Spread the News

බලු සුරතල් මැද හිනැහේ දුව සුවිසල් මන්දිරේ
පියා වැටී නිදයි අහෝ බලන්න බලු කූඩුවේ…

සුනඛයකුට එක්‌ වරක්‌ හෝ කෑමට යමක්‌ දුන්නහොත් මැරෙන තුරු එම සුනඛයාට එහි ගුණය තිබෙන බව බොහෝ අය දන්නා කරුණකි. තිරිසන් සතෙකු වන සුනඛයාට එවැනි ගුණයක්‌ ඇත්නම්, ඌට වඩා ශිෂ්ට සම්පන්න යෑයි කියා ගන්නා මිනිසුන් තුළ කොතරම් ගුණධර්ම තිබිය යුතුද? නමුත් වර්තමානයේ ජීවත් වන බොහෝ මිනිසුන් තුළින් එම ගුණධර්ම සැඟවී ගොස්‌ ඇත. වර්තමාන සමාජය දෙස බැලූ කල එය හොඳින් පසක්‌ වනවා ඇත.

පසුගිය දිනක අපට අසන්නට ලැබුණේ සුනඛයකුටත් වඩා පහත් ගති ගුණ ඇති ගැහැනියක්‌ ගැනය. තම වයෝවෘද්ධ පියාව බලු කූඩුවකට දැමූ බල්ලන්ටත් නිගාදෙන ගැහැනියකු පිළිබඳවය. දියණියක, ගැහැනියක තබා බැල්ලියක නමින් හෝ ඇය ඇමතීම නුසුදුසු යෑයි මට හැඟෙනේනේ කළගුණ සැලකීමේ ගුණය ඇතැම් මිනිසුන්ට වඩා හොඳින් බල්ලන් හා බැළලියන් තුළ පිහිටා ඇති බැවිනි.

බලගොල්ල පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ කොස්‌තාපල්වරියක්‌ වන ශෂිකලා මධුවන්ති සහ තවත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකු පසුගිය 13 වැනිදා කෙන්ගල්ල ග්‍රාමයට ගියේ සෝදිසි මෙහෙයුමක්‌ සඳහාය. ඒ එම ප්‍රදේශය තුළ නීති විරෝධී කටයුතු සිදු වෙන්නේ දැයි සොයා බැලීමටය.

කෙන්ගල්ලටත්, ඉහළවෙල ග්‍රාමයටත් සේන්දු වූ මෙම පොලිස්‌ කණ්‌ඩායම එම ප්‍රදේශයේ දී සෝදිසි මෙහෙයුමක නිරත වූහ. එහිදී පොලිස්‌ කොස්‌තාපල්වරිය හද කකියවන දසුනක්‌ දැක ඇත. එනම් නිවසක්‌ අසල ගැල්වනයිස්‌ දැලක්‌ ගසා ඇති කූඩුවක වයෝවෘද්ධ මිනිසකු සිටින අයුරුය. පොලිස්‌ කොස්‌තාපල්වරිය වහාම එම ස්‌ථානයට ගොස්‌ එය සෝදිසි කර ඇත. එහි ඇය දැක ඇත්තේ බලු කූඩුවක්‌ වැනි කුටියක්‌ තුළ වයෝවෘද්ධ මිනිසකු සිටින අයුරුය. වහාම ඇය ඒ බව තම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ එම ස්‌ථානයට පැමිණි මහලු පියාව කූඩුවෙන් එළියට ගෙන තිබේ. ඒ වන විටත් වයෝවෘද්ධ පියාට කෙළින් සිටීමටවත් නොහැකි වී තිබේ. එම මහලු පියා සිටි කූඩුව අඩි 4 ක්‌ පළල අඩි 6 ක්‌ දිග අඩි 4 1/2 පමණ උසකින් යුත් එකකි. එම අවස්‌ථාවේදීත් එය තුළින් දැඩි දුඟදක්‌ද හමා ඇත. පොලිසිය පැමිණීමත් සමඟ එම කූඩුවට අඩි 20 ක්‌ පමණ දුරින් පිහිටි සුවිසල් නිවසක්‌ තුළින් කාන්තාවක්‌ පැමිණ ඇත. ඇය නමින් මනෝරිය.

එම කාන්තාව වෙන කිසිවකුත් නොවේ. මෙම මහලු මිනිසාගේ දුවය. ඇය පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ හැසිරෙන්නේ දැඩි කේන්තියකින් යුතුවය. මුලින්ම ඇය ගමේ මිනිසුන්ට දෙස්‌ දෙවොල් තියන්නේ තමන්ගේ දියුණුවට ඉරිසියා කරන බව පවසමින්ය. පසුව ඇය පොලිස්‌ නිලධාරීන්ගෙන් අසන්නේ “මොකා දුන්න ඔත්තුවකටද? මෙහේ ආවේ” කියාය. එවිට පොලිස්‌ නිලධාරියකු පැවසුවේ කාගෙන්වත් ඔත්තුවකට ආපු ගමනක්‌ නෙවේ. කූඩුවක හිරකරලා සිටින මේ වයෝවෘද්ධ සීයා දැකලා ආපු ගමනක්‌ කියාය.

පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම කාන්තාවට සත්‍ය පැවසීමට සිදු විය. එහෙත් මෙම කතාව මිහිපිට වාසය කරන කිසිම පුද්ගලයකු නෑසිය යුතු කතාවකි. එය එතරම්ම අප්‍රිය ජනකය. නමුත් එය අප සටහන් කරන්නේ සටහන් නොකර බැරි නිසාය. එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ මෙවැන්නකි.

