Spread the News

source:

රනිල්, චන්ද්‍රිකා, වික්‍රමබාහු, මනෝ ගනේෂන් පෙරමුණකට මට සහාය දෙන්න බෑ
-ජාතික හෙළ උරුමයේ, හිටපු නියෝජ්‍ය ලේකම්, බස්‌නාහිර පළාත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල

ප්‍රශ්නය – ජාතික හෙළ උරුමය, ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්‌වීමට තීරණය කළ බව ප්‍රකාශයට පත්කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔබ මෛත්‍රීපාල මහතා ළඟින්ම අසුන් ගෙන සිටියා. නමුත් දින කිහිපයකට පසුව යළිත් මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී තිබෙනවා.

ඔබගේ එම ක්‍රියාකලාපය පිළිබඳව මේ වන විට විවිධ අර්ථකතනයන් ඉදිරිපත් වී තිබෙනවා. ඔබගේ තීරණයන් පිළිබඳව ඔබගේ අර්ථකතනය කුමක්‌ද?

පිළිතුර – මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්‍ෂව මම එක වචනයක්‌ කතා කරනවා ඔබට ඇසී තිබෙනවාද? ඒ වගේම මා ලියූ එක වචනයක්‌ දැක තිබෙනවාද? මෙම ප්‍රශ්න දෙකටම ඕනෑම පුද්ගලයකුට දෙන්න ප්‍රථම පිළිතුර තමයි නැහැ කියන එක.

එහෙම නම් මොකද වුණේ. මේ ආණ්‌ඩුවේ යහපාලනය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක්‌ තිබුණා. එම නිසා අපි අවුරුදු දෙකක්‌ ආණ්‌ඩුව ඇතුලේ අරගල කළා, යහපාලනය ඇති කිරීම සඳහා. එම සටන සාර්ථක නොවූ නිසා අපි යෝජනා මාලාවක්‌ ඉදිරිපත් කළා. එම යෝජනා ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව එකඟ නොවුන නිසා අපි ආණ්‌ඩුවෙන් එළියට යන්න තීරණය කළා.

ඇයි අපි ආණ්‌ඩුවෙන් එළියට යන්නේ. මේ ආණ්‌ඩුවට වඩා හොඳ ආණ්‌ඩුවක්‌ බලයට ගේන්න. මම අපගේ සම්මේලනයේදී පැහැදිළි කළා වගේ අපි අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමටයි සිටියේ. එම අපේක්‍ෂකයා ඡන්ද කීයක්‌ ගත්තත්, ඉදිරි මහ මැතිවරණයේදී ඊට වඩා ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගෙන පාර්ලිමේන්තුවේ තීරක බලය වීමටයි සැලසුම් කළේ. ඒ ආකාරයට අපි තීරක බලය වූවා නම් එදා ජනතා විමුක්‌ති පෙරමුණ පරිවාස ආණ්‌ඩුව යටතේ 17 වැනි සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ ආකාරයට, කවුරු දිනුවත් දිනපු පැත්තට බලපෑම් කරල යහපාලනය ඇති කිරීමයි, ජාතික හෙළ උරුමයේ උපාය මාර්ගය වූයේ. එම උපාය මාර්ගයට මම සියයට, සියයක්‌ එකඟයි.

යහපාලනයක්‌ නොමැති නම් ඒ වෙනුවෙන් දේශපාලන බලවේගයක්‌ ගොඩනැඟිය යුතුයි. සියලු පක්‍ෂ පෙඩරල් පිළිගත් යුගයක, අපි සිහළ උරුමය බිහි කළ ආකාරයට එය කළ යුතුව තිබුණා. අලුත් බලවේගයක්‌ ගොඩ නගන්නයි අපි එළියට බැස්‌සේ.

