Spread the News

 

රතුකුරුස නිලධාරියාට එරෙහිව ලිංගික අල්ලස්‌ පැමිණිල්ලක්‌

දිනසේන රතුගමගේ

ඉන්දියානු නිවාස යොජනා ක්‍රමයෙන් ස්‌ථිර නිවසක්‌ ලබාදීමට නම් තමන්ට ලිංගික අල්ලසක්‌ ලබාදෙන මෙන් ශ්‍රී ලංකා රතු කුරුස කමිටුවේ නිලධාරියකු බල කළ බවට කිළිනොච්චියේ මුලංගාවිල් ප්‍රදේශයේ කාන්තාවක විසින් රතු කුරුස කමිටුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත පැමිණිලි කොට තිබේ.

එම කාන්තාව මේ පිළිබඳව ශ්‍රී ලංකා රතු කුරුස කමිටුවට පැමිණිලි කොට ඇත්තේ ඉන්දියානු ස්‌ථිර නිවාස පිළිබඳව කටයුතු කිරීමේ වගකීම ශ්‍රී ලංකා රතුකුරුස කමිටුව වෙත ලබාදී තිබීම හේතුවෙනි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා රතු කුරුස කමිටුවේ මාධ්‍ය කළමනාකරු මහේෂ් යමි මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එවැනි පැමිණිල්ලක්‌ ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු දැනට කරගෙන යන බවත්ය.

යම් හෙයකින් මෙම පැමිණිල්ලේ සඳහන් කරුණු සත්‍ය බව ඔප්පු වුවහොත් අදාළ නිලධාරියා පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද දැනට එම නිලධාරියා වෙනත් ස්‌ථානයකට මාරු කොට ඔහු පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බව ද රතුකුරුස කමිටුවේ මාධ්‍ය කළමනාකාරවරයා පැවසීය.