Spread the News

රජිව් ගාන්ධි රැවටූ ස්‌ථානයේදී
ඡන්ද සටන ඇරඹූ “ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියෝ”

ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියෝ මැතිවරණ ප්‍රකාශනය එළිදැක්‌වීමට දැරූ උත්සාහය

උතුරේ සිදුවන්නේ කුමක්‌ද? මෙරට බහුතරය උතුරේ සිදුවන ක්‍රියාකාරකම් නොදනී. පසුගිය සෙනසුරාදා යාපනයේ ඌරාවිල් හිදී ද්‍රවිඩ පක්‍ෂ පහක නියෝජිතයන්ගේ සාකච්ඡාවක්‌ පැවැත්විණි.

එහිදී ද්‍රවිඩ සංධානය, ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඊ. පී. ඩී. පී. සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියෝ නමැති පක්‍ෂවල නියෝජිතයන් එක්‌වී “වන්නි මෙහෙයුම” පිළිබඳ ජාත්‍යන්තර විමර්ෂණයක්‌ පැවැත්විය යුතු බවට යෝජනාවක්‌ සම්මත කරගනු ලැබීය. ද්‍රවිඩ සංධාන හිටපු මන්ත්‍රී සුමන්තිරන්, ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ ප්‍රකාශක මානිමන්තන්a, ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ අපේක්‍ෂක විග්නරාජා, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමියෝ පක්‍ෂයේ නායක විද්‍යාදරන් හා ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස්‌ දේවානන්දන් සහභාගි වූ මෙම සාකච්ඡාවේදී වන්නි මෙහෙයුම පිළිබඳ සෙවීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ කඩිනමින් ස්‌ථාපිත කිරීමට අන්තර්ජාතික ප්‍රජාව ක්‍රියා කළ යුතු බව ඉල්ලා ඇත.

මෙම සාකච්ඡාවට පැමිණෙන ලෙස රජයට ද ඇරයුම් කර තිබූ නමුත් රජයේ නියෝජිතයකු සහභාගි වී නැත. මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්‌වූයේ වන්නි මෙහෙයුමින් විපතට පත්වූවන්ට කඩිනමින් යුක්‌තිය ලබාදිය යුතු බවත් ප්‍රමාදයකින් තොරව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ යුතු බවයි. වන්නි මෙහෙයුම පිළිබඳව අන්තර්ජාතික පරීක්‍ෂණයක්‌ ඉල්ලන ද්‍රවිඩ පක්‍ෂ එහෙත් ද්‍රවිඩ සංධානය කොටි රූකඩය ලෙස ක්‍රියා කළේය. ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන් නමින් වෙස්‌ මුහුණක්‌ පැළඳගෙන සිටින්නේ යුද අපරාධ රැසක්‌ සිදු කළ හිටපු කොටි ත්‍රස්‌තයන්ය. මොවුන් කවුදැයි දැන් හෙළි වී ඇත. ඝාතක ප්‍රභාකරන්ගේ ආරක්‍ෂක භටයන් දෙදෙනකු ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ උතුරේ මැතිවරණය සඳහා ස්‌වාධීනව තරග කරයි.

මේ එම හිටපු ත්‍රස්‌තයන්ය.

1. වෙන්ඩන් (කොටි ගුවන් ඒකකය), 2. කතීර් (කොටි ගුවන් ඒකකය), 3. ගාමිණී (කොටි ප්‍රහාරක ඒකකය- සීලන් කණ්‌ඩායම), 4. තුලාසි (කොටි පරිපාලන ලේකම්), 5. චාල්ස්‌ (කොටි කාලතුවක්‌කු ඒකකය), 6. අයියල් (වන්නි ටෙක්‌ කොටි පරිගණක ඒකකය), 7. ගංගයි (ටොසි බුද්ධි සේවා චරපුරුෂ ඒකකය), 8. අලාකන් (ඊළම් පොලිසිය), 9. තානි අරසු (කොටි හඬ ගුවන් විදුලිය), 10. මුරුගද්‍රාස්‌ (කොටි ආර්ථික අංශය)

මේ හිටපු කොටි ක්‍රියාකාරීන් පසුබිමේ ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමල හිටපු කොටි හමුදා නායකයාව සිටි එලීලන්ගේ බිරිය වූ ආනන්දි සසිදරන් සහ ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකු වන සිවාජිලිංගම්ය. මෙලෙස මැතිවරණයට තරග කරන හිටපු කොටි කණ්‌ඩායමේ නායකයා ප්‍රභාකරන්ගේ ප්‍රධාන රැකවලා වූ සිවනාදන් රවීන්ද්‍රන් නොහොත් වෙන්ඩන් ය.

