Spread the News

වැඩි ඡන්ද 95කින්
අය-වැය සම්මතයි
පක්‍ෂව ඡන්ද 152 යි : විරුද්ධව 57 යි

අජිත් අලහකෝන් – අකිත පෙරේරා

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ 2015 වසරේ අයවැය වාර්තාව වැඩි ඡන්ද 95 කින් ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

අයවැයට පක්‍ෂව ඡන්ද 152 ක්‌ද විරුද්ධව ඡන්ද 57 ක්‌ද ලැබිණි.

අයවැය ලේඛනයට විරුද්ධ බවත් එය සම්මත කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසිය යුතු බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසන ලෙසට සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කථානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කළේය. ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසන ලදී.

ඡන්දය විමසද්දී මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන, මහාචාර්ය රජීව විඡේසිංහ, වසන්ත සේනානායක, පෙරුමාල් රාජදොරේ, පාඨලී චම්පික රණවක යන මහත්වරු සහ අතුරලියේ රතන හිමි සභා ගැබෙහි නොසිටියහ.

විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන ලක්‍ෂ්මන් කිරිඇල්ල, ටිරාන් අලස්‌, කරු ජයසූරිය, ඡේ. ශ්‍රී රංගා, අර්ජුන රණතුංග, අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරු ද සභාවෙහි සිටියේ නැත.

අයවැයට විරුද්ධව එක්‌සත් ජාතික පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය දුන්හ.