Spread the News

දකුණේ නත්තල අරගෙන මෛත්‍රී උතුරට ගිය හැටි

උඳුවප් මාසයේ සීතල පරයමින් නත්තල් අසිරිය කරළියට පැමිණියේය. එහි තේජස උණුසුම තවමත් පහව නොගිය සෙයකි. වෙනදාටත් වැඩියෙන් නත්තල් උණුසුම මෙරට කිතුණු බැතිමතුන්ගේ හදවත්වලට දැනෙමින් තිබුණු අයුරක්‌ රටේ හැම තැනින්ම දිස්‌ විය. ඔවුහු කති. බොති. ප්‍රීති වෙති.

රටම එසේ නත්තල් අසිරියෙන් සැරසෙද්දී රාජ්‍ය නත්තල් උත්සවය පැවැතියේ යාපනයේය. තමන් නිදා සිටින අතරේ නත්තල් සීයා පැමිණ තම කොට්‌ටය ළඟින් තෑගි තියා යනු ඇතැයි දරුවෝ විශ්වාස කරති. දෙමවුපියෝ දරුවන්ට එසේ කියා ඇත.

යාපනයේ රාජ්‍ය නත්තල් උත්සවයට කොළඹින් නෑදැයෝ ගියේද තෑගි බෝග පිරිවරාගෙනය. ඒ නෑදැ පිරිවරේ නායකයා රටේ ජනාධිපතිය. ජනාධිපති යාපනයේ නත්තල් උත්සවයට පැමිණෙනවා යෑයි යන සිතුවිල්ලම යාපනයේ ජනතාවට නත්තල්ය.

යාපනයේ ජනතාව එය ආශිර්වාදයක්‌ යෑයි සිතූහ. ඒ ආශිර්වාදය පිළිගැනීමට ඔවුහු සැදී පැහැදී සිටියහ. මේ එන්නේ දකුණේ පමණක්‌ නොව අප සැමගේ නායකයා යෑයි එම ජනතාවගේ සිත් සතන් තුළ විය. සෑම ජාතියකටම, සෑම ආගමකටම එක ලෙස සලකන ජනාධිපතිවරයෙක්‌ දැන් අපට සිටින බවට ඔවුන් තුළ විශ්වාසයක්‌ තිබේ. කොටින්ම අපටත් දැන් රජෙක්‌ ඇතැයි ඔවුහු සිතති.

රාජ්‍ය නත්තල් උත්සවයට ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණේ ඇමැති ජෝන් අමරතුංග මහතාය. ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිණී විජයකලා මහේෂ්වරන් මහත්මියද, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාද එහි වූහ.

එකී උත්සවයේ සිටියත් විජයකලා මහේෂ්වරන් ඇමැති තුමියගේත්, රාමනාදන් මන්ත්‍රිතුමාගේත් හිත තිබුණේ වෙන තැනකය. ඒ අවතැන් කඳවුරුවල ඉන්න ජනතාව ගැනය. හැමදාමත් ඔවුහු එම ජනතාවගේ දුක ගැන පාලකයන්ට කිවුහ. ඔවුහු එම ජනතාවගේ දුක දැස්‌වලින් දැක කන්වලින් ඇසූහ. හදවතේ එම දුක තැන්පත් වී තිබිණි. එහෙත් පිළිසරණක්‌ දෙන්නට ඉදිරිපත් වූවෝ නොවූහ. දැන් ඔවුන්ගේ ජනාධිපතිවරයෙක්‌ අගමැතිවරයෙක්‌ රටේ සිටී. ඒ පිළිබඳව ඔවුහු පාලකයන් දැනුවත් කළහ. පාර්ලිමේන්තුවේ හඬ නැගූහ.

එහෙත් ජනාධිපතිවරයාට ඔවුන් විඳින දුක ඇස්‌ පනාපිටම පෙන්වන්නට හැකි නම් කෙතරම් අගේදැයි මේ ජනතා නියෝජිතයෝ සිතූහ. ඒ සඳහා හොඳම අවස්‌ථාව මෙය යෑයිද සිතූහ. එහෙත් ජනාධිපතිවරයෙක්‌ එතනට යයිද? ආරක්‍ෂාව ප්‍රමාණවත්ද? සැලසුම් නොකළ ගමනක්‌ යාමට එතුමා කැමැති වේද? ඔවුන්ගේ සිත් තුළ මෙවැනි නොයෙක්‌ ප්‍රශ්න නැගිණි.

එහෙත් තවත් කල් බලා නොසිට ඔවුහු තම යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළහ.

