Spread the News

විදෙස්‌ මුදල්වලින් යෑපෙන කල්ලි
අදත් කළු ජූලියක්‌ හදන්න යනවා
– ඇමැති විමල් වීරවංශ

විදෙස්‌ මුදල් වලින් යෑපෙන කල්ලි එදා කළු ජූලියෙන් කරපු අපරාධ මේ රටේ යළිත් කරන්න සූදානම් වෙනවා යෑයි ඉදිකිරීම් ඉංජිනේරු නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස්‌ පළ කළේ ඉදිකිරීම් කළමනාකරණ හා ප්‍රමාණ සමීක්‍ෂණ වෘත්තීය පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි. මේ උත්සවය (පෙරේදා) 17 දා කොළඹ 07, විඡේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දැන් මේ අන්තර් ජාතික බලවේගවලට ඕනෙ සිංහල බෞද්ධය කියල කියන්නේ ගෝත්‍රික, කිසිම චාරයක්‌නැති, සුළු ජාතික ජනතාව පාගන වට්‌ටන මහා නරුම ජන කොටසක්‌ කියලා ලෝකයට පෙන්වන්න අවශ්‍ය කරන පින්තූරය හදන්න. බුද්ධ චීවරධාරීන් සංවරයක්‌, ශික්‌ෂණයක්‌ නැති අන්‍ය මත ඉවසන්නේ නැති, පොඩි ප්‍රශ්නයක්‌ පවා විසඳීමට දන්නේ නැති හැම දේකටම කැති පොලු මුගුරු අරගෙන යන පිරිසක්‌ කියලා පෙන්වන්න.

එදා කළු ජූලියෙන් වේළුපිල්ලේ පිරිබාහරන්ට ඒ උදව්ව ලැබුණා. එදා වේලි වේලි හිටපු වේළුපිල්ලේ පිරිබාහරන් ශක්‌තිමත් ත්‍රස්‌තවාදී කල්ලියක්‌ නිර්මාණය කරගත්තේ කළු ජූලියට පිංසිද්ධ වෙන්න. කළුජූලිය මුලින් ජාත්‍යාලයෙන් කළා. පස්‌සේ භාණ්‌ඩ ආලයෙන් කළා. පටන් ගන්නේ ජාත්‍යාලයෙන්. ඉවර වෙන්නේ භාණ්‌ඩ ආලයෙන්. ඇයි ඉතිං කඩමනේ කඩන්නේ. කඩ දැක්‌ක ගමන් ජාතිය මතක්‌ වෙනවා. ආගම මතක්‌ වෙනවා. පැනලා කඩ කඩනවා. බඩුවලට ජාතියක්‌ ආගමක්‌ නැහැනේ. ඉතිං අරන් යනවා. දැන් එදා කළු ජූලියෙන් කරපු අපරාධය විදේශ සල්ලිවලින් යෑපෙන කල්ලි මේ රටේ ආයිත් කරන්න යනවා. හැම ජන කොටසක්‌ අතරෙම එහෙම කල්ලි ඉන්නවා.

දැන් මුස්‌ලිම් කඩත් පිච්චෙනවා. සිංහල කඩත් පිච්චෙනවා. අන්තිමට මේ කිසිම දේකට සම්බන්ධ නැති මිනිසුන්ගේ දේපල විනාශ වෙනවා. හදවත්වල වෛරය ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන වෛරය පිසදාගන්න ලේසි වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව නමැති පවුලේ තාත්තාගේ මානසිකත්වය සිංහල ජනතාවට තිබිය යුතුයි. අනෙකුත් ජන කොටස්‌වල කුමන හෝ ගැටලු තිබෙනවා නම් ඒවා විස¹ ගැනීමේ ඥනාන්විත භාවිතය තිබිය යුතුයි. එහෙම නැතුව අනෙකුත් ජනතාව කුපිත කරලා ප්‍රකෝප කරලා හදන්න හදන්නේ කුමන රටක්‌ද?

