ළිඳක්‌ හාරන මුවාවෙන් පන්සල් බිමේ නිධන් හාරලා

Spread the News

ළිඳක්‌ හාරන මුවාවෙන් පන්සල් බිමේ නිධන් හාරලා
විහාරාධිපති හිමි ඇතුළු තිදෙනෙක්‌ දැලේ

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

අනුරාධපුර නව නුවර මාර්ගයේ පිහිටි විහාරස්‌ථාන භූමියක ළිඳක්‌ හෑරීමේ මුවාවෙන් පොළොව කැණීම් කර නිධන් සෙවූ බවට සැකපිට විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයන් තිදෙනකු ඊයේ (03) අලුයම අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

119 ට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර පොලිසිය මගින් වැටලීම් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී පුද පූජා පැවැත්වීමට භාවිත කළ මල් පහන්, සුවඳ දුම් කුඩු, කැණීම් උපකරණ, ජල මෝටරයක්‌ සහ විදුලි රැහැන් මීටර් දෙසීයක්‌ පමණ නඩු භාණ්‌ඩ වශයෙන් පොලිසිය භාරයට ගෙන ඇත.

තමුන් එම ස්‌ථානය වටලන අවස්‌ථාව වන විටත් විහාරස්‌ථාන භූමියේ අඩි අටක්‌ පමණ ගැඹුරට වළක්‌ කැණීම් කර තිබූ බවත් අනුරාධපුර පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම විහාරස්‌ථානයේ විහාරාධිපති හිමිනම අනුරාධපුර නගරයේ යසසිරිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සහ වැලිගම දෙහිපිටිය, ඔලුවාවල හිග්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුද වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් ඊයේ අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, අනුරාධපුර පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න, අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරී සමුද්‍රජීව හෙට්‌ටිආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නන්දසිරි ජයපත්ම මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.