Sun. Nov 24th, 2024
Spread the News

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට
ගෙන යාමේ රාජ්‍ය නොවන සංවිධාන උත්සාහය

ඇමරිකානු හා ඉන්දීය ආණ්‌ඩු ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කර නැත. මේ රෝම සම්මුතිය කුමක්‌ද? 1998 ජුලි 17 දා රෝමයේ පැවැති ජාත්‍යන්තර සමුළුවකදී කරුණු හතරක්‌ මත ක්‍රියා කිරීම සඳහා රෝම සම්මුතිය නැමති ප්‍රඥප්තිය සම්මත විය.

ජාති ඝාතනය, මානව සංහතියට එරෙහි අපරාධ, යුද අපරාධ සහ ආක්‍රමණශීලී අපරාධ යන අපරාධකාරී ක්‍රියා සිදු කළ අයවලුන්ට එරෙහිව කටයුතු කිරීම මෙම රෝම සම්මුතියේ අරමුණ විය. එහෙත් එකී සම්මුතිය ක්‍රියාත්මක වූයේ 2002 ජුලි 1 දා සිටය.

එහෙත් ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට එකඟ නොවූ ඇමරිකාව වෙනත් රටවල රාජ්‍ය නායකයන්ට යුද අපරාධ චෝදනා එල්ල කර ඔවුන්ට හේග් නුවර අන්තර්ජාතික අධිකරණයට යවා ඇත.

එසේම ජාත්‍යන්තර අධිකරණය ක්‍රියාත්මක වී ඇත්තේ ඉතා භයානක ක්‍රමවේදයක්‌ මතය. සර්බියාවේ සිවිල් ජනතාවට හා බෙල්ග්‍රේඩ් රූපවාහිනී මධ්‍යස්‌ථානයට බෝම්බ දමා ඝාතන සිදු කිරීම ගැන නේටෝ සංවිධානයට චෝදනා එල්ල වූවත් ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂව සිටි කාලා බෙල් පොන්ටේ නේටෝ සංවිධානයට එරෙහිව ක්‍රියා කිරීම ප්‍රතික්‍ෂේප කළාය. එසේම සර්බියාවේ හිටපු නායක ස්‌ලොබදාන් මිලොසවික්‌ට එරෙහිව වසර 4 ක්‌ තිස්‌සේ නඩු විභාගය පැවැත්වූත් තමාට නීතිවේදීන් අවශ්‍ය නොවන බවත් තමා සාක්‌කිකරුවන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට සූදානම් බව මිලොසොවික්‌ පැවසුවත් ජාත්‍යන්තර අධිකරණය එම ඉල්ලීමට ඉඩ දුන්නේ නැත. 2006 වසරේදී මිලොසොවික්‌ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේදී අභිරහස්‌ ලෙස මියගියේය. ඔහු හෘදයාබාධයකින් මියගිය බව පැවසූවත් මරණ පරීක්‍ෂණ වාර්තාව යටපත් විය.

ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස්‌ ටේලර් යුද අපරාධ සිදු කිරීම ගැන වරදකරු කළ ජාත්‍යන්තර අධිකරණය ඔහුට වසර 50 ක සිරදඬුවමක්‌ නියම කර බ්‍රිතාන්‍ය සිරගෙයකට යෑවීය. ආර්. යූ. එස්‌. නැමැති ගරිල්ලා සංවිධානයට ආධාර කිරීම ගැන ටේලර්ට චෝදනා එල්ල වී තිබුණි.

එම ගරිල්ලන්ට ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයද උදව් කළ බව චාල්ස්‌ ටේලර් පැවසූවත් ජාත්‍යන්තර අධිකරණය එම ප්‍රකාශය පිළිගන්නේ නැත.

රුවන්ඩාවේ වත්මන් ජනාධිපති පෝල් කගාමේ යුද අපරාධවලට සම්බන්ධ බව දක්‌වමින් ජාත්‍යන්තර අධිකරණයේ ගෙන යායුතු යෑයි චෝදනා එල්ල විය. කගාමේ පැවසුවේ සීඅයිඒ සංවිධානය ද රුවන්ඩාවේ සිදුවීම් වලට සම්බන්ධ බවයි.

ඇමරිකාව එම ප්‍රකාශය මත ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂිකාව ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කරනු ලැබීය.