“සර් තෙලිප්පලෙයි අනාථ කඳවුරේ මිනිස්‌සු බොහෝම දුක සේ ඉන්නේ. සර්ට පුළුවන්කමක්‌ තිබෙනවා නම් ඔවුන්ගේ දුක සැප බලන්න ගිහින් එන්න”.

ඔවුන්ගේ යෝජනාව ගැන ජනපති මෛත්‍රී තවත් වරක්‌ නොසිතුවේය.

“බොහොම හොඳයි, බොහොම හොඳයි. රාජ්‍ය නත්තල් උත්සවයේදී හොඳ ආදර්ශයක්‌”.

එසේ කිවු ජනාධිපතිවරයා තම ආරක්‍ෂක අංශවලට එහි යාමට සුදානම් වන ලෙස උපදෙස්‌ දුන්නේය. අනෙක්‌ නිලධාරීන්ටද ඒ පිළිබඳව දැනුවත් කළ ජනාධිපතිවරයා විනාඩි පහක්‌ යන්නට මත්තෙන් මෝටර් රථයටද ගොඩ වූයේය. ඒ තෙලිප්පලෙයි අනාථ කඳවුරට යාමටය. මයිලඩි, මයිලිටි, පලාලි සහ කන්කසන්තුරේ අනාථ වූ ජනතාව විසිපස්‌ වසරක්‌ තිස්‌සේ එම කඳවුරේ වාසය කරති. එම පිරිස එක්‌දහස්‌ පන්සියයකට වැඩිය.

අනාථ කඳවුර ආසන්නයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෝටර් රථයෙන් බැස ගත්තේය. අනතුරුව ඔහු ඒ දෙසට පයින් ඇවිද ගෙන ගියේය. බුමුතුරුණු, රතු පලස්‌ නොවුණු ඒ වීදිය කර්කශය. කටුකය, එහෙත් ජනාධිපතිවරයාට එය කිසිම අසුවක්‌ එක්‌ කළ මගක්‌ බව දිස්‌ නොවුණි. පුංචි දරු පැටවු ඒ වීදිය දිගේ ඒ මේ අත දිවූහ.

“පුතාලා මොකද කරන්නේ? ඉස්‌කෝලේ යනවද? කීයේ පංතියේද ඉන්නේ? විභාග වැඩ ලේසිද”.

ජනාධිපතිවරයා බොහෝම හිත මිතුරුව ලෙංගතුව ඒ දරු දැරියන්ගෙන් විමසුවේය. ඉන් ඇතැම්හු මේ අප රටේ ජනාධිපතිවරයා යෑයි නොදැන සිටියහ. ඔවුහු කෙළිදොළෙන්ම ජනපතිවරයාට පිළිතුරු දුන්හ.

එම මග දිගේ ගිය ජනපතිවරයා අනාථ කඳවුරේ පිහිටි තාවකාලික නිවසකට ගොඩ විය. එහි තිබුණ පුංචි බංකුවේ ජනාධිපතිවරයා ඉඳ ගත්තේය. එහි ඇවිද ගන්න වාරු නැති වියපත් අසරණ මවකි. එහි කුස්‌සිය යෑයි සිතිය හැකි කොටසටද ජනපතිවරයා ගියේය. උයලා තිබෙන දේ පිළිබඳව ජනාධිපතිවරයා විමසිලි කර බැලීය. බත් මුට්‌ටියත්, ළිපත් බැලීය. ඔවුන් ගත කරන්නේ කෙතරම් දුෂ්කර ජීවිතයක්‌ දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිතෙන්නට ඇත.

“මොනවද ඔබලාට වෙන්න ඕන”

ජනාධිපතිවරයා ඔවුන්ගේ අසරණ දැස්‌ දෙස බලමින් විමසීය.

“අපව මුල් පදිංචි ස්‌ථානයේ පදිංචි කර දෙන්න ජනාධිපතිතුමා. අවුරුදු 25 ක්‌ තිස්‌සේ අපි මේ අනාථ කඳවුරේ ඉන්නේ. මාළු අල්ලගෙන විකුණලා තමයි අපි දවස ගැට ගහ ගන්නේ. අපිට ඉන්න තැනක්‌ දුන්නොත් ඒක ගොඩක්‌ වටිනවා”.

