රක්නා ලංකාට ආයුධ දී ඇත්තේ අමාත්‍යාංශයේ අනුමැතිය මත: දුන් අවිවලින් 3327ක් අඩුයි

Spread the News

රක්නා ලංකාට ආයුධ දී ඇත්තේ අමාත්‍යාංශයේ අනුමැතිය මත: දුන් අවිවලින් 3327ක් අඩුයි

කුරුඳුවත්ත පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන ගිය රක්නා ලංකා ආරක්ෂක සේවයට අවි ආයුධ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මත ලබා දී ඇති බවත් එලෙස ලබා දුන් අවිවලින් 3327 අඩුවක් පැවතී බවට කුරුදුවත්ත පොලිසිය ඊයේ (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.

අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුවකට අනුව ඉකුත් 20 වන දින එම අවි පරික්ෂාවට ලක් කළ බව පවසන පොලිසිය ටී 56 අවි 44,84 එස් අවි 35,එල්.එම්.පී අවි 32,එම්.පී.එම්.ජී අවි 1,බෝර 12 රිපීටර් 29,බෝර 12 ෂොට් ගන් 10 ඇතුළු අවි 151 සොයා ගත් බව පැවැසීය.

නමුත් මේ ආයතනයට ගිනි අවි 3468ක් ලබා දී ඇති බවත් මෙසේ අවිවල පවතින අඩුව සම්බන්ධයෙන් අවි ගබඩා භාරකරුගෙන් ප්‍රකාශ ලබා ගත් බවට පොලිසිය අධිකරණ‍ය හමුවේ පැවැසීය.

අවි 2061ක් ගාල්ල නාවික හමුදා කඳවුරේ අවි ගබඩාවේද අවි 678ක් ඇවන්ගාඩ් ආයතනයේද අවි 6ක් නොරේෂන් වරායේද අවි 271ක් ඇවන්ගාඩ් නෞකාවේද දැනට මුහුදේ රාජකාරී කරන ‍‍නැව් වල එකසිය විස්සක්ද පාවෙන නැවක අවි 06ක්ද දණ්ඩන් වරායේ අවි 65ක්ද ද රුසලාම් නගරයේ අවි 6ක්ද දොම්පෙ පුහුණු පාසලේ අවි 10ක්ද බැංකු ආරක්ෂණ රාජකාරී සඳහා අවි 28ක්ද එස්ටීඑෆ් කඳවුරේ අවි 19 නිකුත් කර ඇති බවට ගබඩා භාර කරුගේ ප්‍රකාශය මඟින් දැක්වේ.

එහෙත් මේ අවි සඳහා කොපමණ ජීව උණ්ඩ ප්‍රමාණයක් නිකුත් කර ඇති බව නොදන්නා බව පැවසූ පොලිසිය විශ්‍රාමික මේජර් ජෙනරාල් කරුණාරත්න බණ්ඩා අධිකාරී එගොඩවෙලේ 2006.12.06 කැබිනට් සංදේශයක් මඟින් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මෙම ආයතනය පවත්වාගෙන යන බවට ඔහු පවසා තිබේ.

2015.01.18 අංක 189715 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයක් ලෙස මෙය සනාථ කර ඇත. අවි ආයුධ ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය මත අධියර 4ක මුදල් ගෙවීම් පදනම මත ලබාගෙන ඇති බවට පොලිසිය අධිකරණයට දැන්වීය.

දැනට නිකුත් කර ඇති අවි වලින් අවි 51ක් නීත්‍යානුකූලව මුහුදු බත් කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සියලුම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල මහවැලි ආරක්ෂක සංවිධානය ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා ටෙලිකොම් ගුවන් තොටුපල ගුවන් සේවා අධිකාරිය යන ආර්ථික වැදගත් ස්ථානයන්හි ආරක්ෂක රාජකාරී වල රත්නා ලංකායතනය යෙදී සිටින බවට අධිකරණය කරුණු අනාවරණය විය.