නමුත් අන්තිමට මොකද වුණේ. මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්‍ෂකයා වීමත් සමග කට්‌ටියගේ අදහස වෙනස්‌ වුණා. ඒ අය තීරණය කළා, මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වෙන්න. මට ඒ මහතා සමග ලොකු ප්‍රශ්නයක්‌ තිබුණේ නෑ. නමුත් මම දිගින් දිගටම රනිල්, චන්ද්‍රකා, වික්‍රමබාහු, මනෝ ගනේෂන් අශුද්ධ සන්ධානය සමග හෙළ උරුමයට ගමනක්‌ නැහැ කියන එක අවධාරණය කළා. ඒක මගේ මතය නොවෙයි. ඒක තමයි වසර 15 ක්‌ තිස්‌සේ ජාතික හෙළ උරුමය රටට කිව්ව මතය. චන්ද්‍රිකාට, නූතන දොaන කැතරිනා කිව්වේ ජාතික හෙළ උරුමය, රනිල්ට නූතන දොන් ජුවන් කිව්වෙත් ජාතික හෙළ උරුමය.. වික්‍රමබාහු කොටි බාහු කළෙත් හෙළ උරුමය. නමුත් නිදාගෙන අවදිවෙන ටිකට කොටිබාහු යළිත් වික්‍රමබාහු වෙලා. දොන් ජුවන් දුටුගැමුණු වෙලා. දොaන කැතරිනා විහාරමහා දේවි වෙලා. මෙම තත්ත්වය දරා ගන්න බැරි පිරිස පක්‍ෂය ඇතුලේ ඒ පිළිබඳව කතා කළා. මමත් ඒ පිළිබඳව දිගින් දිගටම තර්ක කළා, විරුද්ධ වූවා. නමුත් මගේ මතයට ඉඩක්‌ නොදී කඩිමුඩියේ මේ ගිවිසුම අත්සන් කළා. එම අවස්‌ථාවේදී පක්‍ෂයේ සමගියේ නාමයෙන් මම නිහඬවීමට තීරණය කළා.

ඔබ සඳහන් කළ මාධ්‍ය හමුවේදී මම වචනයක්‌වත් කතා කළේ නැහැ. එම මාධ්‍ය හමුවට මම සහභාගි වූයේ වචනයක්‌වත් කතා නොකිරීමේ කොන්දේසිය පිට. ඒ වගේම පක්‍ෂයේ බෙදීමක්‌ තිබෙන බව බාහිර පාර්ශ්වයන්ට පෙනෙයි කියා මට ඇවිටිලි කළ නිසයි එම කොන්දේසිය පිට මම එම මාධ්‍ය හමුවට එක්‌ වූයේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගිවිසුම අත්සන් කළේ දෙසැම්බර් 01 වන දින. එදා සිට 11 වැනිදා දක්‌වා මම මාධ්‍යවලට කිසිදු අදහසක්‌ දැක්‌වූයේ නෑ. පසුගිය කාලයේ දී මට සැත්කමක්‌ කළා. ඒ පිට දමා මම මාධ්‍ය මගහරිමිනුයි සිටියේ. මම එහෙම කළේ සිදුවූ දේ පිළිබඳව සිතට එකඟව කතා කළ නොහැකි නිසයි.

එහෙත් අවසානයේදී මට එක්‌ පැත්තකින් බයක්‌ ආවා. මෛත්‍රීපාල මහතා ජය ගනීවි කියා. මොකද එසේ වුවහොත් රටට දැවැන්ත විනාශයක්‌ වෙනවා. එසේ වුවහොත් එම පාප කර්මයට මමත් කර ගැසුවාය කියා, මැරෙන තුරු මට සිතින් දුක්‌ විඳීමට සිදුවන බව මට කල්පනා වූවා. අනෙක්‌ අතට පසුගිය 09 වැනිදා පැවති අපගේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී මට බලකළා, නිහඬව නොසිට පක්‍ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්න කියලා. එම හේතු සාධකයන් නිසා රැයවල් දෙකක්‌ නිදිවරා මම මෙම තීරණය ගත්තා. මම මගේ පක්‍ෂයට හරි ආදරෙයි. මගේ වෘත්තීය ජීවිතය සහ ව්‍යාපාර විනාශ කරගෙන වසර 15 ක්‌ පුරා මම මෙම පක්‍ෂය ගොඩනැගීම සඳහා කටයුතු කර තිබෙනවා. මම මෙම පක්‍ෂයට ආදරය වුවත්, මම ඊටත් වඩා මගේ රටට ආදරෙයි.

