Spread the News

හිසේ ඇම්මට කොට්‌ටා මාරු කරනවා වගේ
ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්නට බැහැ
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

අනුර බාලසූරිය

දින සියයකින් ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කරන්න පුළුවන් නම් එය පුදුමයට කරුණක්‌. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ එහෙම ආවාට ගියාට වෙනස්‌ කරන්න බැහැ. හදිසියේ ව්‍යවස්‌ථාවක්‌ වෙනස්‌ කළ හොත් විශාල ප්‍රශ්න ඇතිවෙනවා. හිසරදයට කොට්‌ටෙ මාරු කරනවා වගේ මේවා කළ නොහැකි යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. අද තියෙන එකම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නම් එයත් කළ හැක්‌කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්‌ තිබෙන තමන්ට බවත් බණ්‌ඩාරනායක මැතිනිය ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන වෙලාවේ කොල්වින් ආර් ද සිල්වා මහතා අවුරුදු දෙකක්‌ පාර්ලිමේන්තුවේ ඒ ගැන කතාකර එය වෙනස්‌ කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හදිසියේ ව්‍යවස්‌ථා වෙනස්‌ කිරීමෙන් විශාල ප්‍රශ්න ඇතිවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ස්‌වාමීන්වහන්සේලා හා රටම විරෝධය පාන අවස්‌ථාවේ 13 වැනි වගන්තිය පැය 24 න් හඳුන්වා දුන් බවත් එය අදටත් විසඳී නැති බවත් පැවසීය.

ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ කාර්යයක්‌ බැවින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත්කර ඇති බවත් සියලු දෙනා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර එයට විසඳුමක්‌ ගතයුතු බවත් සඳහන් කළේය.

13 වැනි වගන්තිය තබාගෙන ආවාට ගියාට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද, නැතිනම් එහි වෙනස්‌කම් ඇතිකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද, පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය වෙනස්‌ කරනවාද යන්න පිළිබඳව සාකච්ඡා කර යම් විසඳුමක්‌ ගතයුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය සිකුරාදා පැවති පූජා භූමි ලෙස ගැසට්‌ කරනු ලැබූ සිද්ධස්‌ථාන වෙත සන්නස්‌ පත්‍ර ප්‍රදානය කිරීමේ හා සම්බුදු සසුනට කළ යුග මෙහෙවර අගයමින් සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩල ස්‌වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ජනාධිපතිවරයාට පළ කිරීමේ උත්සවයට එක්‌වෙමින් ජනාධිපතිවරයා මෙම කරුණු සඳහන් කළේය.