මේ පසුබිම මැද 2015 සැප්තැම්බර් 30 දා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකා රජයද ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කළ යුතු යෑයි නිර්දේශ කළේය.

ස්‌විට්‌සර්ලන්තය හා එස්‌ටෝනියාවද එය අනුමත කරනු ලැබීය. ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කළ යුතු යෑයි නිර්දේශ කළේ කපටිකමට බව තහවුරු විය. පිටු 261 ක ජිනීවා වාර්තාවේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ව්‍යqහය නමින් හමුදා නිලධාරීන්ගේ නම් සඳහන් විය. විශේෂ බලකායේ සිට ත්‍රස්‌ත මර්දන ඒකකය දක්‌වා ප්‍රධානීන්ගේ නම් ඊට අන්තර්ගත විය.

එය සනාථ වූයේ පරීක්‍ෂණ වාර්තාවේ එක්‌ ඡේදයක චූදිතයන්ගේ නාම ලේඛනයක්‌ පරීක්‍ෂක මණ්‌ඩලයට ලැබී ඇති බව සඳහන් කර තිබීමයි.

එසේ නම් රජය මානව හිමිකම් කවුන්සිලයේ රෝම සම්මුතියට එකඟ වූයේ නම් කවුන්සිලය කරන්නේ එහි ලැයිස්‌තුව ජාත්‍යන්තර අධිකරණයට යෑවීමයි.

එහෙත් රජය රෝම සම්මුතියට එකඟ වී නැත. එසේ වූවත් පසුගිය සඳුදා රජයේ රූපවාහිනිය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජිනීවා යෝජනාවෙන් පසු යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක්‌ පැවැත් විය.

මේ සම්මන්ත්‍රණයේ අරමුණ මාධ්‍ය දැනුවත් කිරීම යෑයි ප්‍රකාශ විය. එහෙත් සම්මන්ත්‍රණයට සහභාගි වූවන් කිසිවෙක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රඟ දැක්‌ වූ නාටක හා පසුබිමේ සිද්ධීන් දුටුවේ නැත.

සම්මන්ත්‍රණය අමතමින් විදේශ අරමුදල් ලබන ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ප්‍රධානියා කරුණු දැක්‌වීය. රජය ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කළ යුතුයි යෑයිද හයිබ්‍රිඩ් අධිකරණ යෝජනාව පිළිගත හැකියි යෑයි ඔහු කීවේය.

මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ රජයේ ඇමැතිවරයකු පැවසුවේ එම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියාගේ ස්‌ථාවරය රජයේ ස්‌ථාවරය නොවන බවයි.

එසේ නම් ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ගෙන් වුයේ ඇයි? එම තැනැත්තා රජයේ නියෝජිතයකු නොවේ.

මේ රෝම සම්මුතියට හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් එරෙහි විය. එය භයානක යෝජනාවක්‌ නිසා ඊට අත්සන් නොකළ යුතු යෑයි කදිරගාමර් එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට පැවසූවාය. කදිරගාමර් වැනි ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයකු කළ ප්‍රකාශය නිසා ශ්‍රී ලංකාව රෝම සම්මුතියට එකඟ වූයේ නැත.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කළ යුතු යෑයි කියන්නේ එන්. ජී. ඕ. ප්‍රධානියෙකි. රෝම සම්මුතියට අත්සන් කිරීම යනු අපේ වළ අපම කපා ගැනීමකි.

එසේම ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කළ යුතු යෑයි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන්ට නිර්දේශ කර ඇති පාර්ශ්වද හෙලි වී ඇත. මේ එම පිරිසයි.

1. හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිසේ ආබර්

2. ලන්ඩන් නුවර ප්‍රිඩම් පෝ ටෝචර්

3 ඕස්‌ටේ්‍රලියාවේ ගී්‍රන් පක්‍ෂය

4 ස්‌විට්‌සර්ලන්ත රජය

5 එස්‌ටෝනියා රජය

එහෙත් ඇමරිකාව තම හමුදාභටයන් ලොව කිසිම අධිකරණයත් හමුවට ගෙන යැමට නොහැකි වන ලෙසින් පනතක්‌ සම්මත කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Protected by Security by CleanTalk