මේ පසුබිම මත ගුවන් යානා විනාශ කළ කොටි ගුවන් ඒකකයේ හිටපු ත්‍රස්‌තයන් පවා “යුක්‌තිය” ඉල්ලීම විහිළුවක්‌ නොවේද? ද්‍රවිඩ පක්‍ෂ පහ තුළ එකී ඉල්ලීම ගැන අනාවරණය වන අවස්‌ථාවේ උතුරු මහඇමැති බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලංකා රජයට අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සඳහා කිසිසේත් සහය නොදෙන ලෙස එරට සර්ව පාක්‍ෂික මන්ත්‍රී කණ්‌ඩායමේ නායක ඡේමිස්‌ ධාරිගෙන් ඉල්ලා ඇත. එසේම එකී දේශීය පරීක්‍ෂණය සඳහා සහය වීමෙන් වලකින ලෙස බ්‍රිතාන්‍ය රජයට බලපෑම් කරන්නැයි ද විග්නේශ්වරන් තවදුරටත් දන්aවා තිබේ.

විග්නේශ්වරන් සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී එරට විදේශ ඇමැති වෙත ලේඛන කිපයක්‌ ද භාරදී ඇතත් ශ්‍රී ලංකා රජයට එම ලේඛන කුමක්‌දැයි හෙළි වී නැත.

එසේම උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සංහිදියාව සාමය ස්‌ථාපිත කිරීම සහ වගවීම යන කරුණු සඳහා සහාය වන්නැයි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වා ඇති එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධවලට සම්බන්ධ අය දඬුවම් ලබාදීම ප්‍රමාද කිරීමේ තත්ත්වය නිමා කිරීමටත් අවතැන්වූ ජනතාව යළි පදිංචි කිරීම සඳහාත් සාමය ස්‌ථාපිත කිරීමටත් යෑයි කියමින් ඩොලර් මිලියනයක මුදලක්‌ වෙන්කර ඇත.

එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්‌ටෙප්මෙන් ඩුජාරික්‌ මේ බව අනාවරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය දෙකඩ කිරීමට එක්‌සත් ජාතීන් ක්‍රියා කරන බව තහවුරු විය.

උතුරු ප්‍රදේශයේ ක්‍රියාකාරකම් සඳහා මහඇමැති විග්නේශ්වරන් මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ රජය අගමැති හෝ ජනාධිපති මගින් එක්‌සත් ජාතීන් වෙත යොමු කර නැත. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගෙන් සෘජුව අරමුදල් ලබා ගැනීමට ඉදිරිපත් වීමයි.

පසුගිය සෙනසුරාදා දහවල් එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහ ලේකම් බෑන් කී මූන්ගේ ප්‍රකාශක ඩුජාරික්‌ ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ කොටස්‌කරුවකු ලෙසයි. මහ ඇමැති විග්නේශ්වරන් සෘජුව එක්‌සත් ජාතීන්ගේ අරමුදල් ඉල්ලීම ගැන රජය ද මෙතෙක්‌ කිසිදු ප්‍රකාශනයක්‌ කර නැත.

එසේම බෑන් කී මූන්ගේ ප්‍රකාශකයා තවත් බරපතළ ප්‍රකාශයක්‌ ද කර ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව සැප්තැම්බර් මස ඉදිරිපත් කිරීමෙන් පසු දේශීය පරීක්‍ෂණයක්‌ ද, ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ද යන්න තීරණය කරන්නෙමු යෑයි ඔහු තවදුරටත් සඳහන් කර ඇත. මේ පසුබිම මැද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විග්නේශ්වරන්ට අරමුදල් ලබාදීමට යන්නේ එක්‌සත් ජාතීන්ගේ සාමය ස්‌ථාපිත කිරීමේ අරමුදල තුළිනි. මේ අරමුදල භාරව සිටින්නේ සහකාර ලේකම් ජෙප්රි පෙල්ට්‌ස්‌මන්ය.

පෙල්ට්‌ස්‌මන් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරකයකද නිරත විය. ඔහු පසුගිය පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණ රජය සහ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සමඟ ද සාකච්ඡා පවත්වා ඇතැයි හෙළි විය. ශ්‍රී ලංකාවෙන් පිටව යැමට පෙර පෙල්ට්‌ස්‌මන් පැවසුවේ වගවීම සහ සංහිඳියාව යන කරුණු මත ශ්‍රී ලංකාවට සහාය වීමට තමා ක්‍රියා කරන බවයි.

