Spread the News

දේශීය යාන්ත්‍රණ යෝජනාව නීතිපති හමුවට


දයා ලංකාපුර

යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු බවට ඇමරිකාව ශ්‍රී ලංකාවේද සහාය ඇතිව පසුගියදා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගනු ලැබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට යැමේදී උද්ගත විය හැකි ගැටලු සම්බන්ධයෙන් නීති උපදෙස්‌ ලබා ගැනීම සඳහා රජය විසින් එම යෝජනාව නීතිපතිවරයා වෙත යවා ඇත.

එම යෝජනාවේ සඳහන් වන දේශීය යාන්ත්‍රණයට අනුව දේශීය හා විදේශීය විනිසුරුවරුන් පත්කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එකඟදැයි විශේෂයෙන් විමර්ශනය කරගෙන යන බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ මේ ගැන zදිවයිනZ කළ විමසීමකදී පැවැසීය.

නීතිපති දෙපාර්තමේන්තුව ජිනීවා යෝජනාව සුපරීක්‍ෂාකාරීව අධ්‍යයනය කරගෙන යන බවත් මේ පිළිබඳ නීතිපතිවරයාගේ නිර්දේශ ඉක්‌මනින්ම රජයට භාරදෙන බවත් ඔහු තවදුරටත් කීය.

මේ අතර ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමේදී එහි කටයුතු හා ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරලියගහ මන්දිරයේදී විශේෂ කාර්යාලයක්‌ පිහිටුවීමට යන බවද දැන ගන්නට තිබේ.

ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සමන්තා පවර් මහත්මිය ඊයේ (21 දා) ශ්‍රී ලංකාවට පැමිණියාය.