ප්‍රශ්නය – මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඉන් අනතුරුව නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට කටයුතු කරන බව සඳහන් වෙනවා. එම ව්‍යවස්‌ථාවේ මෙරට හඳුන්වන්නේ ඒකීය රාජ්‍යයක්‌ ලෙසද පෙඩරල් (එක්‌සත්) රාජ්‍යයක්‌ ලෙසද සඳහන් වන්නේ? ඒ පිළිබඳ හෙළ උරුමය නායකයන් සාකච්ඡා කළාද?

පිළිතුර – මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වූ කිසිම සාකච්ඡාවකට මම සම්බන්ධ වූයේ නෑ. සමහර විට මම අසනීප තත්ත්වයේ සිටිය නිසා එම සාකච්ඡාවලට සම්බන්ධ කර නොගන්න ඇති. නමුත් ගිවිසුම නම් මට පෙන්නුවා. එම ගිවිසුමේ සංශෝධනත් මම කළා කියන එක ඇත්ත. එම ගිවිසුමත් සමග මට කිසිම ප්‍රශ්නයකුත් නෑ. මට තියෙන්නේ වෙන ප්‍රශ්න දෙකක්‌. පළමු ප්‍රශ්නය තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා අපත් සමග විධායක ජනාධිපති ධුරය සංශෝධනය කිරීමට එකඟ වී පැය කීපයක්‌ ඇතුළත එය අහෝසි කිරීමට වෙනත් අයත් සමග ගිවිසුම් අත්සන් කිරීම මගින් අපව රවටා තිබීම. ඒ වගේම පාර්ලිමේන්තුවේ අපට ආසන තියෙන්නේ දෙකයි. වැඩිපුර ආසන තිබෙන්නේ එ.ජා. පක්‍ෂයට. එම නිසා මෛත්‍රීපාල මහතා ජයග්‍රහණය කළහොත් ඔහුට එම පක්‍ෂයේ මතයට යටවීමට සිදුවන බව නම් පැහැදිළියි.

මට තිබෙන දෙවන ප්‍රශ්නය තමයි, මෛත්‍රීපාල මහතා එක්‌වී සිටින පිල. අද එතුමා යහපාලනය පිළිබඳව කතා කළත්, ඒ මහතා ඒ පිළිබඳව කතා කරන්නේ ලංකාවේ සිටින නරකම හොරු රංචුව සමග එකතු වෙලා තමයි කතා කරන්නේ. තවක්‌කාල් සිදුවීමේ සිට ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව දක්‌වා මහා පරිමාණ වංචා සිදුකරලා, චෞර රැජින යන නාමය දිනා ගත් ලංකා ඉතිහාසයේ එකම දේශපාලන නායකයා, ඒකාධිපති දේශපාලනය පිළිබඳව නූතන ලෝකයේ සංකේතය තමයි රනිල් වික්‍රමසිංහ මහතා, බලයක්‌ නැතිව මැතිවරණ පරාජය වෙමින් වසර 20 ක්‌ පුරා පක්‍ෂයේ නායකත්වය රැක ගැනීම පිළිබඳව එතුමාගේ නම ගිනස්‌ පොතටත් ගිහින් තිබෙනවා. ඒ සඳහා පළමුවෙන්ම තනතුරු අහිමි කිරීමෙන් තැලුවා. ඊට පසුව කුරුඳු පොලුවලින් තැලුවා. මේ අයත් සමගද අපි යහපාලනය හදන්නේ.

