Spread the News

මේ විනාශයේ වගකිම අණ්‌ඩුව බාරගත යුතුයි
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම

* අලුත්ගම බේරුවල ගැටුම් ඇති කළ තෝරු මෝරු තවමත් නිදැල්ලේ සිටිනවා
* ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන දඬුවම් දිය යුතුමයි
* එජාපය හැර යන්නේ නැහැ


පසුගියදා අලුත්ගම, බේරුවල කේන්ද්‍ර කරගෙන ඇති වූ ගැටුම්කාරී තත්ත්වය නිසා ජීවිත මෙන්ම මහා දේපළ විනාශයක්‌ද සිදු විය. එම ගැටුම්වලට මැදි වී තුවාල ලැබු කළුතර දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා එහි වත්මන් තත්ත්වය හා අනාගත ක්‍රියාදාමයන් පිළිබඳව “දිවයින ඉරිදා සංග්‍රහය” සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌ වෙමින් මෙසේ අනාවරණය කළේය.

ප්‍රශ්නය – පසුගියදා අලුත්ගම, බේරුවෙල, ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් මිනිස්‌ ජීවිත තුනක්‌ අහිමි වුණා. දේපළ විනාශ වුණා. මෙවැනි ව්‍යසනයක්‌ යළි ඇති නොවීමට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් වශයෙන් ගෙන තිබෙන පියවර කුමක්‌ද?

පිළිතුර – ගැටුම් ඇති වුණ ප්‍රදේශවල සාමය ස්‌ථාපිත කිරීම සඳහා අපට ගත හැකි උපරිම පියවර මේ වන විට ගෙන තිබෙනවා. ඒ වගේම කළුතර දිස්‌ත්‍රික්‌කයේ ආණ්‌ඩුවේ නායකයා ලෙස කුමාර වෙල්ගම මහතාද අනෙකුත් නායකයන් ද ආගමික නායකතුමන්ලා සහ ආරක්‍ෂක අංශ සම්බන්ධ කර ගනිමින් විවිධ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ පියවර තුළින් යළිත් මෙවැනි ගැටුම් ඇති නොවනු ඇතැයි කිසි ලෙසකින්වත් විශ්වාස කළ නොහැකියි. ගැටුම් ඇති කළ ප්‍රධාන පාර්ශ්වයන් තාමත් නිදැල්ලේ හැසිරෙනවා.

ප්‍රශ්නය – ප්‍රධාන පාර්ශ්වයන් කිව්වේ

පිළිතුර – මේ ගැටුමේ ප්‍රධාන පාර්ශ්වකරු ලෙස මා දකින්නේ බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු කණ්‌ඩායමයි. ඔවුන් මේ විනාශය කරන බව මීට මාස හය හතකට පෙර මා වගකිව යුත්තන්ට දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවේ පවා කතා කළා. නමුත් වැඩක්‌ වුණේ නැහැ.

අපි මොන විසඳුම් සෙව්වත් මේ ගැටුම් නතර කිරීමට නම් ඊට වගකිව යුතු ඥානසාර හිමි ඇතුළු කණ්‌ඩායම වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට නිසි දඬුවම් දිය යුතුයි.

ප්‍රශ්නය – කිසිදු සාක්‍ෂියක්‌ නොමැතිව ඔබ කොහොමද උන්වහන්සේ අත්අඩංගුවට ගන්න කියන්නේ

පිළිතුර – ඒ සඳහා ඇති හොඳම සාක්‍ෂිය ඥානසාර හිමිගේ නායකත්වයෙන් දර්ගා නගරයේ පවත්වපු රැළිය. ඊට වඩා වෙන සාක්‍ෂියක්‌ අවශ්‍ය වන්නේ නැහැ.

ප්‍රශ්නය – දර්ගා නගරයේ රැස්‌වීමක්‌ පැවැත්වීමට උන්වහන්සේට අයිතියක්‌ නැද්ද?