ඔවුහු පැවසූහ

යාපනයේ සංචාරයෙන් පසු පලාලිවලින් ගුවන් යානයෙන් බැස ගත් ජනාධිපතිවරයා බිෂොප් තුමා හමු විය. අනතුරුව ආණ්‌ඩුකාර පලිහක්‌කාර මහතාගේ නිවසින් දිවා ආහාරය ලබා ගත්තේය. රාජ්‍ය නත්තල් උත්සවයට පැමිණියේ ඉන් අනතුරුවය. ඒ හැම දෙයක්‌ම කලින් සුදානම් කර තිබූ අවස්‌ථාවන්ය. එහෙත් සුදානමකින් තොරව ගිය තෙලිප්පලෙයි ගමන තරම් ඒ කිසිවක්‌ ජනාධිපතිවරයාගේ සිතට දැනුණා දැයි කිව නොහැක. ඒ පිළිබඳව රාජ්‍ය නත්තල් උත්සවය අරභයා කළ කතාවෙන්ම පැහැදිලි වේ.

“අවුරුදු 25 ක්‌ තිස්‌සේ අවතැන් වෙලා ඉන්න ජනතාවගේ මේ ප්‍රශ්නය විසඳන්න ඉදිරි මාස 6 ක කාලය තුළ කටයුතු කරනවා. මේ සඳහා මම හදිසි කාර්ය සාධක බළකායක්‌ පත් කරනවා. ජාතික ආරක්‍ෂාව බිඳ වැටිලා. එල්ටීටීඊයට ඔළුව උස්‌සන්න අපේ ආණ්‌ඩුව ඉඩ දෙනවා කියලා කියන අවස්‌ථාවාදීන්ට මම ආරාධනා කරනවා උතුරට ඇවිල්ලා උතුරේ ජනතාව හමු වෙන්න කියලා. ඒ ගොල්ලන්ට කොළඹ ශාලාවක්‌ ඇතුළට වෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ තියන්න එච්චර වියදමක්‌ යන්නේ නැහැ. ඒ අයට කොළඹ ඉඳන් උතුරට එන්න වාහනවලට තෙල් දෙන්න පුළුවන්. කොළඹ ඉඳලා එන්න වාහන දෙන්නත් පුළුවන්. කොළඹ ඉඳලා මුහුදෙන් එන්න ඕනෑ නම් මුහුදෙන් එන්නත් මට නැවක්‌ දෙන්න පුළුවන්. ඒ දෙකෙන්ම එන්න බැරි නම් උඩින් එන්න ගුවන් යානයක්‌ දෙන්න පුළුවන්. මම ඒ අයට කියනවා අවුරුදු 25 ක්‌ තිස්‌සේ අවතැන් වෙලා හිටිය උතුරේ ජනතාව හමුවෙන්න කියලා”.

ජනාධිපතිවරයා රාජ්‍ය නත්තල් උත්සවයේ කළ සම්පූර්ණ කතාවම වාගේ ගොඩනැගුණේ මේ පිළිබඳව පවසන්නටය. සාමය, සංහිඳියාව සහ මානව දයාව පිළිබඳ පවසන්නටය.

තෙලිප්පලෙයි අනාථ කඳවුරට පමණක්‌ නොව මුළු උතුරටම නත්තල් තෑග්ගක්‌ තිළිණ කිරීමේ පොරොන්දුව දෙමින් ජනාධිපතිවරයා ඉන් නික්‌මුණේය. දැන් එම ජනතාවට බලාපොරොත්තුවක්‌ තිබේ. ඒ තම මුල් බිම්වල අයිතිය තමන්ට යළි හිමිවන බවය.

කවදාවත් රාජ්‍ය නායකයෙන් එසේ යාපනයේ අනාථ කඳවුරකට මීට පෙර පැමිණ තිබුණේ නැත. දුක සැප අසා තිබුණේ නැත. ලෙංගතුව, කුළුපගව කතා කර තිබුණේ නැත. එමතු නොව විසිපස්‌ වසරක්‌ පුරා තම හදවත් තුළ දැවී දැවී තිබුණු ප්‍රශ්නවලට තමා ළඟටම ඇවිත් විසඳුම් දෙන්න පොරොන්දු වුණේ නැත. ඉතින් ඒ ජනතාවට මීටත් වඩා නත්තල් තෑග්ගක්‌ තවත් තිබිය හැකිද?

