චන්ද්‍රිකා යුගයේ තීන්දුවක්‌ ගැන වාසු අල්ලස්‌ කොමිසමට යයි

Spread the News

චන්ද්‍රිකා යුගයේ තීන්දුවක්‌ ගැන වාසු අල්ලස්‌ කොමිසමට යයි

නිලන්ත මදුරාවල

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය සමයේ වරායේ නැව්වලට තෙල් සැපයීමේ අංගනය පෞද්ගලික සමාගමකට පැවරීමේ සිද්ධියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම අවසන් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.

අංක 209/2007 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අනුව එම රාජ්‍ය දේපළ වංචාව ගැන වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු බවට තීරණය වූ නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක්‌ ගත් ක්‍රියාමාර්ගයක්‌ දැනගන්නට නැතැයි මන්ත්‍රීවරයා පැවසීය.

එම පැවරීම වංචාවක්‌ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසුව එම දේපළ යළි රජයට පවරා ගත් බවත්, එහි සේවකයන්ට වන්දි ද ලබා දුන් බවත් සඳහන් කළ නානායක්‌කාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවට අල්ලස්‌ කොමිසම මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ද ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කළ බවත් කියා සිටියේය.

එහෙත් මේ වනවිට එම ක්‍රියාදාමයේ ප්‍රගතියක්‌ හෝ අවසානයක්‌ දැන ගන්නට නැති බවට කොමිෂන් සභාවට පැමිණිලි කළ බව ද නඩු තීන්දුව ප්‍රකාරව කටයුතු කිරීම අත්හිටුවා තිබේද නැතහොත් මේ වන විට ගනු ලැබ ඇති පියවර කවරේද යන්න දැන ගැනීමට පැමිණිල්ල ඉදිරිපත් කළ බව ද ඒ මහතා පැවැසීය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද පැමිණ සිටියේය.