Sun. Nov 24th, 2024
Spread the News

යුද්ධයෙන් පසු අපි රටේ අධිවේගී සංවර්ධනයක්‌ කළා

– හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මාවතගම දී කියයි

මාවතගම – කාන්තිමාලා උඩගෙදර

අද මේ විනාශකාරී රජය දින 100 වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු වී නෑ. මේ දින 100 විනාශකාරී දින 100ක්‌ පමණයි. කිසිම දෙයක්‌ කළේ නෑ. මේ යහපාලනය යමපාලනයක්‌. මේ යුගය නැතිකර වඩා හොඳ යුගයක්‌ ඇති කරන්න අවශ්‍යයි,” යෑයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

රාජපක්‍ෂ මහතා මේ කරුණු ප්‍රකාශ කළේ මාවතගම පැවැති ජනහමුවකදීය. එහිදී ඔහු මෙසේද කීය.

අපි සිදුකළේ අධිවේගී සංවර්ධනයක්‌. යුද්ධය අවසන් වූ පසු මේ රටේ සංවර්ධනය මා ඇති කළා. ගමේ ජනතාවට දුක්‌විඳින්න බැහැ. හැම පහසුකමම නගරයේ ජනතාවට විතරයි. ඒ සෑම පහසුකමක්‌ම ගමට ගේන වැඩ පිළිවෙළක්‌ අපි ඇති කළා. සෑම නිවසටම විදුලිය ලැබෙන වැඩසටහනක්‌ අපි ඇති කළා. ඊළඟට සෑම නිවසකටම ජල පහසුකම් ලබාදෙන්නට අපි බලාපොරොත්තු වුණා.

යටිතල පහසුකම් තියෙනවානම් අපේ දරුවො මීට වඩා ඉගෙන ගන්නවා. එතනින් නවතින්නේ නෑ. දරුවො ලෝකය ජයගන්නවා. මා මහින්දොaදය විද්‍යාගාර ගෙනාවේ දරුවන්ට විද්‍යා අධ්‍යාපනය ලබාදෙන්නයි. අපේ දරුවො ගණිතයට ටිකක්‌ දුර්වල නිසා ගණිතාගාර හැදුවා. එම විෂය පහසු කිරීමට. විද්‍යාලවල භාෂාගාර ඉදිකළේ ජපන්, ඉතාලි, ප්‍රංශ වැනි භාෂා අපේ තරුණ තරුණියන් ඉගෙන ගෙන ලෝකය ජයගන්නයි.

මෙම ජනහමුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ටී. බී. ඒකනායක, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, සාලින්ද දිසානායක, ශාන්ත බණ්‌ඩාර, නිල්වලා විඡේසිංහ, ජයරත්න හේරත්, ආර්. ඩී. විමලදාස යන මහත්වරුද දර්ශනී වික්‍රමසිංහ මහත්මියද ඇතුළු කුරුණෑගල දිස්‌ත්‍රික්‌ සන්ධාන අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ සහභාගි වූහ.

Protected by Security by CleanTalk