හිටපු එජාප මහ ලේකම් මන්ත්‍රී තිස්ස අත්තනායක 11 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Spread the News

හිටපු එජාප මහ ලේකම් මන්ත්‍රී තිස්ස අත්තනායක 11 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු එජාප මහ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. තිස්ස අත්තනායක මහතා බෞද්ධාලෝක මාවතේදී පිහිටි නිවසේදී අද (02) අත්අඩංගුවට ගනු ලැබූ අත්තනායක මහතා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එහිදී කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් මහතා විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස භාවිත කරමින් ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත සිදුකළ විමර්ශනයකදී අදාළ අත්සන් ව්‍යාජ ලෙස භාවිත කර ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව අද පෙරවරුවේ තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගන්නා ලදී.

කූට ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනතේ ප්‍රතිපාදන යටතේ තිස්ස අත්තනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත් තිස්ස අත්තනායක මහතාට වසර 7කට නොඅඩු සිරදඞුවමක් හිමිවන බව පොලීසිය සඳහන් කරයි.

අදාළ ලේඛනය ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව ද පොලීසිය කියා සිටියි.

 

Last modified onMonday, 02 February 2015 18