සීනි යෑයි සිතා යූරියා දමා තේ බී 17 දෙනෙක්‌ රෝහලේ

Spread the News

සීනි යෑයි සිතා යූරියා දමා
තේ බී 17 දෙනෙක්‌ රෝහලේ

නෝමන් පළිහවඩන

මීගමුව ඒත්තුකාල ජෝන් බොස්‌කෝ ප්‍රජා සත්කාර මධ්‍යස්‌ථානයේ වෘත්තීය පුහුණුව ලබන තරුණයන් පිරිසක්‌ පෙරේදා (08 දා) රාත්‍රියේ අත්වැරදීමකින් සීනි වෙනුවට යූරියා පොහොර මිශ්‍ර තේ පානය කිරීම නිසා 27 දෙනකු ප්‍රතිකාර ගැනීම සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. තේ පානය කිරීම නිසා එම සිසුන්ට කැරකිල්ල සහ වමනය ඇතිවූ බව පොලිස්‌ මූලස්‌ථානය කියයි.

මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයේ පාලක රොබින් ප්‍රනාන්දු පියතුමා සිද්ධිය පිළිබඳව මෙසේ කීවේය.

මධ්‍යස්‌ථානයේ පුහුණුව ලබන ළමයින්ට වෙනදා වගේම තේ පානය කිරීමට අවස්‌ථාව ලැබුණා.

මෙම තේ එක තිත්ත රසයක්‌ දැනුණා. පෙරේදා මෙම භූමියේ කොහොඹ ගසක්‌ කැපූ නිසා තේ හදන වතුරට කොහොඹ කොළ වැටෙන්න ඇතැයි සිතුවා. ඒත් පසුව මෙම ළමයින් පිරිස රෝහලට ඇතුළත් කිරීමට සිදුවුණා.

මේ ගැන අපි සොයා බලද්දී දැනගැනීමට ලැබුණා තේ හදන කෙනාට සීනි වෙනුවට යූරියා පොහොර ලැබිලා තිබෙන බව.

අපේ මෙම මධ්‍යස්‌ථානයට පඬුරු වශයෙන් සීනි – තේ කොළ වගේ දේවල් ලැබෙනවා. තේ හදන කෙනා තේවලට දාන්න සීනි ඉල්ලුවාම ඔහුට තවත් කෙනෙක්‌ සීනි කියලා වරද්දලා යූරියා පොහොර දීලා තිබෙනවා. මෙය අත්වැරැද්දකින් ඇති වූ සිද්ධියක්‌ කියලා මා විශ්වාස කරනවා. රෝහල්ගත සියලු දෙනා ඊයේ පෙරවරුවේ සුවය ලබා රෝහලින් පිටව ගිය බව එම රෝහලේ ප්‍රකාශකයෙක්‌ “දිවයින” ට පැවසීය.