ලෝකයේ බලගතුම ජනාධිපති ලංකාවේ ඉන්නවා කියන එකත් පට්‌ටපල් බොරුවක්‌. ලංකාවේ තිබෙන්නේ පූර්ණ ජනාධිපති ක්‍රමය නෙවෙයි. ලංකාවේ තිබෙන්නේ ප්‍රංශ ආකෘතියකින් යුතු අර්ධ ජනාධිපති ක්‍රමයක්‌. අර්ධ ජනාධිපති ක්‍රමයක්‌ තුළදී ජනාධිපතිගේ බලය තීරණය කරන්නේ පාර්ලිමේන්තුවේ තිබෙන බලය විසිනුයි. පාර්ලිමේන්තුවේ බලයක්‌ ජනාධිපතිට තිබෙනවා නම් එතකොට ජනාධිපති බලවත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ වෙනත් පාර්ශ්වයකට නම් එම අවස්‌ථාවේ දී පාර්ලිමේන්තුවේ බලය ඇති පුද්ගලයා ආණ්‌ඩුවේ ප්‍රධානියා වෙනවා. ඩී. බී. විඡේතුංග මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ලෙස සිටියදී 1994 අගෝස්‌තු මාසයේදී චන්ද්‍රිකා මැතිණිය පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගත්තා. එම අවස්‌ථාවේ දී එතුමිය අගමැතිණිය ලෙස රට පාලනය කළා. මහ බලගතු නැහැ යෑයි කියන ජනාධිපති නිකම්ම නිකන් පඹයෙක්‌ බවට පත් වූවා. 2001 සැප්තැම්බර් මාසයේදී මුස්‌ලිම් කොංග්‍රසය විපක්‍ෂයට එක්‌වීම නිසා චන්ද්‍රිකා මැතිණියට පාර්ලිමේන්තුවේ බලය අහිමි වූවා. ඒ අවස්‌ථාව වන විට ජ.වි. පෙරමුණට තිබුණේ ආසන 10 යි. පරිවාස ගිවිසුම ගැසුවේ එම ආසන 10 යේ බලයෙන්.

ඉන් අනතුරුව මහා බලගතු යෑයි කියන විධායක ජනාධිපතිතුමිය ජ.වි. පෙරමුණේ අල්ලේ නැටවෙන රූකඩයක්‌ බවට පත් වූවා. ඇමැතිවරු සංඛ්‍යාව 20 ට අඩු කරන්න කිව්වා. 17 වැනි සංශෝධනය ගේන්න කිව්වා, ජනාධිපතිනිය සඳහා ඉදිකළ මහා මන්දිරය නතර කරන්න කිව්වා. ඒ සියල්ලම සිද්ධ වූවා. ඉන් අනතුරුව 2001 දී පාර්ලිමේන්තුවේ බලය අල්ලගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්වූවා. 2002 දී අලි – කොටි ගිවිසුම අත්සන් කරන කොට 2003 දී ලංකාවේ ඉරණම තීරණය කරන සමුළුවක්‌ ජපානයේ පවත්වන කොට මහා බලගතු යෑයි කියන ජනාධිපතිට නිකන් බලාගෙන ඉන්න සිද්ධ වූවා.

එම නිදසුන් තුනෙන්ම පෙන්වන කාරණය තමයි ලංකාවේ සැබෑ පාලකයා පාර්ලිමේන්තුවේ බලය හිමි පුද්ගලයා මිස, ජනාධිපතිවරණය ජයගන්නා පුද්ගලයා නොවන බවයි.

ඉදිරි ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළහොත්, පාර්ලිමේන්තුවේ බලය හිමි වන්නේ කාටද? මෛත්‍රීපාල මහතා සමග එකම ශ්‍රී ලංකාකාරයකුවත් ආවේ නෑ. අඩුම ගානේ පොළොන්නරුවේ කෙනෙකුවත් ආවේ නෑ. එයත් සමග සිටින්නේ චන්ද්‍රිකාගේ නායකත්වයෙන් සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම, රනිල්ගේ නායකත්වයෙන් සිටින එජාප කණ්‌ඩායම සහ සම්බන්ධන්ගේ නායකත්වයෙන් සිටින දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු 16 යි. එතකොට එදා ජ.වි. පෙරමුණ චන්ද්‍රිකා මැතිණිය රූකඩයක්‌ වගේ නැටවූවා වගේ රනිල්, චන්ද්‍රිකා, සම්බන්ධන් හවුල තමයි රට පාලනය කරන්නේ. මේ හවුල බලයට එනවයි කියන්නේ දෙමළ සන්ධානයේ ඉල්ලීම් ඉටුකරන රට පෙඩරල් කරන, හමුදා කඳවුරු ඉවත් කරන, විජාතිකයන්ට හිස නමා යුද අපරාධ චෝදනා විභාග කරන තත්ත්වයක්‌ ඇති වෙනවා කියන එක. මට මේක රෑට රෑට හීනෙන් පේන්න ගත්තා. මට නින්ද නොයන තත්ත්වයක්‌ ඇති වූවා. මට පෙනී ගියා එහෙම තත්ත්වයක්‌ ඇති වුවහොත් වසර 15 ක්‌ පුරා අපිට ඉදිකළ මාලිගය, අපිම බෝම්බ ගසා විනාශ කරන තත්ත්වයක්‌ ඇති වන බව. එම පාපකර්මයට දායක වන්න බැරි නිසා තමයි මේ තීන්දුව ගත්තේ.