කුෂාන් සුබසිංහ

ශ‍්‍රීධරන් පාර්ලිමේන්තුවේ මහවිරු දේශන තියනවා… කැමරන් එංගලන්තයේ කොටි සමරනවාවේළුපිල්ලේ පිරිබාහරන් ජාතික විරයෙක් උන්නැහේව අපි සමරනවා කියා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙන බවත් එම ප්‍රකාශය කළ ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට එරෙහිව පවතින නීති වෙනස් කර හෝ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මේ වැනි ප්‍රකාශ කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක  නොකළ නිසා නියපොත්තෙන් කඩා ඉවත් කිරීමට තිබු දේවල් පොරවෙන් කපලාවත් ඉවත් කීරිමට බැරි තත්වයකට මේ රට පත්වුණ බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 239ක වියදමින් මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 12 අලුත්කඩේ මහල් නිවාස ව්‍යාපෘතිය හා ඩයස්පෙදෙස මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි. මෙම උත්සවය ඩයස් පෙදෙස නිවාස ව්‍යපෘතිය අසල ඇති ශාන්ත සෙබස්තියන් මාර්ගය අසල පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා ‘අද මේ රට අභියෝග කන්දක් මැද්දේ ඉදිරියට යනවා. කොටි ත්‍රස්තවාදය ඉවත් කළාට තවම ඒහි අවතාර, විවිධ හොල්මන් වැඩකරන බව පත්තර බැලුවහම තමුන්නාන්සේලාට පේනවා. උතුරේ තැන් තැන් වල මහවිරු දින සැමරුම් පවත්වන්න දෙමළ ජාතික සන්ධානය වර්ථමානයේ කටයුතු කරනවා. දෙමළ ජාතික සන්ධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියනවා වේළුපිල්ලේ පිරිබාහරන් ජාතික වීරයෙක් උන්හැහෙව අපි සමරනවා කියලා. හරිනම් නීති වෙනස් කරලා හරි ඒ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඔයවගේ ප්‍රකාශ කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකළ නිසා තමයි නියපොත්තෙන් කඩන්න තිබුණු දේවල් පොරවෙන් කපලා ඉවර කරන්න වත් බැරිවෙන තත්වයකට මේ රට පත්වුණේ. සමහර දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය වෙලා ඇත්තේ තැවත උතුර ගිනිතියන්න. උතුරු නැගෙනහිර ඉන්න ජනතාව නැවත ත්‍රස්තවාදී සටන් මාර්ගයකට ඇදගෙන එන්න. එසේ කටයුතු කිරීමෙන් ඒ අය බලාපොරොත්තු වන්නේ නොමිලේ පාර්ලිමේන්තුවට එන්න.නැත්නම් මිනිසුන්ට වැඩ කරන්න වෙනවා. එහෙම නැතිව දෙමළ ජාතිය කියලා දහපාරක් විතර කියපු ගමන් අර ජාතිවාදය, වෛරය අවුලලා පාර්ලිමේන්තුවට එන්න පුළුවන්.

ඡන්දයක් කිට්ටු වෙලා ජාතිය ජාතිය කියලා කියන්න විතරයි ඒ අයට තියෙන්නේ. එතකොට නවතින්නේ පාර්ලිමේන්තුවේ. දැන් බලන්න කැමරන් අගමැතිතුමා ඉන්න මහා බ්‍රිතාන්‍ය මහා විරුදින උත්සව පවත්වනවා. ඒ අය මෙහෙ ඇවිල්ලා උදයන් පත්තරේ කාර්යාලයට යනවා. යාපනේ පුස්තකාලය බලනවා. දෙමළ ජනාසමාජයේ බෙදුම්වාදී මත දරණ අයට වීශාල ලෙස සහයෝගය දෙනවා. අද ඇතැම් යුරෝපා රටවල්  ඊනියා මහවිරු දිනය සමරනවා. මාර්තු වල ජිනිවා හිදී ශ්‍රී ලංකාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා පිළිබඳ අන්තර් ජාතික පරීක්ෂණය පටන් ගන්නවා කියලා තර්ජනය කරනවා. ඒ අතර ඊ.පී.ඩී.පී  පක්ෂයේ ඩෙලෆ් දුපතේ ඉන්න සභාපතිතුමාව වෙඩි තියලා මරනවා. එදා දොරේයප්පා නගරාධිපතිතුමාව ඝාතනය කළා වගේ කොටින්ගේ ත්‍රස්තවාදය නැවත ආරම්භ කිරීමේ පළවෙනි සලකුණ බවට මේ ඩෙලෆ් දුපතේ සභාපතිතුමාගේ ඝාතනය ඇතැම් වෙලාවට පත්වෙන්න පුළුවන්. එක පැත්තකින් කැමරන් මහත්තයල ගිනි අවුලනවා. මෙහේ ඩෙලෆ් දුපතේ  සභාපතිතුමාව රෑ නිදාගෙන ඉන්න කොට මරනවා. අරහේ ඊනියා මහවිරු දිනයට ඉටිපන්දම් පත්තුවෙනවා. මාර්තුවල ජීනිවාවලදී  යුධ අපරාධ චෝදනා ගැන අන්තර් ජාතික පරීක්ෂණයක් ආරම්භ කරනවා කියලා චෝදනා කරනවා. රටට නිදහසේ හුස්ම ගන්න ඉඩදෙන්නේ නැහැ කියලා මේ සියල්ලෙන්ම අපිට පේනවා. ඒ අය නැවත මේ රට ගිනිතියන්න බලනවා. රට ගිනිතියන්න හදන ඒ බලවේග වලට ඉඩදෙන්නේ නැතිව මේ රට ආරක්ෂා කර ගැනිමේ ලොකු වගකීමක් අපට තියෙනවා.

