Spread the News

‘බුද්ධි’ රහස්‌’ හෙළිකිරීමේ සැලසුමක්‌
– හමුදා ප්‍රකාශක අනාවරණය කරයි

සමන් ගමගේ

මිලේනියම් සිටි පාවාදීම මෙන් යළිත් වරක්‌ මෙරට ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු අනාවරණය කිරීමේ සැලසුමක්‌ තිබෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ශ්වයක්‌ විසින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙසේ බුද්ධි සේවා නිලධාරීන්ගේ තොරතුරු හෙළිකිරීමට යන බව ද හෙතෙම අවධාරණය කළේය.

පසුගියදා අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ඇති වූ තත්ත්වයන් සමඟ රට පුරා නොසන්සුන්කාරී බවක්‌ ඇතිවීමේ අවදානමක්‌ මතු වී තිබිණි.

එහිදී වහා ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන් අදාළ පාර්ශ්ව අතරට යමින් නොසන්සුන්කාරී බව මැඬපවත්වා සාමය ආරක්‍ෂා කිරීමට පියවර ගත් බව පැවසූ බ්‍රිගේඩියර්වරයා එම තත්ත්වය මත දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකාරී පාර්ශ්ව නොසතුටට පත්ව සිටි බව ද සඳහන් කළේය.

ඉකුත් 2002 වසරේ සිදුකෙරුණු මිලේනියම් සිටි පාවාදීම නිසා මෙරටට වටිනා සේවයක්‌ කරමින් සිටි බුද්ධි නිලධාරීන් 21 දෙනකු ඝාතනය වූ බවත් එම නිලධාරීන් රටට අහිමි වීමේ අඩුව අදත් පිරිමසාගත නොහැකි බවත් හමුදා ප්‍රකාශක තවදුරටත් කීය.

අදාළ සැලසුමට සම්බන්ධ දේශෙද්‍රdaහී පාර්ශ්වය හඳුනාගෙන සිටින්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාව පසුගිය කාලයේ කුරුඳු අපනයනයෙන් ඉහළ තැනකට පැමිණ ඇති බව තමන් පුවත්පත් මගින් දුටු අතර එහෙයින් මෙරටට කුරුඳු පොලුවල හිඟයක්‌ තිබිය නොහැකි බව සඳහන් කළේය.