Spread the News

අභයාරාමය සම්බන්ධ නඩුවක්‌
මුරුත්තෙට්‌ටුවේ හිමි ත් උසාවි කැඳවයි

ඒ. ඡේ. ඒ. අබේනායක

දේශපාලන කටයුතු හා වානිජ්‍ය කටයුතු සඳහා නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරය භාවිත කරන්නේ යෑයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවක්‌ සම්බන්ධයෙන් ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්‌වැන්නැයි දන්වා කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ටී. ඩී. ගුණසේකර මහතා අභයාරාමවාසි මුරුත් තෙට්‌ටුවේ ආනන්ද හිමියන් වෙත ඊයේ (01 දා) අතුරු තහනම් දැන්වීම් හා සිතාසි නිකුත් කළේය.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාමය කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරය, ප්‍රමුඛ උභය විහාරයන්හි විහාරාධිපති පත්බේරියේ විමලඥන නාහිමියන් විසින් ගොනුකළ නඩුවක්‌ සලකා බැලූ දිසා විනිසුරුවරයා එම නියෝගය කළේය.

සියම් නිකායේ කෝට්‌ටේ පාර්ශවයේ කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත් අභයාරාමයේ පාලක විහාරාධිපතීත්වය ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරා රීතිය අනුව තමන් වහන්සේට හිමිවූ බවත් එහෙත් එහි වැඩවාසය කරන වගඋත්තරකාර මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් තමන්ගේ අයිතිවාසිකම් අභියෝගයට ලක්‌කරමින් කටයුතු කිරීම නිසා එයට එරෙහිව එම නඩුව පැවැරූ බවත් පෙත්සම්කාර පත්බේරියේ විමලඥන නාහිමිපාණන් විසින් අධිකරණයට පෙන්වාදී තිබුණි.

විහාරස්‌ථ පරිසරයට, හානිකර හා නිග්‍රහ වන ආකාරයෙන් හා පිරිහීමට පත්වන ආකාරයෙන් සිදුකරන සියලු කටයුතුවලට අවසරදීම වළකාලමින් වගඋත්තරකරු වෙත අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කරනා ලෙසත් පෙත්සම්කාර හිමියන් ඉල්ලා තිබුණි.

වගඋත්තරකාර හිමියන්ගේ මෙවැනි වෘත්තීය සමිති කටයුතු හේතුවෙන් 1988 වර්ෂයේදී පමණ එම විහාරස්‌ථානයේදී ආයුධ සන්නද්ධ කල්ලියක්‌ විසින් පුද්ගලයන් ඝාතනය කරනු ලැබූ බවත්, වර්තමානයේ විහාරස්‌ථානයේ පවතින තත්ත්වය අනුව එවැනි සිද්ධියක්‌ නැවත ඇතිවිය හැකි බවත් පෙත්සම්කාර හිමිපාණන් එමගින් පෙන්වාදී තිබුණි.