Spread the News

විල්පත්තු උතුරු වනවිනාශයට යුක්‌තිය පසිඳලීම
නොහොත් රිෂාඩ් බදියුදීන් උසාවි ගෙන ඒම

විල්පත්තු උතුරේ මරිච්චකඩ්ඩි කල්ලාරු වන රක්‍ෂිතයේ ඉඩම් කොල්ලය සහ වනාන්තර සංහාරය පිළිබඳව අද නොදන්නා කෙනකු නැති තරම්ය. සියවසේ ලොව සිදුවූ දැවැන්තම වනාන්තර විනාශය මෙන්ම, රාජ්‍ය මැදිහත්වීමකින් සිදුවූ දැවැන්තම වනාන්තර විනාශය බවටද මෙය ඉතිහාස ගත වෙයි. යුද්ධය නිමාවත් සමගම අවතැන් මුස්‌ලිම් ජනතාව නැවත පදිංචිකිරීම මුවාවෙන් සිදුකරන ලද මෙම ඉඩම් අල්ලා ගැනීම, වනාන්තර විනාශය සහ ස්‌වාභාවික සම්පත් අයථා පරිහරණය තනිකරම ප්‍රොaඩාවක්‌ වෙයි. අප එසේ කියන්නේ කිsසිදු රාජ්‍ය අධීක්‍ෂණයක්‌ නොමැතිව (එවක) නැවත පදිංචිකිරීමේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ වුවමනාව හා කැමැත්ත මතම පමණක්‌ මෙම රක්‍ෂිත වනාන්තර ප්‍රදේශය හිතූ මනාපයේ බෙදා දී ඇති නිසාය. නොහොත්, මේ සඳහා ප්‍රධාන රජයේ අධීක්‍ෂණ නිලධාරියා වන මන්නාරම් දිස්‌ත්‍රික්‌ ලේකම් මේ පිළිබඳ කිසිත් නොදන්නා “තොත්ත බබෙක්‌” ව සිටියදී රිෂාඩ් ඇමැතිවරයා රජයේ ඉඩම් අයථා ලෙස බෙදා ගැනීමය.

එහෙත්, රිෂාඩ් ඇමැතිවරයාට පමණක්‌ මෙහි වැරැද්ද පටවා අපට බලා සිටිය නොහැකිය. එකල නැවත පදිංචි කිරීමේ කාර්යසාධක බළකාය නමින් අටවාගන්නා ලද එකමුතුවෙන් කර ඇත්තේ ස්‌වාභාවික සම්පත් හා මුදල් අනිසි ලෙස පරිහරණය කිරීමේ ක්‍රියාදාමය මිස අනිකක්‌ නොවන බව අපට වැටහෙන්නේ මෙවන් මහා පරිමාණ විනාශයන් දෙස බැලීමේදීය. නොහොත්, ආර්ථික සංවර්ධන කඩතුරාවෙන් වසා දමන ලද රටේ සංවර්ධනය, නැවත පදිංචි කිරීම යනාදී කටයුතු යෑයි කියමින් මේ රටේ විශේෂයෙන් උතුර – නැගෙනහිර වනාන්තර පද්ධතියට කරනු ලැබ ඇත්තේ යළිත් ප්‍රකෘතිමත් කළ නොහැකි විනාශයකි. එය විල්පත්තු උතුරු මරිච්චකඩ්ඩි වනාන්තර විනාශයෙන් තහවුරු වේ.

නැවත පදිංචිකිරීමේ කාර්ය සාධක බළකාය නමැති සංවිධානයේ බලවත් ඉල්ලීම මත වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු අක්‌කර 2500 ක්‌ කල්ලාරු වන රක්‍ෂිතයෙන් මුදාහරින ලද බව වන සංරක්‍ෂණ ජනරාල්වරයා පිළිගනී. ඔහු ඊට අදාළ ප්‍රකාශය කරන ලද්දේ කල්ලාරු (මරිච්චකඩ්ඩි) වනාන්තර විනාශය පිළිබඳව පරිසරවේදීන්, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන යනාදී අංශ මගින් කරන ලද හෙළිදරව්වට පසු ජනාධිපතිවරයා විසින් පත්කරන ලද පරීක්‍ෂණ කමිටුවේ මූලික තීන්දුව ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්‌වෙමිනි. කල්ලාරු සහ පෙරියමඩු රක්‍ෂිත වනාන්තරවලින් මෙකී අක්‌කර 2500 ජනාධිපති කාර්ය සාධක බළකායට නොහොත්, එනමින් මුළා කරමින් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය (එවක) රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට භාර කරදී තිබේ.

