Spread the News

සෝල්හයිම් පසුපස රම්පෝසා…!

දකුණු අප්‍රිකාවේ වැඩබලන ජනාධිපති සිරිල් රම්පෝසා පසුගියදා මෙරටට පැමිණ රජයේ බලධාරීන් සහ ද්‍රවිඩ සන්ධානය සමග සාකච්ඡා කර ආපසු පිටව ගියේය. රම්පෝසා මෙරටට පැමිණියේ ඇයි?

ඔහු උතුරු පළාතෙ මහඇමැති විග්නේශ්වරන් හමුවූ විට යොමුවූ ප්‍රධාන ප්‍රශ්නය මෙයයි.

“ඔබ ආවේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශනයට මැදිහත්වීමටද” යෑයි විග්නේශ්වරන් ප්‍රශ්න කළේය.

“මම ඊට මැදිහත්වන්නේ නැහැ” යෑයි රම්පෝසා ප්‍රතිචාර දැක්‌විය.

“ශ්‍රී ලංකා රජය 13 වැනි සංශෝධන බලතල අපට දෙන්නේ නැහැ. උතුරේ 150000 ක හමුදාවක්‌ සිටිනවා යෑයි විග්නේශ්වරන් එහිදී කියා සිටියේය.

පසුව මාධ්‍ය ඇමතූ රම්පෝසා තමා පැමිණියේ රජය සහ ද්‍රවිඩ සන්ධානය අතර සහජීවන ක්‍රියාමාර්ගයක්‌ ඇති කිරීමට යෑයි කීවේය.

එහෙත් රම්පෝසාගේ මැදිහත්වීම විශ්වාස කළ හැකිද?

දකුණු අප්‍රිකාව දැන් රඟදක්‌වන්නේ ඩොක්‌ටර් ජානිල් ඇන්ඩ් මිස්‌ටර් ගයිඩ් නැමැති ද්විත්ව චරිතයයි.

මේ ඊට නිදසුන්ය.

2003 සටන් විරාම සමයේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ ක්‍රියාකාරියකුවූ යසාම් කඩාම් මෙරටට සම්ප්‍රාප්ත විය.

ඔහුව ගෙන්වූයේ ජර්මානු බර්ග්නොඩ් සංවිධානයයි. උතුරට ගිය කඩාම් කොටි හමුවිය. මේ දකුණු අප්‍රිකානු නියෝජිතයාව කැඳවනු ලැබුවේ උතුරේ අධිආරක්‍ෂක කලාප ඉවත් කිරීම සඳහායි.

කොටි ත්‍රස්‌තයන්ද සහභාගිවූ උතුරේ සාකච්ඡාවට සහභාගිවන ලෙස එදා ආරක්‍ෂක බලධාරියෙක්‌ යාපනයේ හමුදා මූලස්‌ථානයට නියෝග කළේය.

එම සාකච්ඡාවේදී කඩාම් පැවසුවේ උතුරෙන් බර අවි ඉවත් කිරීමට කොටි ක්‍රියානොකළ යුතු බවයි.

දකුණු අප්‍රිකානු රංගනය ඉන් නතර වූයේ නැත. මේ ඊට නිදසුන්ය.

1. ශ්‍රී ලංකා හමුදාවට බිම්බෝම්බ නාශක බµල් යුද රථ නොදෙනු යෑයි කොටි කළ ඉල්ලීමට දකුණු අප්‍රිකාව එකඟ විය.

2. අප්‍රිකානු කොන්ග්‍රසයේ සමුළුවට කොටි හිතවාදී ගෝලිය ද්‍රවිඩ සංසදයටද ඇරයුම් කෙරුණි.

3. පසුගිය අප්‍රේල් මස දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්‌බර්ග් නගරයේදී ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්දන් ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ සමඟ සිරිල් රම්පෝසා සාකච්ඡා කළේය.

4. නැගෙනහිර කොටි හමුදා නායකයා වූ රමේශ්ගේ බිරිය වූ වත්සලා දේවියට දකුණු අප්‍රිකාවේ රැකවරණය දීම

5. පුලිතේවන් හා නඩේසන්ගේ චන්ද්‍රිකා දුරකථන දකුණු අප්‍රිකාව හරහා ක්‍රියාත්මක වීමට ඉඩදීම

6. අප්‍රිකානු කොන්ග්‍රසයේ උත්සවවලට ගෝලීය ද්‍රවිඩ සංසදයට ඇරයුම් කිරීම

7. දකුණු අප්‍රිකානු රජයට සම්බන්ධ හිටපු අගරදගුරු ඩෙස්‌මන් ටුටු වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කිරීම පසුව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශනයක්‌ පැවැත්විය යුතුයෑයි පැවසීම.

8. දකුණු අප්‍රිකාවේ නීතිවේදිනියක්‌වූ නවි පිල්ලේ සහ එරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක්‌ ලෙස හඳුන්වන යස්‌මිත් සුකා ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා නැගීම

9. යස්‌මිත් සුකා ශ්‍රී ලංකාවට එරෙහි එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයේ සේවය කළේය

10. ඇය පසුගියදා පිටු 40 කින් යුත් සුදුකොඩි සිද්ධිය නමින් වාර්තාවක්‌ද ප්‍රකාශයට පත්කර තිබේ

මෙවන් ඉතිහාසයක්‌ ඇති දකුණු අප්‍රිකාව මෙරට සහජීවන ක්‍රියාමාර්ගයක්‌ ආරම්භ කිරීමට ඉදිරිපත්වූවත් ඔවුන්ගේ ඉලක්‌කය පැහැදිලිය.