අද රජය  යුද්ධයෙන් මියගිය පුද්ගලයන්ගේ හා විනාශ වුණු දේපළ පිළිබඳ සම්පුර්ණ සංගනණයක් කරනවා. පසුගිය යුද්ධ කාළේ මියගිය පුද්ගලයන්ගේ හා විනාශ වුණු දේපළ පිළිබඳව මොන විදිහේ විනාශයක් ද වුණේ කියලා සංගනණය කරලා එහි වාර්තාව එන කොට තමුන්නාන්සේලාට පේනේවි අවුරුදු  30ක යුද්ධයෙන් ජීවිත හා දේපළ මොනතරම් විනාශයක් වුණාද කියලා . දැන් යුද්ධය අවසන් කරලා සියළු ජාතින් එකට එකතුව සමගියෙන් ජිවත්වෙන්න පටන් ගන්නකොට මේ ගොල්ලෝ බලනවා නැවතත් මේ රටේ ගිනි අවුළුවන්න. ඒනිසා තමයි රටට හතුරුව මේ සියළු දේවල් කරන්නේ. චැනල් 4 මාධ්‍යවේදීන් ලංකාවට එරෙහිව දැවැන්ත සන්නිවේදන ත්‍රස්ත මෙහෙයුමක් ලෝකය පුරා දියත් කරන්නේ ඒකට. ඒදා යුද්ධයට වැය කරපු සල්ලි තමයි අද මේ මහල් නිවාස යෝජනා ක්‍රම නවීකරණය කරන්න යොදවන්නේ .යුද්ධය තිබුණා නම් මේ වැඩ කරන්න හැකි වෙන්නේ නැහැ. මුළු රටේම අද මාර්ග නවීකරනය වෙන්නේ, පැල්පත් වාසී පවුල් 60000 ක් අද කොළඹ නගරයේ මහල් නිවාසවල පදිංච් කරන්නේ, අද ඩයස් පෙදෙස හා අළුත් කඩේ මහල් නිවාස ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ යුද්ධය වෙනුවෙන් වියදම් කරපු මුදල් වලින්. එදා යුද්ධය අවසන් කිරීමේ ප්‍රතිලාභ කොළඹ නගරයේ ජනතාවට අද ලැබෙනවා. එමනිසා මේ රට කොටවන්න, ජාතීන් අතර සමගිය නැතිකරන්න, ත්‍රස්තවාදය මේ රටේ නැවත ඇතිකරන්න, රටේ ජනකොටස් කොටවලා ත්‍රස්තවාදයට අතහිත දෙන අන්තර් ජාතික බලවේග වලට වාසි ලැබෙන්න ඉඩ තියන්න  එපා.

කොළඹ නගරයේ සංවර්ධනය පිළිබඳ අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “මෙවර අයවැයෙන් ජනාධිපතිතුමා රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන්කළා මහල් නිවාස ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත්ව ඉදිරියට කරගෙන යන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා කෙළඹ මහල් නිවාස සියල්ලම නවීකරණය කරලා, අලුත් කොළඹට ගැලපෙන මහල් නිවාස යෝජනාක්‍රම පද්ධතියක් බවට සියලුම මහල් නිවාස යෝජනා ක්‍රම ලබන වසරේදී පරිවර්තනය කරන්න. මේ අලුත්කඩේ මහල් නිවාස යෝජනා ක්‍රමයත් ඩයස් පෙදෙස මහල්නිවාස යෝජනා ක්‍රමය ඇතුළු මහල් නිවාස 30කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. බෝධිරාජමාවතේ උත්සවශාලාව, සමගිපුර, ස්ටේට්පුර, කිරුලපුර, බොරැල්ල සර්පන්ටයින්, මාලිගාවත්ත, ගුණසිංහපුර, වේලුවනපුර,  ආමර්වීදිය, ආරාමයපාර, ඇල්විටිලග මාවත, විතානගේ මාවත ආදි පැරණි මහල්නිවාස යෝජනා ක්‍රම 30ක අධික ප්‍රමාණයක් රුපියල් මිලියන දහස් ගණනක් ආයෝජනය කරලා ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. 2011 ජනසෙවණ නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ අලුත් නිවාස ක්‍රම හදනව වගේම පැරණි මහල් නිවාස යෝජනා ක්‍රම නවීකරණය කළයුතුයි කියලා අපි තීරණයක් ගත්තා. ඒවනවිට අතිගරු ජනාධිපතිතුමා නගමු පුරවර කියලා වැඩසටහනක් ආරම්භ කරලා තිබුණා. ඒ වැඩසටහන ඉදිරියට කරගෙන ඇවිල්ලා තියෙනවා. යාපනයේ ගුරු නගර් නිවාස ව්‍යාපෘතියත් අපි ප්‍රතිසංස්කරනය කරනවා. යුද්ධයේදී විනාශ වුණු යාපනයේ තියෙන මහල් නිවාස යෝජනාක්‍රම පවා මේ වැඩ පිළිවෙල යටතේ අපි ප්‍රතිසංස්කරණය කරනවා.  සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අපි තමුන්නාන්සේලාට අයිති දේ ඉටුකරදිය යුතු නිසා තමයි මේ වැඩ පිළිවෙල දියත්කරළා තියෙන්නේ.