මෙවන් තොරතුරු හෙළිවීම නිසා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සහ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ දේශපාලන කාර්යාලය මෙහෙයවන සහකාර ලේකම් ජෙෆ්රි පෙල්ට්‌මන් අතර ශ්‍රී ලංකාවට එරෙහිව අබිරහස්‌ මෙහෙයුමක්‌ දියත් වී ඇතැයි සනාථ වේ.

එම මෙහෙයුම නම් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර කටයුතුවලට මැදිහත්වීමේ අවස්‌ථාව හිමිවීමයි.

ද්‍රවිඩ සංධානයේ මැතිවරණ ප්‍රකාශනයට ස්‌වයංපාලන යෝජනාව පවා ඇතුළත් කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාදාමය විග්නේශ්වරන් ප්‍රමුඛ ද්‍රවිඩ සංධානයට වාර්තා වී තිබූ නිසාය.

මේ අතර රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සත්‍ය හා යුක්‌තිය නමැති ව්‍යාපෘතිය නමින් වාර්තාවක්‌ද ප්‍රකාශයට පත් විය. මේ වාර්තාවට වත්මන් හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වාගේ නම ද ඇතුළත් කර තිබිණි. විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයක්‌ සකස්‌ කළ මෙම වාර්තාවෙන් සුදු වෑන් වලින් ද්‍රවිඩයන් පැහැරගෙන යනු ලැබූ බව ප්‍රකාශ විය.

මේ සාවද්‍ය තොරතුරු ඇතුළත් වාර්තාව ප්‍රකාශයට පත්වී සතියක්‌ ගත වීමට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ඕස්‌ට්‍රේලියානු මහකොමසාරිස්‌ බෘස්‌ ගේන් ඕස්‌ටේ්‍රලියානු ඒබීසී පුවත් සේවය අමතමින් ඕසට්‍රේ‍ලියානු පෙඩරල් පොලිසිය ශ්‍රී ලංකාවේ රහස්‌ පොලිසියට සුදුවෑන් රථයක්‌ ලබාදී ඇති බවත් ඊටත් අමතරව ද්‍රවිඩයන් සිටින ස්‌ථාන නිසි ලෙස දැන ගැනීමේ අධි තාක්‍ෂණ යන්ත්‍ර දෙකක්‌ සපයා ඇතැයි ද හෙළි කර ඇත.

කොටි හිතවාදියකු වූ බෘස්‌ ගේන්ගේ මේ හෙළිදරව්ව ගැන ඕස්‌ටේ්‍රලියානු පොලිසිය කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.

එහෙත් බෘස්‌ ගේන් ඕස්‌ටේ්‍රලියානු කොටි ඩයස්‌පෝරාව සමග ක්‍රියා කරන බව අනාවරණය වී ඇත. අගෝස්‌තු 3 දා බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ මතුවිය. සමස්‌ත ලෝකය අහක බලාගෙන සිටියදී ශ්‍රී ලංකා හමුදාව දස දහස්‌ සංඛ්‍යාත ද්‍රවිඩයන් ඝාතනය කළ බව මැක්‌රේ ප්‍රකාශ කර ඇත.

30 වැනි මානව හිමිකම් සමුළුව ආරම්භවීමට නියමිතව ඇති අවස්‌ථාවේ කැලම් මැක්‌රේ දැන් තවත් වීඩියෝ පටයක්‌ නිර්මාණය කර තිබේ. ඒ කොටි හඬ රූපවාහිනියේ නිවේදිකාවක්‌වූ ඉනිප්‍රියාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කර ඇති බව පිළිබිඹු කිරීමයි. පිටු 11 ක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළ කැලම් මැක්‌රේ මෙලෙස ප්‍රකාශ කර ඇත.

යුද අපරාධ පිළිබඳ වීඩියෝ දර්ශන මුලින්ම අපට ලැබුණේ ඡේ. ඩී. එස්‌. හෙවත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ, සංවිධානයෙන්, ඔවුන් අප වෙත පැමිණ ශ්‍රී ලංකා හමුදා සෙබළුන් සිරකරුවන් නිරුවත් කර බිම දමා වෙඩි තබන දර්ශන අපට පෙන්නුවා”.