පිළිතුර – අයිතියක්‌ තිබෙනවා. නමුත් ජාතිවාදය, ආගම්වාදය අවුස්‌සමින් අනෙක්‌ ජාතීන්ගේ ආත්ම ගෞරවය කෙළසමින්, වෛරය වපුරන්න අයිතියක්‌ නැහැ. මේ රැස්‌වීමේ අවසානය ගැටුමක්‌ බව අපි දැන සිටියා.

ප්‍රශ්නය – එවැන්නක්‌ ඔබ දැන සිටියා නම් ප්‍රදේශය නියෝජනය කරන මහජන නියෝජිතයෙක්‌ වශයෙන් අදාළ පාර්ශ්වයන් දැනුවත් කර එය නතර කිරීමට ඔබ කටයුතු නොකළේ ඇයි.

පිළිතුර – මේ රැස්‌වීම පැවැත්තුවේ නීති විරෝධී ආකාරයටයි. එය නතර කිරීමට මා උත්සාහ කළා. වගකිව යුතු අයට දැනුම් දුන්නා. නමුත් වැඩක්‌ වුණේ නැහැ. මටත් වඩා කුමාර වෙල්ගම ඇමතිතුමා ඒ සඳහා පියවර ගත්තා. නමුත් හැකි වුණේ නැහැ. ඊට වඩා බලපාන හස්‌තයකින් රැස්‌වීමට අවසරය ලැබී තිබෙනවා.

සිදු වූ මේ විනාශයේ සම්පූර්ණ වගකීම ආණ්‌ඩුව බාරගත යුතුයි. ආණ්‌ඩුව හැම විටම බොදුබල සේනා සංවිධානය ආරක්‍ෂා කළා. ඔවුන්ට රැකවරණය දුන්නා. අදටත් රැකවරණය දෙනවා.

මේ සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයන් 16 දෙනෙක්‌ පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගත්තා. නමුත් එදින කළුතර දිසාපති කාර්යාලයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමේදී ඥානසාර හිමිගේ ඉල්ලීම මත ප්‍රධාන සැකකරුවන් 07 දෙනා නිදහස්‌ කළා.

ප්‍රශ්නය – මේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගනිමින් සිටිනවා නේද?

පිළිතුර – අනේ මහත්තයෝ අශ්වයා ගියාට පසු ඉස්‌තාලය වහලා වැඩක්‌ තියනවාද? සිද්ධිවලට වග කිවයුතු තෝරු, මෝරු පැන ගිය පසු හාල්මැස්‌සෝ අල්ලනවා. මේක හරි විහිළුවක්‌.

ප්‍රශ්නය – මෙම සිද්ධීන්ට වගකිව යුත්තන් අත්අඩංගුවට නොගන්නේ නම් වගකීම භාරගෙන පොලිස්‌පතිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්‌විය යුතු බවත් එසේ නැතිනම් තමන් මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්‌වන බවටත් ඔබ අභියෝග කළා. ඒ අභියෝගය තවමත් වලංගු ද?

පිළිතුර – ඔව් තවමත් වලංගුයි

ප්‍රශ්නය – කවද්ද ඔබ මන්ත්‍රී ධුරයෙන් අස්‌ වෙන්නේ

පිළිතුර – මම මොකටද අස්‌වෙන්නේ

ප්‍රශ්නය – පොලිස්‌පති ධුරයෙන් ඉල්ලා අස්‌ නොවූනොත් ඔබ අස්‌වෙන බවට නේද අභියෝග කළේ.