කොළඹ නගරයේ නව පිබිදීමක් වෙලා කොළඹ නගරය සාමාන්‍යයෙන් සලකන්නේ අලින්ගේ අලිමංකඩක් හැටියට. එක්සත් ජාතික පාක්ෂිකයන් හිතනවා එක්සත් ජාතික පක්ෂ නොවන රජයක් තියෙනකොට කොළඹට වැඩකරනවා අඩුයි කියලා. 2001  වික්‍රමසිංහ මහත්තය හිටිය කාලෙත් සංවර්ධනයක් කොළඹට වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය නොවන රජයක් තියෙනකොට පවා කොළඹට වැඩ කෙරෙන බව අද අපි ඔප්පු කරලා ඉවරයි. මේ රටේ රට වැසියන් වශයෙන් ඔවුන්ට ඉටුවියයුතු සේවාවන් ඉටුකරලා තියෙනවා. අපිට ඡන්දය දීපු අය ඉනන්වද කියලා බැලුවේ නැහැ. මම පසුගිය ඡන්දය කාලේ මේහෙම පොරොන්දුව දීලා ගියේ නැහැ. මේ ඉටුකරන්නේ නොදුන්න පොරොන්දු. 1994 සිට තමුන්නාන්සේලට එක්සත් ජාතික පක්ෂය රජයක් ලැබෙනකල් මේ වගේ සංවර්ධනයක් සිදුවෙයි කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසා කොළඹට වැඩ කරන්න අලිංගෙ ආණ්ඩු ඕන කියලා කතාවක් දැන් නැහැ. කොළඹ ජීවත්වන ජනතාවට මේ රජය වැඩ කරනවා.

අද පවුල් 60,000 ක් පමණ  ඉන්නෙ අඩු පහසුකම් ජනාවාස වල. ඒවායේ ළමයි පාසල් වලදි විහිලු, තහලුවට ලක්වන්නේ ඔවුන් ජිවත් වන ජනාවාස වල නම කියලා. කොළඹ ප්‍රධාන පාසල්වලට එම දරුවන් යනවා. එවිට ඔවුන් විශාල අසීරුතාවයට පත්වෙනව. එම් ළමයින්ගේ පදිංචිය හදුන්වන්නේ වත්තට අයිති ඉලක්කම් වලින්. ඒ නම් කියපු ගමන් ලමයින්ගේ පෞර්ෂය නැති වෙනවා. සමහර වතුවලට කියන්න බැරි නම් තියෙන්නේ. වැඩිහිටියෝ එම තත්ත්වයන්ට පුරුදු වෙලා ඇති.  නමුත් දරුවන් ඒ අත්වන ඉරණමෙන් බේරගන්න ඕන. ඒ නිසා කොළඹ නගරයේ පැල්පත් වාසීන් 60,000 ක් වෙනුවෙන් නවීන මහල් නිවාස හදලා පදිංචි කරන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරල තියෙන්නේ. එහි පළමු පදිංචි පවුල් 500 දෙනාව දෙමටගොඩ පදිංචි කෙරුවා. මේ වසර අවසන් වනවිට පවුල් 20,000 ක් කොළඹ මහල් නිවාස වල පදිංචි කරනවා. ඔවුන් පදිංචිවෙලා සිටි මුඩුක්කු කියන අඩුපහසුකම් ජනාවාස මේ නගරයේ දිදුලන තැන් බවට පත්වෙනවා. කොළඹ ආයෝජන වැඩිවී නව රැකියා අවස්ථා නිර්මාණය වෙනවා.