මෙම ඡේ. ඩී. එස්‌. නමින් අටවාගත් සංවිධානය මෙහෙය වන්නේ කොටි සංවිධානයේ දේදුන්න පුවත්පත සංස්‌කරණය කළ රෝහිත භාෂණ අබේවර්ධන නමැති කොටි හිතවාදියාය. සිය ද්‍රවිඩ බිරිය සමග ජර්මනියේ දේශපාලන රැකවරන ලබා ඇති මොහු කිසිදිනෙක කොටි සංවිධානය පරාජය වේ යෑයි සිතුවේ නැත.

කොටි ඩයස්‌පෝරාව සමග එක්‌වී සකස්‌ කළ සාවද්‍ය යුද අපරාධ චෝදනා ඇතුළත් වීඩියෝපට ලොව පුරා ගෙන යමින් මඩිය තර කරගන්නා රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තා කොටි පරාජය වීමට පෙර මෙරටින් පැන ගියේය. එහෙත් ඔහුගේ ප්‍රධාන සගයා මෙවර මැතිවරණයේදී පෙරටුගාමී පක්‍ෂයෙන් තරග කරයි.

වන්නි මෙහෙයුම ආරම්භ වීමෙන් පසු මේ පෙරටුගාමී සගයා ප්‍රකාශයක්‌ කරමින් හමුදාව අන්ත පරාජයට පත්වන බවත් ප්‍රභාකරන් ජය ලැබීම නිසා අපිට රට හැර දමා පළා යැමට සිදුවන බවත් කියා සිටියේය.

මේ තත්ත්වය මැද ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සඳහා වැරදිකරු කිරීමට කැලම් මැක්‌රේ දිගින් දිගටම දරණ උත්සාහ සනාථ වේ.

මැක්‌රේ ඇතුළු කොටි ජාලයේ ක්‍රියාකාරීහු ලබන සැප්තැම්බර්Êමස මැද භාගයේදි ජිනීවා පැමිණෙන්නේ යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාවේ සියලු අන්තර්ගත තොරතුරු හෙළි වී ඇති නිසාය.

කැලම් මැක්‌රේ සිය අළුත්ම වාර්තාවේ දක්‌වා ඇත්තේ කොටින්ට එරෙහිව සිදු කළ මෙහෙයුමේදී සිදුවූ දේ ගැන හිටපු ජනාධිපති හෝ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට දඬුවම් ලැබී නැති බවයි.

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන වාර්තාවට සියලු සාක්‍ෂි ඉදිරිපත් වී ඇති බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙම විමර්ශන වාර්තාවට සම්බන්ධ සාක්‍ෂිකරුවන් අතර කොටි සමග එක්‌ව ක්‍රියා කළ හිටපු සහන සේවකයකු වූ බෙන්ජමින් ඩික්‌සි ගැන ද හෙළි වී තිබේ. 2008 ඔක්‌තෝබර් මාසයේදී ඩික්‌සි ඇතුළු සහන සේවකයන් කිලිනොච්චියෙන් ඉවත් විය. සහන සේවකයකු මුවාවෙන් බෙන්ජමින් ඩික්‌සි ඡායාරූප ශිල්පියකු ලෙස ක්‍රියා කළේය. කොටි ප්‍රචාරක ජාලයට ඡායාරූප සැපයුවේ ද ඔහුයි.

මේ අතර යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව සැප්තැම්බර් 30 දා ප්‍රකාශයට පත් වීමට නියමිතය.

මෙම වාර්තාවෙන් ශ්‍රී ලංකා රජය සහ හමුදාව වරදකරු කර ඇති අතර ප්‍රභාකරන් වරදකරු වී ඇත්තේ ළමා සෙබළුන් බඳවා ගැනීම සම්බන්ධවයි.

කොටි බුද්ධි අංශයේ ප්‍රධානියා වු පොට්‌ටුඅම්මාන් සමග දැඩි ලෙස සබඳකම් පැවැත්වූ එන්. විද්‍යාදරන් නමැත්තා ද මෙවර මකුළුවා සලකුණින් යාපනයට තරග කරයි. ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.

“දෙමළ ජාති ඝාතනයේ උච්චතම ජාති ඝාතකයා මුල්ලිවයික්‌කාල්හිදී සිදුවිය. මේ ජාති ඝාතනය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ගෙන යනු ඇත.”

මෙරට බහුතරය කැබලි කීපයකට කැඩී මැතිවරණයෙන් බලය අල්ලා ගැනීමට ක්‍රියාකරන අවස්‌ථාවේ ද්‍රවිඩ පක්‍ෂ ඉතා සූක්‍ෂම ලෙස සිය ඉලක්‌ක සපුරා ගැනීමට උත්සාහ කරයි.