පිළිතුර – නීතිය ක්‍රියාත්මක කර විපතට පත් ජනතාවට සාධාරණය ඉටු නොකරනවා නම් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඔවුන්ගේ බදු මුදල්වලින් යෑපෙමින් තවදුරටත් තනතුරු දැරීමෙන් පලක්‌ නැහැ. ඒ නිසා නිසි කලට මගේ තීන්දුව ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය – මේ සිද්ධියේදී ඔබටත් එක පාර්ශ්වයක්‌ වෙනුවෙන් ඔවුන්ගේ පැත්තේ සිට ක්‍රියා කළ බවට චෝදනාවක්‌ එල්ල වෙනවා. මේ ගැන මොකද කියන්නේ.

පිළිතුර – කිසිවිටකත් එහෙම කළේ නැහැ. සිංහල, දෙමළ, මුස්‌ලිම් කියා භේදයක්‌ මට නැහැ. ඒ හැමෝම එකයි. හැමෝගෙම එකම ලේ තිබෙන්නේ. මේ සියලු ජාතීන් සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි.

ඕනෑම වේලාවක ජනතාවට විපතක්‌ කරදරයක්‌, අසාධාරණයක්‌ වෙනවා නම් ජාති, ආගම්, කුල මල භේදයෙන් තොරව පාලිත තෙවරප්පෙරුම එතැනට යනවා. එය අපේ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව හොඳින් දන්නවා.

ප්‍රශ්නය – ඔබත් පහර කෑමට ලක්‌ වුණා නේද?

පිළිතුර – ඔව් මෙම සිද්ධීන්ගෙන් කම්පනයට පත් වැලිපැන්න ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතික හිතවතෙක්‌ මිය ගියා. මම එහි පැමිණෙන විටත් ඒ මිනියෙ අවසන් කටයුතු කර නැහැ. මොකද මිය ගිය අයගේ මව සහ ඥාතීන් බේරුවල ගැටුමට මැදි වී සිටින නිසා ඔවුන් එනතෙක්‌ බලා සිටිනවා. ගැටුමට මැදි වූ අය ගෙන්වා ගැනීමට නිවැසියන් පොලිසියෙන් ඉල්ලීම් කළ ද ඔවුන්ට පොලිසියෙන් බැණ වැදී ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

එවැනි පසුබිමක්‌ තුළ ඔවුන් ගෙන ඒම සඳහා වෑන් රථයක්‌ රැගෙන බේරුවලට ගොස්‌ දරුවන් 5 දෙනෙක්‌ සමග 16 දෙනෙක්‌ වෑන් රථයන් රැගෙන ගෙන එන විට පොලිසිය බලාසිටිය දී මා පැදවූ වෑන් රථයට යකඩ පොලු වැලිබෝතල්, හා ගල්වලින් පහර දුන්නා. ඒ අවස්‌ථාවේ වෑන් එක දාලා දුවගොස්‌ සැඟවෙන්න මට අවස්‌ථාව තිබුණා. එහෙම කළා නම් එහි සිටි 16 දෙනාම මරා දමනවා. මගේ ජීවිතය ගැනවත් නොහිතා ලේ ගලද්දී විදුලි වේගයෙන් වෑන් රථය පදවගෙන නාගොඩ රෝහලට මෙම 16 දෙනා ගෙන ගියා. එතැනට ගොස්‌ බලන විට වෑන් එක ලේ විලක්‌ බවට පත්ව තිබුණා. එහි සිටි අත දරුවන්ට පවා තුවාල සිදු වී තිබුණා. පොලිසිය අපිට උදව් නොකළත් නාගොඩ රෝහලේ සිටි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්‌ඩලය දෙවිවරු මෙන් අපට පිහිට වුණා.

ප්‍රශ්නය – එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔබ අතර දිගු කාලයක්‌ පැවැති විරසකය දුරු කර ගැනීමට ඉහත සිදුවීම්වලින් පසු අවස්‌ථාව උදා වූ බවට තොරතුරු පැතිර යනවා. මෙහි සත්‍යතාවයක්‌ තිබෙනවාද?