මෙකී අවස්‌ථාව ප්‍රයෝජනයට ගන්නා අමාත්‍ය බදියුදීන් මහතා වරෙක විල්පත්තු උතුරු අභය භූමිය තුළ කැලෑව හෙළිපෙහෙළි කරමින් අවතැන් වූවන් යෑයි කියන පිරිසක්‌ පදිංචි කරවයි. පරිසරවේදීන්, මාධ්‍ය සහ සිවිල් සංවිධාන මීට එරෙහිව හඬ නගද්දී එවක වනජීවී ඇමැතිවරයා වූ විජයමුණි සොයිසා මහතා ප්‍රකාශ කරන්නේ එම ඉඩම් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒවා බවය. එහෙත්, විල්පත්තුවේ මායිම් සිතියම් ගෙන පෙන්වීමේදී මෙම හිටපු වනජීවී ඇමැතිවරයා ගලේ පහරපු බළලකු ගානට වැටෙන්නේ සැබැවින්ම එම ඉඩම් විල්පත්තු උතුරු අභයභූමියට අයත්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම්ව තිබූ නිසාය. ජනතා විරෝධය නිසාම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම පදිංචිකරුවන්ට එරෙහිව වනජීවී ආඥපනත ප්‍රකාරව මන්නාරම උසාවියේ නඩු ගොනු කොට අදාළ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු යොදන ලදී. නොහොත්, එහිදී රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට ඉඩම් කොල්ලකෑමේ අරමුණ හකුලාගෙන ඉන් ඉවත්වන්නට සිදුවේ.

එහෙත්, ඔහු ඉන් පසුබසින්නකු නොවේ. නැවත පදිංචි කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය නමැති අටමගල අටවාගෙන හේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් අක්‌කර 2500 ක්‌ ඉතාමත් සූක්‍ෂම ලෙස රජයෙන් ලබා ගනී. මෙහිදී ඔහුගේ උපායට කදිම රැකවරණයක්‌ ලබාදෙන පුද්ගලයා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂය. ඔහුගේ අමාත්‍යාංශයේ රැකවරණය හා ඉල්ලීම පරිදි මෙසේ කල්ලාරු සහ පෙරියමඩු ප්‍රදේශවලින් අක්‌කර 2500 ක්‌ සංරක්‍ෂිත වනාන්තර ඉඩම් ලබාගන්නා අතර, ඉතා කෙටි කලකින් මෙයින් බහුතර වනාන්තර ප්‍රදේශයක්‌ හෙළි පෙහෙළි කර මුස්‌ලිම් ජනතාව අතර බෙදා දෙනු ලබයි.

එකල විල්පත්තු උතුරු අභයභූමියට උතුරින් වූ මොල්ලිකුලම ගම්මානයේ සිට සිලාවතුර දක්‌වා පාර දෙපස ගණ වනාන්තර (වියළි කලාපීය සදාහරිත වනාන්තර) පිහිටා තිබූ අතර, මෙම වනාන්තර වන අලින් ඇතුළු වන සතුන්ගේ නිජබිමක්‌ව පැවතිණ. එහෙත් ඉතා කෙටි කලකදී මෙම වනාන්තර පද්ධතියම කපා විනාශ කර හෙළිකරන රිෂාඩ් බදියුදීන් මාµsයාව සියවසේ ලොව විශාලතම වන විනාශය සිදුකරමින් වාර්තා පොතට එක්‌වෙයි. මේ පිළිබඳව පරිසරවේදීන්, මාධ්‍ය හා සිවිල් සංවිධාන විරෝධතාව ප්‍රකාශ කරද්දී බදියුදීන් ඇමැතිවරයා මෙන්ම මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම් දේශප්‍රිය මහතාද ප්‍රකාශ කරන්නේ මේවා මුස්‌ලිම් ජනතාවගේ පරම්පරාගත ඉඩම් වන බවකි.