මේක ලේ විලක්‌ කළාම වාසි කාටද? දැන් මේ වෙන දෙයක්‌ නොවෙයි කරන්නේ. ඊළඟ ජනාධිපතිවරණයේදී ආණ්‌ඩුවේ අපේක්‍ෂකයාට සුළු ජාතික පක්‍ෂ එකකවත් ඡන්ද වැටෙන එක වැළැක්‌වීම. මේක රෙජීම ෙච්න්ඡ් එකත් එක්‌ක සම්බන්ධ ව්‍යාපාරයක්‌.

යුද්ධය දිනලා මේ රටට සාමය ගෙනාවා කියන්නේ අපිට චණ්‌ඩි පාට්‌ දාන්න බලයක්‌ දුන්නා කියන එක නෙමෙයි. යුද්ධයක්‌ ජයග්‍රහණය කළායින් පසුවයි වැඩියෙන් නිහතමානී වියයුත්තේ. යුද්ධය දිනුවට පස්‌සේ තමයි අන්‍ය ජනකොටස්‌ පිළිබඳ වඩ වඩාත් සානුකම්පිත විය යුතු. අපි අපේ ඇමැති තනතුර කවදාවත් ජාතිවාදි අයුරින් භාවිත කර නැහැ. අපි එක දෙයයි කියන්නේ. මේ රට බෙදන්න හදනවා නම් සිංහල වුණත් අපි ඊට විරුද්ධයි. සිංහල එන්. ජී. ඕ. පප්පලා ඉන්නේ. ඔවුන්ටත් අපි විරුද්ධයි.

අසීලාචාර සුළුතරයකට මේ රටේ අනාගතය තීරණය කිරීමට ඉඩ නොදිය යුතුයි. සීලාචාර අතිමහත් නිහඬ බහුතරය නැගිටිය යුතුයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ සීලාචාර නිහඬ අතිමහත් බහුතරය ප්‍රේක්‌ෂකයින් බවට පත්වෙලා. අසීලාචාර සුළුතරය හොඳින් ඔවුන්ගේ වැඩකටයුතු සිදුකරගෙන යනවා. අන්තිමට රටේ දිශානතිය, ඉරණම අර අසීලාචාර සුළුතරය විසින් තීරණය කරනවා.

දැන් අර මොකක්‌ද සේනාවෙන් මට ගහන්න ගනියි. ඒක ප්‍රශ්නයක්‌ නැහැ. ඇත්ත කියලා ඕන ප්‍රතිචාරයක්‌. ඒකට ඔට්‌ටුයි. මේ රට ලේ විලක්‌ කරන්න ඉඩදෙන්න බැහැ. විශේෂයෙන්ම තරුණ පරපුර තමයි මේකේ ගොදුරු බවට පත්වෙන්නේ. අලුත්ගම මිනිස්‌සු කියනවා දර්ගා නගරයේ හෙල්මට්‌ දාගෙන හිටියේ ගමේ මිනිස්‌සු නොවෙයි කියලා. බහුතරය එතනදි අසරණයි. නිහඬයි. යළි මේ රට කැරකෝප්පුවක්‌ කිරීමට ඉඩ නොදිය යුතුයි.

මුස්‌ලිම් සමාජයේ මධ්‍යස්‌ථ බුද්ධිමත් ජනතාවට අපි ආරාධනා කරනවා. කිසියම් රටවලින් මුදල් අරගෙන මේ රට අස්‌ථාවර කරන්න හදන කල්ලි මුස්‌ලිම් සමාජයෙන් පරාජය කරන්න. ඒ වගේම නෝර්වේ වලින් සල්ලි අරගෙන සිංහල ජනතාව ඒ වගේම භික්‍ෂූන් වහන්සේගේ අතිගෞරවණීය බුද්ධ චීවරයේ ගෞරවය කෙළසන්න හදන බෞද්ධ තලේබාන්ලාට එරෙහිවත් නිහඬ බෞද්ධ බහුතරය නැගිටිය යුතුයි.