටියහ.

මීට අමතරව ප්‍රදේශය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නියෝජිතයෝද ඊට සහභාගි වූහ.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මෙම ගැටුම්වලින් භික්‍ෂූන් වහන්සේ නමක්‌ අපවත් වූ බවට කටකථාවක්‌ පැතිර යමින් තිබුණද එවැන්නක්‌ කිසිසේත්ම සිදුවී නොමැති බව අවධාරණය කළේය.

ගැටුම්වලින් තුවාල ලැබූ භික්‍ෂූන් වහන්සේ නමක්‌ ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර සිටින බව කී පොලිස්‌පතිවරයා කටකතාවලට නොරැවටී සාමය ආරක්‍ෂා කිරීම සඳහා පොලිසියට සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

අලුත්ගම ධර්ගා නගරය හා බේරුවල ප්‍රදේශවලින් ඊයේ (16 දා) ද සුළු සිදුවීම් කිහිපයක්‌ වාර්තා විය. එම පොලිස්‌බල ප්‍රදේශවලට පනවන ලද පොලිස්‌ ඇඳිරි නීතිය එසේම ක්‍රියාත්මක කරනු ලැබීය.

ආගමික නායකයන් හා අගමැතිවරයා ඇතුළු දේශපාලන ප්‍රධානීන් පසුව මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා මහා සංඝරත්නය මෙන්ම මුස්‌ලිම් ආගමික නායකයන් අතර පූර්ණ එකඟතාවක්‌ ඇති වූ බවද සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේදී ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා අලුත්ගම, බේරුවල ඇතුළු ප්‍රදේශ නියෝජනය කරන පළාත් සහ ප්‍රාදේශීය මට්‌ටමේ දේශපාලනඥයන්ද පූර්ණ සහාය පළකර ඇත.

මෙහිදී මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. µවුසි මහතා ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව අවධාරණය කළේය.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළු පිරිසක්‌ පෙරේදා (15 දා) අලුත්ගම නගරයේ පැවැති රැස්‌වීමකට සහභාගි වී යළි පැමිණෙමින් සිටියදී දර්ගා නගරය ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක්‌ එල්ල වීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවිය.

එහිදී ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායම් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්වී තවත් 39 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

රෝහල්ගත කළ පිරිස අතර පොලිස්‌ නිලධාරීන් හය දෙනෙක්‌ද වූහ.

මේ අතර පෙරේදා (15 දා) රාත්‍රි ඇතිවූ ගැටුම් අතරතුර මතුගම නගරයේ වූ කඩ සාප්පු කිහිපයකටද කිසියම් පිරිසක්‌ පහර දී විනාශ කර තිබිණි.

මියගිය දෙදෙනාගේ දේහ පිළිබඳ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය ඊයේ (16 දා) කලුතර වැඩබලන මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය විසින් පවත්වන ලදී.