Spread the News

“දේශපාලනඥයන් ලෙස අපට හිරිහැර කළත්
රජයේ නිලධාරීන්ට කරදර කිරීම හොඳ නැහැ”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

දඹදෙණිය – ඇම්. ඇම්. තිලකරත්න

“දේශපාලකයන් වන අපට සිරගෙවල් පුරුදුයි. කරදර බාධක වලට මුහුණදීල පුරුද්දක්‌ තියෙනවා” නවක දේශපාලන නායකයො මේවා ගැන පුරුදු පුහුණු වීම වැදගත්. අපට චෝදනා කරමින් කරදර හිරිහැර කළාට කමක්‌ නැහැ. එහෙත් රජයේ නිලධාරීන්ට කරදර කිරීම එතරම් හොඳ වැඩක්‌ නොවෙයි. වත්මන් රජය පසුගිය රජයේ කටයුතු කළ රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්නවා. මේ විදිහට වැඩ කළොත් රජයේ නිලධාරීන් ඉදිරියට රාජකාරි කරන්න ඉදිරිපත් වන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා එසේ පැවසුවේ දඹදෙණිය ඡන්ද කොට්‌ඨාසයට අයත් නාරම්මල – දම්පෑලැස්‌ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන් විහාරස්‌ථානයේ දෙස්‌ විදෙස්‌ දානපතියන්ගේ ආධාර උපකාර හා දායක සභාවේ සහයෝගය ඇතිව රුපියල් කෝටි පහමාරක්‌ වැයකොට ඉදිකළ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ජනහමුව අමතමිනි.

එහිදී මහින්ද රාජපක්‌ෂ මහතා මෙසේද පැවැසීය.

“මේ කාලෙ කෙළෙහිගුණ දන්නා පිරිස බොහෝ දුරට අඩු වෙලා. රූපවාහිනි, ගුවන් විදුලි, පුවත්පත් බැලූ විට අපිට පෙනෙනවා අපේ රජය හදපු දේවල් විවෘත කරනවා හැබැයි නමක්‌වත් කියන්නේ නැහැ. එතැනදී කියන්නෙත් ඒකෙනුත් කීයක්‌ හරි ගහලා ඇති කියලයි.

මම ඡන්දෙත් පැරදුනාට පස්‌සේ විනාඩියක්‌වත් එතන හිටියෙ නැහැ. මම ගියා හැබැයි ලෝකයාට කියන්න හැදුවා කුමන්ත්‍රණයක්‌ කරලා ආණ්‌ඩු බලය ගන්න හැදුවා කියලා එහෙම පැයකින් දෙකකින් කුමන්ත්‍රණ කරල බලය ගන්න හැකිද එතැනින් නතර වුණේ නැහැ. මට පමණක්‌ නොවෙයි, මගේ පවුලේ උදවියට කරදර කරන්න පටන් ගත්ත මේක තමයි යහපාලනය.

මේ වනවිට අපේ රජය කාලෙ රාජකාරි කටයුතු කළ රජයේ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා. විදුලි බල මණ්‌ඩලයෙ හිටපු සභාපතිවරයා පඩි වැඩි කළා කියලා අල්ලස්‌ කොමිසම ඉදිරියට යන්න වුණා. පාරිතෝෂික මුදල් දුන්න කියල බැසිල්ට හිරගෙදර යන්න වුණා. කොහොමද මෙහෙම වැඩ කරන්නේ. අද පොලිසියට කරගන්න දෙයක්‌ නැහැ. අධිකරණයටත් ප්‍රශ්නයක්‌. එම නිසා මේවා ගැන මනා බුද්ධියෙන් බලන්න ඕනෑ. නීතිපතිවරයාගේ කටයුතු නීතිපතිවරයාට කරන්න ඉඩ දෙන්නෙ නැහැ. මේවා දේශපාලකයාට ඕන ඕන විදිහට හසුරුවන්න ගියොත් ඒ තරම් සුබදායක වෙන්නේ නැහැ.

මේ බව විධායක ජනාධිපතිවරයා අවබෝධ කරගත යුතුයි. මේවා නතර කිරීමට හැකියාව තිබෙන්නෙ ජනාධිපතිවරයාට පමණක්‌ මිස වෙන වෙන කණ්‌ඩායම්වලට නොවෙයි.

මේ වනවිට අද අපේ රටේ සංවර්ධන කටයුතු නතරවෙලා. මම මෙහි එන ගමන් මන්ත්‍රීවරයකුගේ නිවසට ගියා. අලව්වේ එම මාර්ගය කොහොමටවත් යන්න බැහැ. ඒ තරමට මාර්ගය අබලන් වෙලා. මම මේ ගැන විස්‌තර හෙව්වහම අපි පාර හදන්න දුන්න මුදල් නතර කරලා එහෙමනම් කොහොමද මේ විදියට සංවර්ධනයක්‌ ගැන හිතන්නෙ.

අපි මේ රටේ මල්වතු අස්‌ගිරි විහාරවලට පමණක්‌ නොව පොලොන්නරුව, අනුරාධපුරය, සෝමාවතිය, අටමස්‌ථානය ආදි පෞරාණික විහාරස්‌ථානවලට පමණක්‌ නොව ගම්බද ප්‍රදේශවල පිහිටි කුඩා වෙහෙර විහාර පවා නඟාසිටුවීමට පියවර ගත්තා. ඒ කාලේ බොහෝ විහාරස්‌ථාන ගොඩනැඟුවේ රණවිරුවො. හැබැයි රණවිරුවො කියන්නේ ඔක්‌කෝම නොවෙයි. මේ පිළිබඳව විශේෂ පුහුණුවක්‌ ලැබූ අයයි. මේ අවස්‌ථාවේ අපි ඉතාමත් කනගාටු වෙනවා. නේපාලයෙ සිදුවූ භූමිකම්පාව ගැන. යුද හමුදාවෙ පලළපුරුද්දත් සමග යළි නේපාලය ගොඩනැගීමට හැකියි. ඒවගේම රටේ ජාතික ආරක්‌ෂාව පිළිබඳව අද අපිට විශාල බියක්‌ තිබෙනවා. රටේ මොනවද වෙන්නෙ කියල කවුරුවත් දන්නේ නැහැ. මේ පිළිබඳව මනා අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

උත්සවය අමතා මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අග්ගමහා පණ්‌ඩිත පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම සහ විහාරාධිපති අධ්‍යාපනවේදී පූජ්‍ය පුවක්‌ගහකොටුවේ චන්ද්‍රජෝති යන හිමිවරුද අනුශාසනා පැවැත්වූහ.