ප්‍රශ්නය – දෙමළ ජාතික සන්ධානය සමග මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති ගිවිසුමක්‌ පිළිබඳව ඔබ සඳහන් කර තිබුණා. එහෙම ගිවිසුමක්‌ පිළිබඳව සාධක ඔබ සතු වනවාද?

පිළිතුර – ජාතික හෙළ උරුමයට, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දෙකයි තිබෙන්නේ. අපේ සහයෝගය මෛත්‍රීපාල මහතාට ලබාදීම සඳහා අපි විස්‌තරාත්මක ගිවිසුමක්‌ අත්සන් කළා. දෙමළ සන්ධානය කියන්නේ පාර්ලිමේන්තුවේ තෙවැනි විශාලතම පක්‍ෂය. ඔවුන්ට මන්ත්‍රීධුර 16 ක්‌ තිබෙනවා. මේ අය නිකම්ම මෛත්‍රීපාල මහතාට සහයෝගය ලබාදෙන්නේ නෑ. කතාවක්‌ තිබෙනවානේ මීයක්‌ කඩන්නේ අත ලෙවකන්න ද කියලා. ඒ වගේම දෙමළ සන්ධානය ඉතා පැහැදිළිව ප්‍රකාශ කර තිබෙනවා තමන්ට උතුර සහ නැගෙනහිර ඡන්ද හසුරවන්න පුළුවන් කියලා. පසුගිය ජනාධිපතිවරණයේදී පළාත් සභා මැතිවරණයේදී ඒ බව ඔවුන් හොඳින් ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඒ වගේම සම්බන්ධන් මහතා මැතිවරණ ප්‍රකාශය සකස්‌ කිරීම සඳහා දායක වී ඇති බවට තොරතුරු තිබෙනවා. මාවෙයි සේනාධිරාජා මහතා උතුරේ ඡන්දය මෙහෙයවන පුද්ගලයා බවට පත්වී තිබෙනවා.

2010 දී දෙමළ සන්ධානය ගිවිසුමක්‌ ගහල මාධ්‍ය හමුවක්‌ තියල කිව්ව අපේ සහාය ෆොන්සේකා මහතාට කියලා. එම නිසා උතුරු සහ නැගෙනහිර විශාල ඡන්ද ප්‍රමාණයක්‌ ෆොන්සේකා මහතාට ලැබුණා. ඒ හේතුව නිසාම දකුණේ වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජයට පත්වූවා. දෙමළ සන්ධානය 2010 දී කළ වරද 2015 දී කරන්නේ නෑ. රෑ වැටුන වළේ දවල් වැටෙන්නේ නෑ. මෙදා පාර ඉඟිබිඟි පාමින් පෙන්වනවා කාටද දෙන්නේ කියලා. මෛත්‍රී මහතාගේ කතා හොඳයි කියනවා. මේ ආණ්‌ඩුව ගෙදර අරින්න ඕනිලු. මේ ආණ්‌ඩුව ගෙදර අරින්නේ සම්බන්ධන් මහතාට ඡන්දය දීලාද? මහින්ද මහතා පරාජය කිරීමට නම් ඡන්දය දිය යුතු එකම පුද්ගලයා මෛත්‍රී මහතාය. ඒ බව දැන ගෙන ඔවුන් කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා දෙපාර්ශ්වය අතර ඇති වූ එකඟතාවයන් මොනවාද යන්න රටට හෙළිදරව් කිරීම, දෙපාර්ශ්වයේම වගකීම වනවා. හෙළිවූ ගිවිසුම්වල තිබෙන පරස්‌පරතාවන් බලද්දී දෙමළ ජාතික සන්ධානය සහ හෙළ උරුමය අතර ගිවිසුම්වල බොහෝ පරස්‌පරතාවන් ඇතැයි කියල අපි සිතනවා.