“මේ සිටින්නේ මගේ තාත්තා. කාලයක ඉඳන් එයා ඉන්නේ මගේ ළඟ. මට පුළුවන් විදිහට තමයි එයාව බලා ගන්නේ. එයා ගේ පුරාම මළ මුත්‍රා කරනවා. කෙළ ගහනවා.එය මට මහා වදයක්‌. එක පාරක්‌ මගේ පුංචි පුතාත් ලෙඩ වුණා මෙයාගේ විෂබීජ ගිහිල්ලා. එයාව බලාගන්න බැරිම තැන තමයි මම මේ කූඩුවට දාලා එයාට සැලකුවේ.

පසුගිය දිනවල මට තාත්තාව බලන්න බැරිවුණා. ඒ මගේ ගෙදර ඉන්න බැල්ලිට පැටව් 3 දෙනෙක්‌ හම්බ වුණ නිසා. ඒ බලු පැටව් ගැනත් බලන්න වුණේ මට. ඒක නිසා මට පුළුවන් විදිහට තමයි තාත්තාට සැලකුවේ. ඒ එම දියණිය පොලිසියට දී තිබූ කටඋත්තරයයි.

මෙම කාන්තාවට දරුවන් තිදෙනකු සිටින අතර ඔවුන් අවුරුදු 5, 18 සහ 23 වයසේ පසුවන දරුවෝ වෙති. ස්‌වාමිපුරුෂයා විදේශ රටක සේවය කරන අතර මෙම කාන්තාවද වසර ගණනක්‌ මැද පෙරදිග සේවය කර තිබේ. සුවිසල් දෙමහල් නිවසක ජීව්තවන මෙ කාන්තාව ගත කරන්නේ සුඛෝපභෝගී ජීවිතයකි.

මෙම නිවසේ සුරතල් බල්ලන් හතර දෙනකු සිටින අතර ඔවුන්ට නිදා ගැනීම සඳහා දී තිබුණේ එම දෙමහල් නිවසේම කාමරයකි. එම සුරතල් සතුන්ට වේලාවට කෑමබීම, බෙහෙත් ආදිය දීමට මේ කාන්තාවට කාලය තිබෙන අතර තම මහලු පියාට සැලකීමට වේලාවක්‌ තිබී නොමැත.

මෙම මහලු මිනිසාට තව දරුවන් තිදෙනකු සිටින අතර බිරිඳ ද විදේශ රටක පදිංචි වී සිටිති. ඔවුන්ද මෙම වයෝවෘද්ධ පුද්ගලයා ගැන සොයා බැලූ බවට ආරංචියක්‌ නොමැත. මෙම මහලු මිනිසා රැකියාව ලෙස කර ඇත්තේ ආපන ශාලාවක වේටර් තනතුරක්‌ය. එමගින් අපට හැඟී යන්නේ තම දරු පවුල පෝෂණය කිරීම සඳහා මෙම පුද්ගලයා කොතරම් මහන්සි වුණාද යන්නය.

මෙම කාන්තාව තම පියාව දෙමහල් නිවසට නොගන්නේ ඔහු ගේ විෂබිජ නිසා නිවස අපවිත්‍ර්‍ර වන බව පවසමින්ය. නමුත් සුරතල් බල්ලන්ට එම නිවසේ කාමරයක්‌ තුළ ඉහළ සැප සම්පත් ලබාදීමට ඇය කටයුතු කර තිබුණි. නමුත් තිරිසන් සතුන්ගෙන් කොතරම් විෂබීජ ප්‍රමාණයක්‌ පිටවෙනවා දැයි එම කාන්තාවට තේරුම් ගැනීමට නොහැකි වී ඇත්තේ මොළයේ ඇති යම් ආබාධයක්‌ නිසාද යන්න අපට පැහැදිලි නැත.

මෙම වැටලීම සිදුකළ දිනයේ සිටම මෙම කාන්තාවගේ විදේශ රැකියාවක නිරත ස්‌වාමිපුරුෂයා සහ එම මහලු මිනිසාගේ බිරිඳ බලගොල්ල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා සිද්ධිය ගොඩින් බේරාදෙන ලෙසට බැගෑපත් වී ඇත. නමුත් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා එය ගණන් නොගෙන නීතිය අකුරටම ඉටුකර තිබුණි. ඒ අනුව එම කාන්තාව අයුතු සිර කර තැබීම හා අයුතු අවහිරය යන චෝදනා යටතේ නඩු පවරා ඇත.

බලගොල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ජී. එස්‌. පුෂ්පකුමාර මහතා එම කාන්තාවට අපූරු කියමනක්‌ කියා තිබේ. එනම් “ඔයා මේ බලු කූඩුව කඩන්න එපා. ඔයාටත් දරුවො ඉන්නවනේ. කවදහරි ඔයාටත් මේකෙම ලගින්න වෙයි. ඒක නිසා මේ කූඩුව හොඳට පරිස්‌සම් කරලා තියාගන්න” කියාය.

තිරිසන් සතෙකුටත් වඩා අන්ත විදියට තම පියාට සැලකූ මේ කෲර ස්‌ත්‍රියට දඬුවම් මේ ආත්මයේදීම ලැබෙනු ඇත.

බලගොල්ල පොලිස්‌ ස්‌ථානාධිපති සී. එස්‌. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස්‌ පරීක්‍ෂක අබේරත්න, උ.පො.ප. මේඝවර්ණ, පො.කො. බණ්‌ඩාර (29529), කාන්තා පො.සැ. ශ්‍රියානි, කා.පො.කො. ශෂිකලා (7673), පො. සහායක අබේසිංහ (393) යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

ගයාන් සමරසිංහ