කොළඹ තිබුණු මරබිය ජනාධිපතිතුමාගේ නායක්වය මගින් නැතිකරලා තියෙනවා. පිටකොටුව බෝගහහන්දියෙන් යන්නැතිව වෙන මාර්ග වලින් යන කාලයක් තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා භේදයකින් තොරව මරණ බයට මුහුණ දීලා සිටියා. මේ රට මිනීමරු ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තා පමණක් නොවේ මේ රට සංවර්ධනය කරන්නත් අතිගරු ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. එදා යුද්ධයට වැය කරපු සල්ලි තමයි අද මේ මහල් නිවාස යෝජනා ක්‍රම නවීකරණය කරන්න යොදවන්නේ. යුද්ධය තිබුණා නම් මේ වැඩ කරන්න හැකි වෙන්නේ නැහැ. මුලු රටේම අද මාර්ග නවීකරණය වෙන්නේ , පැල්පත් වාසී පවුල් 60,000 ක් අද කොළඹ නගරයේ මහල් නිවාසවල පදිංචි කරන්නේ, අද ඩයස් පෙදෙසේ හා අලුත් කඩේ මහල් නිවාස ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ එදා යුද්ධයට වියදම් කරපු සල්ලි වලින් . එමනිසා මේ රට කොටවන්න, ජාතීන් අතර සමගිය නැතිකරන්න, ත්‍රස්තවාදය මේ රටේ නැවත ඇතිකරන්න, රටේ ජන කොටස් කොටවලා ත්‍රස්තවාදයට අතහිත දෙන අන්තර් ජාතික බලවේග වලට වාසි ලැබෙන්න ඉඩ තියන්න එපා.

මට හේමා ප්‍රෙමදාස මැතිණිය දුරකතනයෙන් කතා කරලා මේ ඉටුකරපු සේවයට සුභ පැතුවා. අසනීප තත්වයක් නිසා එතුමියට පැමිණීමට නොහැකි බව දැනුම්දුන්නා. එතුමියටත් පේනවා කොං කරලා තිබුණු කොළඹ නගරය අද සංවර්ධනය කරලා ති‍යෙනවා කියලා. අද රනිල් මහත්තයා ළග ඉන්නවාට වඩා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ ඉන්නේ ආණ්ඩුවේ. කරූ ජයසූරිය මහත්තයා පවා දැන් එක්සත් ජාතික පක්ෂයේ සිටියාට එක්සත් ජාතික පක්ෂයේ ඉදලා රජයට ඇවිල්ලා නැවත එක්සත් ජාතික පක්ෂයට ගිය කෙනෙක්. නැවත රජයට එයිද කියලා අපි දන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ උරුමක්කාරයන්ට පුළුවන් නම් රජය ඇවිල්ලා කටයුතු කරන්න  මේ ජනතාව රජටය ඇවිල්ලා වැඩ කරන එක ඒ තරම් දෙයක් නෙවේ.

එදා අසාර්ථක රාජ්‍යයක් කියලා කොංකරලා තිබුණු රට අද පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක පවත්වන තත්වයටත් ගෙනල්ලා. පොඩි අඩුපාඩුවක් වත් නොවන විදිහට ලෝක රාජ්‍ය නායක සමුළු පවත්වනවා. දවසින් සවස මේ විදිහට මේ රට දියුණු වෙනවා. වෙනදා මරබිය, බඩගිනි, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නිදහස වැනි අංශ වල එක එක ප්‍රශ්න තිබුණා. අද තියෙනවා නම් තියෙන්නේ ආර්ථික අමාරුකමේ ප්‍රශ්නය විතරයි. එදා තිබුණු අමාරුකම් අද නැහැ. ආර්ථික අභියෝග ජයගැනීමේ ප්‍රශ්නය තමයි අද තියෙන්නේ. ඒ අභීයෝගයත් අද ජයගනිමින් පවතිනවා”.

