Spread the News

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ගේ චීවරය යටින් එල්ලෙන කතෝලික කොන්ත හා නීතියේ කොටි වලිග


අගවිනිසුරුවරියට ඉදිරිපත් කර තිබෙන්නේ
දෝෂාභියෝගයක්‌ නොව ද්වේෂාභියෝගයක්‌

මාදුළුවාවේ සෝභිත හිමි

චානක්‍ය ජයගොඩ

දිවිනැඟුම පනතට විරුද්ධ නොවුණා නම් මෙවැනි දෝෂාභියෝගයක්‌ ගෙන එන්නේ නැතැයි නියෝජ්‍ය ඇමැතිවරයකු පවසා තිබීම සලකා බලන විට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන්නේ ද්වේෂාභියෝගයක්‌ යෑයි කෝට්‌ටේ නාග විහාරාධිපති ශාස්‌ත්‍රවේදී මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පැවසූහ.

ඊයේ (06 දා) කෝට්‌ටේ නාග විහාරයේදී “සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය” සංවිධානය කළ මාධ්‍ය හමුවේදී මේ බැව් නාහිමියෝ පැවසූහ.

සෝභිත නාහිමියෝ වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.

දහඅට වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්‌ටියට දමා ඇණ ගැහැව්වා. රජය වර්තමානයේ ලබාදුන් අධිකරණ තීන්දු නොතකනව කියන්නේ එම මිනී පෙට්‌ටිය වළ දැමුව කියන අදහසක්‌ මතුවීමයි. හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක ඇතුළු රජයේ බොහෝ නායකයන් අධිකරණ තීන්දුවට ගරු කළ යුතු බව කියා තිබෙනවා.

බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා කියා තිබෙනවා අධිකරණය නැති කරන්නත් පුළුවන් බව. එහෙම වුණොත් පාර්ලිමේන්තුවෙත්a ගම්සභාවෙත් නඩු ඇසිය හැකියි.

පසුගියදා අධිකරණ තීන්දුත් රජය නොතකා හැරියා. කිසිදු තනතුරක්‌ නොදිය යුතු යෑයි නිර්දේශ කළ අයටත් රජය තනතුරු දුන්නා.

මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා අධිකරණ තීන්දු දෙන වෙලාවෙ ප්‍රහාර එල්ල කළා. අධිකරණ කොමිෂන් සේවා සභාවේ ලේකම්වරයාට පහර දුන්නා. සැකකරුවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැහැ.

මිනීමරුවෙකුටත් මාස ගණනක්‌ කල් ලබා දෙනවා උත්තර බඳින්න. නමුත් පිටු එක්‌දහස්‌ පන්සීයකින් සමන්විත දෝෂාභියෝග චෝදනා වාර්තාව චෝදනා දහහතරක්‌ ඇතුළු කොට පැය විසිහතරෙන් පිළිතුරු බලාපොරොත්තු වුණා. පාර්ලිමේන්තු තේරීම් කමිටුව අගවිනිසුරුවරිය විසින් වරදකරුවන් බවට පත්කළ අය පාර්ලිමේන්තු දෝෂාභියෝග විමර්ශන කමිටුවෙ සිටියා. එතුමියට නින්දා කළා. අධිකරණයට ඉල්ලීමක්‌ යොමුවුණා අර්ථ නිරූපණයක්‌ අපේක්‍ෂාවෙන්. අර්ථ නිරූපණය එනතෙක්‌ බලා නොසිට එතුමිය පලවාහරින්න කමිටු සාමාජිකයන් හත්දෙනකු තීන්දුවක්‌ දුන්නා. මේ විදියට රටේ කටයුතු සිදු වෙනවා නම් රට අරාජික වෙන එක වළක්‌වන්න බැහැ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා අදහස්‌ දක්‌වමින් මෙසේ කියා සිටියේය.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ දේශපාලන අර්ථ නිරූපණවලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටිනවා. අධිකරණ අර්ථ නිරූපණ හා තීන්දු පිළිගන්නා ලෙස ඉල්ලා සිටිනවා. සරත් සිල්වා මහතා දැන් දේශපාලනඥයෙක්‌. ඔහුට විරුද්ධව දෝෂාභියෝග දෙකක්‌ ඉදිරිපත් වුණා. නමුත් ඉල්ලා අස්‌වුණේ නැහැ. ඔහුට එල්ල වූ චෝදනා බරපතළයි. සරත් සිල්වා මහතා රැකගන්න පාර්ලිමේන්තුව දෙවරක්‌ වාර අවසාන කළා. පාර්ලිමේන්තුව විසුරුවාහැරියා. විධායකය සමඟ එකතුව මේවා කළේ.

වත්මන් අධිකරණ තීන්දුවෙන් කියන්නෙ නීති සකසා දෝෂාභියෝගය විමර්ශනය කරන්න කියලා. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව ගෙනා දෝෂාභියෝගයේ අවසන් වාර්තාවේ සඳහන් කර තිබෙන්නෙත් නව නීති සකසා දෝෂාභියෝගය විමර්ශනය කළ යුතුයි කියලා.

පැවිදි, වෘත්තීය හා සිවිල් සංවිධාන එකමුතුවෙන් “අධිකරණයට හිස නමමු” ලෙස මහා පාගමනක්‌ දෝෂාභියෝගය පාර්ලිමේන්තුව විවාදයට ගන්නා මුල් දවසේ ඉදිරිපත් කරන බවත් අළුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටින් ඇරඹෙන එම පාගමන නීතිඥ එකමුතුවේ මෙහෙයවීමෙන් සංවිධානය කරන්නේ යෑයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා මෙහිදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ආචාර්ය රංජිත් කබ්රාල්, අධිනීතිඥ රවි ජයවර්ධන හා ඒ. පී. තේනුවර යන මහත්වරු ද එක්‌වූහ.

http://www.divaina.com/2013/01/07/news36.html