Spread the News

පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන

* ‘දින 100ක්‌ ඇතුළත විධායක ක්‍රමය අහෝසි කරනවා’
* ‘රනිල් අගමැති කරනවා’
* ’18 වැනි සංශෝධනය අහෝසි කර 17 යළි බලාත්මක කරනවා’
– මෛත්‍රිපාල පුවත්පත් සාකච්ඡාවේදී කියයි

අකිත පෙරේරා

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංග, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, රජීව විඡේසිංහ, එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන. වසන්ත සේනානායක හා අර්ජුන රණතුංග යන මහත්ම මහත්මීන් ඊයේ (21 දා) මාධ්‍ය හමුවේදී…
ඡායාරූපය – කමල් බෝගොඩ

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් හා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ ගණනාවක්‌ හා සිවිල් සංවිධාන ගණනාවක්‌ විසින් තෝරාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ඊයේ (21 දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්‌ඩු පක්‍ෂයේ තවත් මැති ඇමැතිවරුන් සමඟ මාධ්‍ය අමතමින් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගෙන දින සියයක්‌ ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළි බලාත්මක කරන බවයි.

ඉදිරියේදී පිහිටුවන ආණ්‌ඩුවේ අගමැතිවරයා ලෙස විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස මා පත්කිරීම පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සෙසු පක්‍ෂවලට ස්‌තුතිය පළකරන බව ද පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය, ධීවර ඇමැති රාජිත සේනාරත්න, අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අර්ජුන රණතුංග, මහාචාර්ය රජීව් විඡේසිංහ, වසන්ත සේනානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් “සුපිරිසිදු නායකත්වයක්‌, මෛත්‍රී පාලනයක්‌” යන තේමාව යටතේ මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.