මෙම ප්‍රතිසංස්කරණයෙන් පසු මහල් නිවාසවල වැසියන් ලබාගන්නා ප්‍රතිලාභ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා  ” පරණ මහල් නිවාසවල දරුවෙකුට මනමාලියක් හෝ මනමාලයෙක් බලන්න ආවොත් කසාදේ කෙරෙන්නේ නැහැ. මගදි හමුවුනොත් නම් කෙරෙනවා ගෙදරට ගෙනාවොත් නම් ඒක කෙරෙන්නේ නැහැ. දැන් මේ නිවාස වල වටිනාකම වැඩිවෙනවා. දැන් මනමාලයෙක් ගෙදරට ආවොත් යවා ගන්න අමාරු වෙනවා. එය දරුවන්ගේ මානසික සුවයට විශාල සාධනයක්. එ දරුවන් සුභවාදී හැගීමෙන් ඉදිරියට යන දරුවන් බවට පත්වෙනවා. දරුවන් නැගිටිසිටුවන්න අත්වැලක් අද ක්‍රියාත්මක කරන්නේ. මේ ප්‍රතිසංස්කරණය කරපු මහල් නිවාස ඇස්දෙක වගේ රැක බලාගනී කියා අපි විශ්වාස කරනවා. කලමණාකරණ සංස්ථාව සමග එකතුවෙලා ආරක්ෂා කරන්න තමුන්නාන්සේලා කැපවිය යුතුයි. ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා  “ මැදකොළඹ මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම ගැන මැදකොළඹ ජනතාව වෙනුවෙන් විමල් වීරවංශ ඇමතිතමාට ප්‍රණාමය පුදකරනවා. වසර ගනනනකට පසු මේ වගේ ලස්සන පරිසරයකම ජනතාව ගෙන ඒමට විමල් වීරවංශ ඇමතිතුමාට හැකිවුණා. මීට පෙර මේ නිවාස වල දරුවන්ට මංගල යෝජනාවක් වත් සාර්ථක කරගන්න හැකිවුණේ නැහැ. මේ නිවාසවල හා පරිසරයේ තිබුණු අපවිත්‍රභාවය දැක්කහම, ඒ වගේම මේ නිවාස වල ජීවත්වන ජනතාව අපවිත්‍රයි කියලා බොහෝ අය හිතුවා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්වෙලා. අතිගරු ජනාධිපතිතුමා දෙවරක්ම ජයග්‍රහණය කරා ගෙනියන්න කැපවුණු කෙනෙක් විමල් වීරවංශ ඇමතිතුමා. එතුමා විරුද්ධ පක්ෂවල ඡන්ද ලබාගැනීමට පවා කරුණු හරිහැටි ඔවුන්ට  පැහැදිළි කරලා විශාල කැපවීමක් කළා. එ නිසා අතිගරු ජනාධිපතිතුමාත් එතුමාට උපරිම සහයෝගය ලබාදෙනවා. ගියවර මහ මැතිවරණයේදී විමල් වීරවංශ අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ජනතා කැමැත්ත ගත්තු දේශපාන නියෝජිතයා බවට පත්වුණා. සිදුකරගෙන යන ජනතා මෙහෙවර හේතුවෙන් මීලඟ මහා මැතිවරණයේදී ගියවරටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් වීරවංශ අමාත්‍යතුමා ලබාගන්න බව ස්ථීරයි ”යනුවෙන් ද පැවසීය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ”  යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “ ජනසෙවණ   නගමු පුරවර ” වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණ මෙසේ පූර්ණ ප්‍රතිසංස්කරණයන්ට ලක්කෙරිණ. වර්ෂ 1972 දී ඉදිකරනු ලැබූ අලුත්කඩේ  මහල් නිවාස ව්‍යාපෘතිය ගොඩනැගිලි 4 කින් හා නිවාස 95 කින් සමන්විතය. ඊට අමතර ප්‍රජාශාලාවක්ද පිහිටා ඇත. මේ නිවාස ව්‍යාපෘතිය මෙලෙස පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක්වුනේ වසර 41 කට පසුව වීම වීශේෂත්වයකී. මෙම නිවාස ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 177 කි.

ඩයස්පෙදෙස මහල් නිවාස ව්‍යාපෘතිය අරඹා ඇත්තේ වර්ෂ 1980 දීය. ගොඩනැගිලි  3 කින් සමන්විත  එහි නිවාස  38 ක් පිහිටා ඇත. මෙම නිවාස ව්‍යාපෘතිය මෙසේ පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක්වන්නේ වසර 33 කට පසුවය. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 62 කි.

මෙම නිවාස ව්‍යාපෘති මෙසේ ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්  අමාත්‍යාංශයට අයත් සහාධිපත්‍ය කළමණාකරන අධිකාරිය විසිනි.

මහල් නිවාස මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීම යටතේ ඒවායේ තීන්ත ආලේප කිරීම, වහල අලුත් වැඩියාව, වැහිපීලි හා වැසි නල අලුත්වැඩියාව, කපරාදු කොටස්  සිදුකිරීම, මළ නාලිකා අලුත්වැඩියාව, ජල ටැංකි අලුත්වැඩියාව, ජල කාන්දු සැකසීම, මනු වලවල් ඉදිකිරීම,  භූමිය ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රජාශාලාව  හා උද්‍යාන අලංකරණය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු තවත් ප්‍රතිසංස්කරණ රාශියක් මෙහිදී සිදුකර ඇත.

Aluthkade-02