නෝර්වේ රාජ්‍යය මෙරටට මැදිහත්වූයේ නෝරාඩ් රාජ්‍ය නොවන සංවිධානය සමඟය.

දකුණු අප්‍රිකානු මැදිහත්වීම අයිවර් ජෙනතිස්‌ග් නැමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියාගේ ටී. අයි. සංවිධානය හරහා ඉදිරිපත් වී ඇත.

එසේ නම් නෝර්වේහි නිවුන් සොහොයුරා දකුණු අප්‍රිකාවයි. මේ පසුබිම මත දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට කියන්නේ අපි සත්‍ය සෙවීමේ කොමිසමකින් සුද්දන් සහ කල්ලන් අතර සහජීවනය ඇතිකළා යන්නයි. එහෙත් ඩෙස්‌මන් ටුටුගේ මූලිකත්වයෙන් යුත් එරට සත්‍ය සෙවීමේ කොමිසම අසමත් කොමිසමක්‌ බවට පත්වී ඇත.

2013 වසරේදී හිටපු අගරදගුරු ඩෙස්‌මන් ටුටු පැවසුවේ වර්ණභේදවාදී පාලන සමයටත් වඩා දකුණු අප්‍රිකානු සමාජය දැඩිලෙස සාහසිකත්වයට යොමුවී ඇති බවයි.

ඩෙස්‌මන් ටුටුගේ සත්‍ය සෙවීමේ කොමිසමට කරුණු සෙවීමේදී හෙලිවූයේ සුදු ජාතික රජය මෙන් අප්‍රිකානු කොන්ග්‍රසයද බිහිසුණු අපරාධ සිදුකර ඇති බවය.

හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩේලාගේ බිරිය ලෙස කලක්‌ සිටි විනි මැන්ඩේලාට පවා මිනීමැරීම් චෝදනා එල්ලවී ඇය වගකිවයුතු බවට තීන්දුවිය.

එහෙත් විනි මැන්ඩේලාට එරෙහිව අද වනතුරු නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

සත්‍ය සෙවීමේ කොමිසම එකී තීන්දුව ප්‍රශ්න කරන අවස්‌ථාවේ එකී කොමිසමේ සාමාජිකාවක්‌ ලෙස ක්‍රියාකළේ යස්‌මිත් සුකායි.

අද ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන්නේ එකී යස්‌මිත් සුකායි.

දකුණු අප්‍රිකානු රජය සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පත්කළත් දකුණු අප්‍රිකාවේ හිටපු පාලකයන්වූ පී. ඩබ්ලිව්. බෝතා සහ එස්‌. ඩබ්ලිව්. සී. ක්‌ලාක්‌ තමන් වැරදි කළ බවට පිළිගන්නේ නැත.

සුද්දන් 21000 ක්‌ අප්‍රිකානු කොන්ග්‍රසයට එරෙහිව සත්‍ය සෙවීමේ කොමිසමට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළත් සාක්‍ෂි දීමට ඉදිරිපත් වූයේ 2000 ක්‌ පමණකි.

දකුණු අප්‍රිකානු රජය 1996 දී මේ සත්‍ය සෙවීමේ කොමිසම ආරම්භ කලේ අප්‍රිකානු කොංග්‍රසයේ අපරාධකරුවන් ගලවා ගනු සඳහායි.

මේ කොමිසම හමුවේ බිහිසුණු අපරාධ හෙලිවූවත් එකී අපරාධ ගැන මානව හිමිකම් කවුන්සලයට පැමිණිලි යොමුවූයේ නැත. කිසිදු බටහිර රටක්‌ විමර්ශන මණ්‌ඩල පත්කළ යුතු යෑයි කීවේ නැත.

එහෙත් රම්පෝසා මෙරටට පැමිණ සහජීවනය ගැන හඬ නගයි.

එසේම දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසමේ පසුබිමේ සිටියේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ හා ක්‍රිස්‌තියානි පල්ලියට ඔවුන්ගේ තේමාව වූයේ සමාව දීමයි. මෙම සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ සාක්‌කි දුන් හිටපු පොලිස්‌ නිලධාරියකු මෙන්ම වෘත්තිය ඝාතකයකුවූ ජැක්‌වින් හෙචර් පැවසුවේ තමා ඉටුකළේ රාජකාරියක්‌ බවත් ඒ ගැන සමාව යදින්නේ නැති බවයි.

මේ තත්aත්වය මත ශ්‍රී ලංකාව සම්බන්ධව සත්‍ය සෙවීමේ කොමිසමක්‌ අවශ්‍ය නම් කොටින්ව පුහුණු කිරීම සහ ඔවුන්ට ආයුධ සැපයීමට මෙන්ම කොටින්ට සහය වූ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ගැනද සෙවිය යුතුය.

කීර්ති වර්ණකුලසූරිය|