Spread the News

මහින්දගේ නීතිඥයින්ගේ විරෝධතාවෙන්
ජනාධිපති කොමිසම ඊයේ නොවේ අද

ජයසූරිය උඩුකුඹුර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණීමෙන් පසු යළි පිටව ගිය අයුරු. ඡායාරූපය – සුජාතා ජයරත්න

රුපියල් ලක්‍ෂ 1150 ක මූල්‍ය අක්‍රමිකතාවක්‌ සම්බන්ධව සාක්‍ෂි දීමට මහා පරිමාණ මූල්‍ය වංචා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට ඊයේ (15 වැනිදා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණි මොහොතේ ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් කොමිසමේ නිත්‍යානුකූල භාවය පිළිබඳව ඉදිරිපත් කළ මූලික විරෝධතා හේතුවෙන් කොමිසම අද (16 වැනිදා) පෙරවරු 9.00 දක්‌වා අත්හිටුවීමට එහි සභාපති කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා තීරණය කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රකාශයක්‌ සටහන් කර ගැනීම සඳහා ඊයේ (15) පෙරවරු 9.00 ට ජනාධිපති දූෂණ විමර්ශන කොමිසම රැස්‌විය. එම අවස්‌ථාවේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නීතිඥ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා නීති තර්ක ඉදිරිපත් කරමින් මෙම කොමිසම නිත්‍යානුකූල නොවන බව ප්‍රකාශ කිරීම නිසා සාක්‍ෂි විභාග නොකර ඉදිරිපත් වූ නීති තර්ක අධ්‍යයනය කර නීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අද පෙරවරු 9.00 ට කොමිසම නැවත රැස්‌වීමට තීරණය කෙරිණි.

පසුගිය ජනාධිපතිවරණයේ දී ස්‌වාධීන රූපවාහිනි සේවයේ දැන්වීම් පළ කර ඊට අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ කොමිසම හමුවට කැඳවා තිබුණි. එහිදී මූලික විරෝධතා ගොනු කරමින් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ප්‍රධාන කරුණු හතරක්‌ යටතේ කොමිෂම ඉදිරියේ කරුණු ගොනු කළේය.

පළමුවැන්න දැනට රාජකාරියේ යෙදී සිටින මහාධිකරණ විනිසුරුවරුන් මෙවන් කොමිසමකට පත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බැවින් ජනාධිපතිවරයාට මෙම පත් කිරීම් සඳහා ලිත බලයක්‌ නොමැති බව.

දෙවැන්න ව්‍යවස්‌ථාවට අනුව විධායකයේ හා අධිකරණ යන ආයතන දෙකම ස්‌වාධීන ආයතන බැවින් විධායකයේ අවශ්‍යතාව පරිදි විමර්ශන කටයුතු සඳහා නිලධාරීන් අධිකරණයට යොදා ගැනීමට නෛතික ප්‍රතිපාදන නොමැති බව.

තෙවැන්න ස්‌වභාවික යුක්‌ති ධර්මය අනුවත් තමන්ගේ නඩුවක්‌ විභාගයට තමන්ටම විනිසුරුවරුන් පත් කළ නොහැකි බව මෙම පැමිණිල්ල අනුව අගතියට පත් පාර්ශවය ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නම් කර ඇති බැවින් ඔහුට සිදු වූ අගතිය විමසීමට ඔහු විසින්ම “මාගේ කොමසාරිස්‌වරු” ලෙස හඳුන්වමින් කොමසාරිස්‌වරු පත් කිරීම නිසා යුක්‌තිය ඉටු වනවා පමණක්‌ නොව යුක්‌තිය ඉටු වීම විනිවිද දැකීම සැක මතු කරන බව.

හතර වැන්න මූලික පොලිස්‌ විමර්ශනවලට අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වරදක්‌ කර නොමැති බව පොලිස්‌ වාර්තා සඳහන් කර තිබියදී ඔහු මෙම කොමිසම හමුවට කැඳවීම යුක්‌තිසහගත නොවන බව.

මෙම කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව කොමිෂම ඉදිරියේ කරුණු දැක්‌ වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා සඳහන් කළේ විත්තිය ඉදිරිපත් කළ නීති තර්ක පිළිගත නොහැකි බවයි. අගවිනිසුරු, නීතිපති, පොලිස්‌පති ආදී ප්‍රධාන තනතුරු සියල්ල සඳහා පුද්ගලයින් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා බැවින් මෙම තර්කයට අනුව කිසිදු පැමිණිල්ලක්‌a විභාග කිරීමට නොහැකිවනු ඇති බවයි.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සඳහන් කළේ මෙවැනි කොමිෂමකට දැනට රාජකාරීයේ යෙදී සිටින මහාධිකරණ විනිසුරුවන් පත් කිරීමට ජනාධිපතිවරයාට ලිත බලයක්‌ නොමැති බව තමන් අවධාරණය කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොමිෂම ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා කොමිෂමේ කටයුතු විනාඩි 20 කට අත් හිටුවන බව දැන්වීය. අනතුරුව රැස්‌ වූ කොමිෂම ඉදිරිපත් වූ නීති තර්ක සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය වී ඇති බැවින් අද (16 දා) පෙ.ව. 9.00 ට නැවත කොමිෂම රැස්‌වන බවත් එතෙක්‌ කොමිෂමේ කටයුතු අත්හිටු වන බවත් කොමිෂමේ සභාපති මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා දැන්වීය. එමෙන්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත තීන්දුවට අනුකූලව සාක්‍ෂි විභාග කිරීම සඳහා සක්‍ෂිකරුවන් නම් කර ගැනීමටද යෝජනා කළ අතර ඒ අනුව 16 වැනිදා සාක්‍ෂි ලබා ගැනීමට අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා කැඳවන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර මහතා පැවසීය.

රජය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අධිනිතීඥ ජනක බණ්‌ඩාර මහතා සමග ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටි අතර විත්තිකාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතිඥ දයාරත්න, නීතිඥ ගනේෂ් යන මහත්වරු ධර්මවර්ධන, නීතිඥ නවීන් මාරපන ප්‍රමුඛ නීතිඥයන් 40 කට අධික පිරිසක්‌ සහභාගී වී සිටියහ.