Spread the News

පාඨලී උදය ඇමතිවරු අස්‌වෙති

source:
ඉදිරියේදී රජයේ නියෝග හෙළ උරුමයට අදාළ නොවේ

සිරිමන්ත රත්නසේකර

තාක්‌ෂණ පර්යේෂණ හා පරමාණු බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක සහ බස්‌නාහිර පළාත් පරිසර හා කෘෂිකර්ම ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරු ඊයේ (18 දා) සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වූහ.

ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ වන ජාතික හෙළ උරුමය ඇමැති තනතුරුවලින් සහ අනෙකුත් සියලුම තනතුරුවලින් අස්‌වීමට ගනු ලැබූ තීන්දුව ඔව්හු ඊයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවා ප්‍රකාශ කළහ.

ඒ අනුව පාඨලී චම්පික රණවක මහතා සිය අස්‌වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙතද ප්‍ර්‍රභාත් උදය ගම්මන්පිල මහතා සිය අස්‌වීමේ ලිපිය බස්‌නාහිර පළාතේ ආණ්‌ඩුකාර අලෙවි මවුලානා මහතා වෙතද යොමු කර තිබේ.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව, නායකත්ව මණ්‌ඩලය, උත්තරීතර සභාව, ගිහි උපදේශක සභාව, මහජන නියෝජිතයන්, දිස්‌ත්‍රික්‌ හා ආසන සංවිධායකවරුන් ඒකාබද්ධව ගත් ඒකමතික තීරණයකට අනුව මෙම තීරණය ගත් බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්‌වෙමින් පැවසීය.

ඒ අනුව මින් ඉදිරියට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ නියෝග සිය පක්‍ෂයට අදාළ නොවන බවත් පක්‍ෂය කටයුතු කරන්නේ පක්‍ෂයේ මතය අනුව පමණක්‌ බවත් හෙතෙම පැවසීය.

සන්ධානය තුළ දැරූ තනතුරුවලින් ඉවත්ව ගියද රටට හිතැති පොදු වැඩපිළිවෙළකදී ආණ්‌ඩුවට සහාය දීමට කටයුතු කරන බව පැවසූ පාඨලී චම්පික රණවක මහතා මෙම ඉවත්වීම සතුරු හමුදාවක්‌ ආණ්‌ඩුවට කරන අභියෝගයක්‌ නොව හිතමිතුරු පිරිසක්‌ විසින් කරන කාරුණික මඟපෙන්වීමක්‌ බවත් කියා සිටියේය.

බොල් පිළිම හා ගල් පිළිම අතර වෙනසක්‌ ඇති බව කී හෙතෙම දැන් පවතිනුයේ බොල් සහ ගල් පිළිම අතර සටනක්‌ බවත් කියා සිටියේය.

මෙම ඉවත්වීම තුළ ඉදිරියේදී සිය පක්‍ෂයට සහ පක්‍ෂ නායකයන්ට නොයෙක්‌ අපවාද අවලාද, චෝදනා, ගැරහුම්, තර්ජන, ගර්ජන එල්ලවිය හැකි බව සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව අවධාරණය කළේය.

ජාතික හෙළ උරුමයේ යෝජනාවලට ආණ්‌ඩුවෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම මෙම ඉවත්වීමට හේතුව බවත් දියුණු දේශපාලනයක අවශ්‍යතාව රටට මේ මොහොතේ අවශ්‍යවී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

තනතුරු තාන්න මාන්නවලින් ඇති ඵලක්‌ නැතැයි කී හෙතෙම පක්‍ෂයට අවශ්‍ය ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීම පමණක්‌ බවත් සඳහන් කළේය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (18 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ පිහිටි ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ජාතික හෙළ උරුමයේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර ඊට එම පක්‍ෂයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු ප්‍රධාන පෙළේ ගිහි පැවිදි නායකයෝ එක්‌ව සිටියහ.