මෙයට වසර කීපයකට පෙර කොළඹ කින්ස්‌ පාරේ වාර්ගික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂිකා රාමා මානි නමැති ප්‍රංශ කාන්තාව වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා එක්‌සත් ජාතින්ගේ ආර්. – 2 – පි නමැති සම්මුතිය ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස එක්‌සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියාය.

ඇගේ මේ ෙද්‍රdaහි ක්‍රියාව වාර්තා වීම එවකට සිටි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇයව පිටුවහල් කළේය. රාමා මානිව බේරා ගැනීමට හිටපු අගමැතිවරයකුගේ ලේකම්වරයකු ද දැඩි උත්සාහයක යෙදුණි. එහෙත් ඔහුගේ උත්සාහය අසාර්ථක විය.

එහෙත් එම ආර්¾ 2 පී. ක්‍රමවේදය යටතේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දැන් උතුරු පළාත් සභාවට සෘජුව අරමුදල් දීමට ඉදිරිපත් වී ඇත.

මේ භයානක පූර්වාදර්ශය කෙරේ මෙරට බහුතරයේ දේශපාලනඥයන් හඬනැගිය යුතුය. “අපි දැන් එක්‌සත් ජාතීන්ගේ දොරටුව අබියසට පැමිණ තිබේ යෑයි ද්‍රවිඩ සංධාන දේශපාලනඥයකු යාපනයේදී ප්‍රකාශ කර තිබුණි. එම ප්‍රකාශය සත්‍යය වි ඇත. ඇමරිකාවේ හිටපු ජනාධිපති ලින්ටන් ජොන්සන් වරක්‌ මෙලෙස කීවේය.

“අද ඔබේ දොරකඩ අසල සිටින එළදෙන හෙට උදේ සිටින්නේ ඔබේ නිවස ඇතුලෙයි. උතුරේ අද සිදුවන්නේ එයයි. එනම් ලෝක ඉතිහාසයේ මුල්වරට ත්‍රස්‌තවාදයට එරෙහිව සටන්වැද ජයගත් ජයග්‍රාහී හමුදාවක්‌ පරාජිතයන් බවට පත් කිරීමේ ක්‍රියාදාමයයි.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනය පසුගිය 4 වැනිදා පස්‌වරුවේ මනිපායිහි සුදුමලෙයි අම්මන් කෝවිල් පරිශ්‍රයේදී එළිදැක්‌වීමට කටයුතු යොදා තිබුණි. එහෙත් එම සැලසුම ව්‍යර්ථ විය. හිටපු කොටි ක්‍රියාකාරීන් මේ ස්‌ථානය තෝරා ගත්තේ ඇයි?

ඒ 1987 අගෝස්‌තු 4 වැනිදා ප්‍රභාකරන් කසිකබල් අවි කීපයක්‌ ඉන්දීය සාම හමුදාවට බාරදී එවකට ඉන්දීය අගමැතිවසිටි රජිව් ගාන්ධිව රැවටුවේ මෙම ස්‌ථානයේදීය.

කොටි සංවිධානය විසින් රජිව් ගාන්ධි ඝාතනය කිරීමෙන් වසර කීපයකට පසු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පැවසුවේ සුදුමලෙයි අම්මාන් කෝවිල් පරිශ්‍රය වෙත ප්‍රභාකරන් පැමිණ ආපසු යන අවස්‌ථාවේ රජිව් ගාන්ධි ඝාතනය කරන බවට ශපථ කළ බවයි.

එසේ නම් වසර 28 කට පසු කාලිකුට්‌ටි සුබ්‍රමනියම් හෙවත් චාල්ස්‌, අකිලන් කුමාරවේලු හෙවත් අයියල් තංගරාසා කේමදාසන් හෙවත් ගංගයි අම්මන්, විනයාගසුන්දරම්, මොහාන් සුන්දරම් හෙවත් ගංගයි අලගන්, විරන් ශක්‌තිවේල් හෙවත් කාකිඅරසු, සිවගුරු මුරුගදාස්‌ හෙවත් රවිරාඡ් නමැති හිටපු ත්‍රස්‌තයන් සුදුමලෙයි අම්මාන් කෝවිලට පැමිණියේ තමන් ශපථ කිරීමකටද?

කීර්ති වර්ණකුලසූරිය