පිළිතුර – රනිල් වික්‍රමසිංහ නායකතුමා මට දුරකථනයෙන් කතා කර සුවදුක්‌ විමසූ බවට පැතිර ගිය කතාව සම්පූර්ණ අසත්‍යයක්‌. නමුත් පහර කෑමට ලක්‌ව තුවාල සිදු වූ මගේ ඇස ආවරණය කරගෙන පාර්ලිමේන්තුවට ගිය අවස්‌ථාවේ එතුමා මා ළඟට කඩිනමින් පැමිණ නියම නායකයෙක්‌ වශයෙන් විපක්‍ෂනායක කාර්යාලයට කැඳවාගෙන ගොස්‌ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේදී අදහස්‌ ප්‍රකාශ කරන ලෙස මට උපදෙස්‌ දුන්නා.

ප්‍රශ්නය – දැන් රනිල් හා ඔබ අතර ප්‍රශ්නයක්‌ නැද්ද?

පිළිතුර – අපි දෙදෙනා අතර කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. මට ප්‍රශ්නය තිබුණේ නායකතුමා සමග නොවෙයි. පසුගිය පළාත් සභා මැතිවරණයේදී මට හා පක්‍ෂය වෙනුවෙන් බර ඇදපු කළුතර දිස්‌ත්‍රික්‌කයේ රැසකට අසාධාරණයක්‌ සිදු වුණා. ඒ ගැන පක්‍ෂයෙන් මා ප්‍රශ්න කළා.

ප්‍රශ්නය – පාර්ලිමේන්තුවේ පැවැති එ. ඊ. ප. මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේ දී ඔබ රනිල් වික්‍රමසිංහ මහතාට බැණ වැදීම සම්බන්ධව විනය පරීක්‍ෂණයක්‌ පවා පැවැත්වුණානේද?

පිළිතුර – ඔව්. මට සිදු වූ අසාධාරණය ගැන එහිදී මා නායකතුමාගෙන් ප්‍රශ්න කළා. ඒ අවස්‌ථාවේ එතුමා ප්‍රශ්නයට උත්තර නොදී පැන ගියා. ඊට පසු එතුමාව නතර කර ගැනීමට මා උත්සාහ කිරීම පිළිබඳව විනය පරීක්‍ෂණයක්‌ පවත්වනවා. ඒ සිද්ධිය නිසා ආසන සංවිධායක ධුරය පවා මට අහිමි වුණා. ඒ ප්‍රශ්න තාම නිමාවක්‌ නෑ. එය එතනම තියෙනවා. එතුමාගෙන් සමාව ගන්න, ලෙස මට පක්‍ෂයෙන් දැනුම් දුන්නා. නමුත් මා වරදක්‌ නොකළ නිසා අද වන තෙක්‌ සමාව ගන්න ගියේ නැහැ.

ප්‍රශ්නය – මේ සිද්ධීන් මුල් කරගෙන ඔබ එජාපයෙන් යෙන් ඉවත්ව ආණ්‌ඩුව සමග එක්‌වන බවට පසුගිය දිනවල ප්‍රචාරයක්‌ දියත් වුණා.

පිළිතුර – නැහැ. කිසිදාක එක්‌සත් ජාතික පක්‍ෂය හැර යන්නේ නැහැ. මට අවශ්‍ය කර තිබෙන්නේ මේ දූෂිත පාලනය වෙනස්‌ කර දුක්‌විඳින එ.ජා. ප පාක්‍ෂිකයන්ට සාධාරණයක්‌ ඉටුකර දීමටයි. ඒ වෙනුවෙන් අදත් හෙටත් එ. ජා. පයේ සිට මා කටයුතු කරනවා.

ප්‍රශ්නය – ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයට රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා වුණොත් ඔබ එය අනුමත කරනවාද?

පිළිතුර – පැහැදිලිවම එතුමාගෙ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී වැඩ කරනවා. එතුමා සමග මට කිසිදු ප්‍රශ්නයක්‌ නැහැ.

සාකච්ඡා කළේ
පියසේන දිසානායක