ප්‍රශ්නය – ඔබ ඇතුළු ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පිරිස අලුත් පක්‍ෂයක්‌ පිහිටුවීමට කටයුතු කරන බව සඳහන් වනවා. ඒ පිළිබඳව පැහැදිළි කිරීමක්‌ කරනවා නම් –

පිළිතුර – වැදගත් ප්‍රශ්නයක්‌. අපි පසුගිය බදාදා ප්‍රකාශ කළා අලුත් පක්‍ෂයක්‌ බිහි කරනවා කියලා. මම ජාතික හෙළ උරුමයෙන් ආවේ තනියෙන් කියන එක විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මම කාටවත් බලපෑම් කළේ නෑ. ප්‍රධාන ලේකම්වරයා හැර කාටවත් කිව්වේ නෑ. මොකද මධුමාධව මහතා පක්‍ෂයෙන් ගිය අවස්‌ථාවේ චෝදනාවක්‌ එල්ල වූවා අන් අයට බලපෑම් කර අරන් යන්න හැදුවයි කියලා. ඒ නිසාම මම ප්‍රධාන ලේකම්වරයාට පමණයි දැනුම් දුන්නේ. නමුත් මම පක්‍ෂයෙන් ඉවත් වූ පසුව ආසන සංවිධායකවරු, දිසා සංවිධායකවරු, මහජන නියෝජිතයෝ මාව සොයාගෙන ඇවිත් මම ගත් මග හරි බව ප්‍රකාශ කළා. මම කිව්වා එහෙම නම් අපි මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දෙමු, මැතිවරණයෙන් පසුව මොකද කරන්නේ කියලා තීරණය කරමු කියලා. පුළුවන් නම් අපි ආයෙත් හෙළ උරුමය සමග එකතු වෙමු කියලත් කිව්වා.

එහෙත් මම පක්‍ෂයෙන් ඉවත් වීමෙන් පසුව සමහර නායකයන් මඩ ප්‍රහාර එල්ල කරමින් ද්වේෂ සහගතව හැසිරෙනවා. අපි සමීපතමයන්ට බැණවැදී තිබෙනවා. ලංකාවේ එකම බෞද්ධ පක්‍ෂය ජාතික හෙළ උරුමය. අපිට මතකයි අපේ පක්‍ෂයේ නායකයන් එස්‌. එල්. ගුණසේකර මහතා සිහළ උරුමය පක්‍ෂයෙන් ඉවත් වූ අවස්‌ථාවේදී කලහකාරී ලෙස හැසිරුණු බව. ඊට පසු මගේ මැදිහත්වීම නිසා පසුගිය වසර 15 තුළම එබඳු කැත සිදුවීම් සිද්ධ වූයේ නෑ. නමුත් ආයෙත් අවාසනාවට වෛරය, ක්‍රෝධය රජකරන්න පටන් අරන්. බෞද්ධ පක්‍ෂයක්‌ බෞද්ධ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතුයි. නිකම් ප්‍රතිපත්ති ගැන කතා කරල වැඩක්‌ නෑ. ඒ වගේම අද අවශ්‍ය වන්නේ මෛත්‍රීපාලනයක්‌ ගැන කතා කරන බලවේග නොවෙයි. මෛත්‍රී සහගතව ක්‍රියාකරන බලවේග. හෙළ උරුමය එක්‌ අතකින් තමන් කතා කළ ප්‍රතිපත්ති අතහැර තමන් දැඩිව විවේචනය කළ සැකයට භාජනය කළ පිරිස්‌ සමග එකතු වී තිබෙනවා. අනිත් අතට බෞද්ධ බලවේගයකට නුසුදුසු ලෙස හැසිරී තිබෙනවා. එම නිසා අද වන විට සැබෑ බෞද්ධ පක්‍ෂයකට අවකාශයක්‌ ඇති වී තිබෙනවා. එම අවකාශය පිරවීම සඳහා තමයි අපි අලුත් දේශපාලන පක්‍ෂයක්‌ ගොඩනගන්නේ.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය