Spread the News

මහඇමැතිගේ ආරක්‍ෂක රියෙන් රියෑදුරා ගංජා ඇදලා

හේමන්ත රන්දුණු – කෑගල්ල එම්. බී. පහලවත්ත

සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතාට අයත් ආරක්‍ෂක නිල රථයෙන් ගංජා තොගයක්‌ ප්‍රවාහනය කරමින් සිටියදී එහි රියෑදුරු විශේෂ සුරාබදු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තම ආරක්‍ෂක නිල රථය ගංජා තොගයක්‌ද සමග අත්අඩංගුවට ගෙන තිබෙන බවට මහීපාල හේරත් මහතා විසින් කෑගල්ල පොලිසිය වෙත පෙරේදා (18 වැනිදා) දහවල් පැමිණිල්ලක්‌ද කර තිබේ.

එම ආරක්‍ෂක නිල රථයේ තිබී ගංජා කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක්‌ සොයාගත් බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියා සිටී.

පරීක්‍ෂණවලින් හෙළිවී ඇති ආකාරයට කාලයක්‌ තිස්‌සේ සැකකරු මෙම ජාවාරම කරගෙන ගොස්‌ තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක්‌ මත පසුගිය සිකුරාදා (17 දා) කොළඹින් ගිය සුරාබදු විශේෂ නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙම වැටලීම කර ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේදීය.

ප්‍රධාන ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිල රථය අනුරාධපුර සිට කෑගල්ල බලා එමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර රියෑදුරු සහ නිලරථය කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.