එසේ කියමින් මැද පෙරදිග හා අරාබි රටවලින් මෙන්ම ඔස්‌ටේ්‍රලියාව, යුරෝපා සංගමය යනාදියෙන් ආධාර මුදල් ලබාගෙන විල්පත්තු උතුරු මරිච්චකඩ්ඩි ප්‍රදේශයේ සුවිශාල මුස්‌ලිම් ජනපදයක්‌ බිහිකරන ඉහත පුද්ගලයන් එයට “ජාසිම් සිටි” ව්‍යාපෘතිය ලෙසද නම් තබයි. අද වන විට මෙහි අති විශාල නිවාස ප්‍රමාණයක්‌ සමග මුස්‌ලිම් දේවස්‌ථාන, ප්‍රජා ශාලා, රෝහල්, පාසල් යනාදී ගොඩනැඟිලි පහසුකම් සේම ජලය, විදුලිය පහසුකම්ද සලසා දී තිබේ. විශ්මය නම් තවත් ජනපදිකයන් බලාපොරොත්තුව එහි බෙදා වෙන් කරනු ලැබ ඇති කැලෑ ඉඩම් කුට්‌ටි සඳහාද රැහැන් විදුලිබල සේවා ලබාදී තිබීමය. පැහැදිලිවම මෙය එක්‌ අතකින් ව්‍යාප්තවාදයක්‌ වන අතර, අනෙක්‌ අතින් මහා පරිමාණ වනාන්තර විනාශයකි. මෙම විනාශය පෙන්වා දීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‌ෂණික පියවරක්‌ වශයෙන් ගනු ලැබුවේ නැවත පදිංචිය සහ කැලෑ ඉඩම් බෙදීම වහාම අත්හිටුවීමේ නිවේදනයක්‌ නිකුත් කිරීමය. එහෙත් සැබෑව නම් එහි අදටත් ඉඩම් බෙදීම සිදුවීමයි. කැලෑ කැපීම සිදුකෙරේ. පස්‌, වැලි, ගල් ගොඩදැමීම සිදුකෙරේ. හොරෙන් වනාන්තර (දැව) කපාගෙන ජාවාරමක්‌ ලෙස විකිණීම සිදුකෙරේ. හෙළි කරන ලද අක්‌කර 2500 ක වනාන්තරවල පලු, වීර, බුරුත වැනි වටිනා දැව ශාක සියල්ලක්‌ම හොර රහසේ විකුණාගෙන ඇත්තේ රාජ්‍ය ක්‍රියාපිළිවෙත අනුව එක දැව කොටයක්‌වත් රාජ්‍ය දැව සංස්‌ථාවට ලබා නොදෙමිනි. ඒ අනුව යමින් කල්ලාරු කැලෑවේ වනාන්තර විනාශය තවදුරටත් සිදුකෙරෙන අයුරු පසුගියදා අප එහි කළ ගවේෂණයකදී හෙළිදරව් කෙරිණි.

ඒ කෙසේ වෙතත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා මහින්ද රාජපක්‍ෂ යුගයේදී කරන ලද මෙම මහා වනාන්තර විනාශය ඉඩම් අල්ලා ගැනීම සහ ස්‌වාභාවික සම්පත් විනාශයට වත්මන් යහපාලන රජයෙන්ද ගත් පියවරක්‌ නැත. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව බිඳ වැටෙනු දුටු රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ එජාප බල මුළුවට එකතු වූ අතර එම රජයේ කර්මාන්ත අමාත්‍ය ධුරයද ලබාගත්තේය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යෑයි කියමින් පිලෙන් පිලට පැන පැන යන මෙවන් ආත්මාර්ථකාමීන් නිසා නීතියද හෑල්ලුවට ලක්‌වන අතර, විල්පත්තු වන විනාශයට, මිහිමව්ට නම් ලැබුණු සෙතක්‌ සාධාරණත්වයක්‌ නැත. වත්මන් යහපාලනයෙන්ද රිෂාඩ් ඇමැතිවරයාගේ කටයුතු ඉතා හොඳින් ආරක්‍ෂා කෙරිණි. විල්පත්තු වන විනාශය අතීතයට එකතු වෙමින් පැවතිණ. එහෙත් දේශයට වන සම්පතට ලෝකයේ සොබාවික සම්පත්වලට මිහිමවට ආදරය කරන අතලොස්‌සක්‌ වූ පරිසරවේදීන් තවදුරටත් මේ මහා අපරාධය වෙනුවෙන් සාධාරණය අයෑද සිටිනු පෙනේ. ඉකුත් දා පරිසර යුක්‌ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් විල්පත්තු උතුරු කල්ලාරු වන සංහාරකයන්ට එරෙහිව නීතියේ සාධාරණත්වය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය. අධිකරණය ඊට කන්දී ඇත. පරිසර යුක්‌ති කේන්ද්‍රයේ පෙත්සම සලකා බලා අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සැප්තැම්බර් 16 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත. ඔහුට පමණක්‌ නොවේ. වන සංරක්‍ෂණ ජනරාල්, වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම්, ඉඩම් කොමසාරිස්‌ යන අයවලුන්ද මෙහි වගඋත්තරකරුවෝය. සැප්තැම්බර් 16 වැනිදා මේ සියල්ලෝ විල්පත්තු උතුරු වන විනාශය වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු වේ. රජය මගින් කිසිදු පියවරක්‌ නොගත්තත් පරිසරවේදීන් මෙරටේ, මෙලොවේ කොතැනක හෝ පරිසර පද්ධතියක්‌ සුරැකීම සඳහා පෙනී සිටින බව මෙයින් පැහැදිලිs වේ. මීට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව පරිසර යුක්‌ති කේන්ද්‍රයට අප ස්‌තුතිය පුදකළ යුතුවෙමු.

ජගත් කණහැරආරච්චි