අවුරුදු හැටඅටක නිදහසේ ගමන් මඟ
මේ එළැඹ ඇත්තේ අප නිදහස ලබා ගතවූ හැටඅට වැනි අවුරුද්දයි. නවසිය පනස්‌වැනි දශකය මැද භාගය වන තුරු රට තුළ යහපත් හා සාමකාමී පරිසරයක් පැවතියේය. නිදහසට පෙර සිට ආරම්භ වූ යෝධ වාරිමාර්ග හා ගොවි ජනපදවල විපුල ප්‍රයෝජන ජනතාවට අත්විඳීමට හැකිවූයේ නිදහසේ උදාවත් සමඟය. එදා සිටි ජන නායකයන් වූ ඩී. ඇස්. සේනානායක ප්‍රමුඛ සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් නායකයන් ජනතා නායකයන් මිස දේශපාලන පක්‌ෂ නියෝජනය කළ අයවලුන් නොවූ බැවින් ඔවුන් ක්‍රියා කළේ මව්බිමේ පොදු සංවර්ධනය හා උන්නතිය අරමුණු කොටගෙනය. රටේ යහපත හා දියුණුව සඳහා සිය ශ්‍රමය මෙන්ම ධනයද ලබාදීමෙනි. අද වැඩ බිම්වල දකින යෝධ යන්ත්‍ර සූත්‍ර එදා නොතිබුණි. රටේ නායකයන් වැඩ කරන ජනතාව සමඟ පැල්පත්වල මදුරු උවදුරට ලක්‌වෙමින් සංවර්ධන කාර්යයන්ට ශ්‍රම දායකත්වය මෙන්ම ජාතියට ආදර්ශ ලබා දුන්නේ එපරිද්දෙනි. එසේ ගොඩනැඟුණු ගොවිබිම් ජනාවාස නගර අතරට පොළොන්නරුව, කලාවැව, මින්නේරිය, ඇලහැර ආදී රජරට මෙන්ම මිනිපේ, දේවහූව ආදී මැදරටද ඉරණමඩු වැනි උතුරේද කන්තලේ අල්ලේ වැනි නැගෙනහිර සංවර්ධනය ඇතුළු තවත් බොහෝ සංවර්ධනය කරන ලද ප්‍රදේශ ඇතුළත් විය. අද අප ආහාරයෙන් ස්‌වයංපෝෂිතව ඇත්තේ එබැවිනි. එදා මේ සියලුම දැවැන්ත ප්‍රතිසංවර්ධන හා සංවර්ධන ව්‍යාපෘති දේශීය ඉංජිනේරුවරුන් හා තාක්‌ෂණ ශිල්පීන්ගේ දේශීය තාක්‌ෂණයෙන් හා ශිල්පීය දැනීමෙන් කිසිදු විදේශීය ණය ආධාර හෝ මූල්‍යමය පරිත්‍යාගයෙන් තොරව සිදුවිය. මේ ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල අද වන විට පරම්පරා පහක් පමණ භුක්‌ති විඳිමින් සිටී. හැත්තෑවේ දශකය වන විට රටේ තරුණ කැරැල්ලක් ආරම්භ වූයෙන් පැවති රජයට වසර දෙකක පමණ කාලයක් එය මැඬපැවැත්වීම සඳහා අවධානය යොමුකොට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. රටේ ඉදිරි ගමනට එයින් අවහිරතාවක් ඇතිවිය. ජනරජ ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූයේද මේ කාලවකවානුවේදීය. හැත්තෑවන දශකය මැද භාගය වන විට රට මුහුණපෑ ආර්ථික හා සමාජ ප්‍රශ්න නිසා රටේ දියුණුවට හා සංවර්ධනයට බාධා ඇතිවිය. ඉන්පසුව පැන නැගි දකුණේ තරුණ
කැරැල්ලට මෙන්ම උතුරේ දියත් වූ රට දෙකඩ කිරීමේ මිනීමරාගෙන මැරෙන බෙදුම්වාදී යුද්ධයටද පැවැති රජයට මුහුණපෑමට සිදුවිය. එවන් අභියෝග හා දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් රටේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වූ අවුරුදු තිහකින් නිම කිරීමට සැලසුම් කර තිබූ මහවැලි ගඟ උතුරට හැරවීමේ යෝධ ක්‍රියාදාමය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නමින් අවුරුදු හයකින් නිම කිරීම රජය ලත් ජයග්‍රහණයකි. ඒ සමඟම ඒ හා බැඳි බහුකාර්ය සංවර්ධන වැඩසටහන් වූ විදුලිබලය නිෂ්පාදනය නව ජනාවාස හා ගම්මාන බිහිකිරීම නව නගර නිර්මාණය කිරීමටද හැකිවිය. සංවෘත වූ ආර්ථික ක්‍රමය විවෘත කර අපනයන ආනයන කටයුතු දියුණු කිරීම, නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීම ආදියෙන් ජාත්‍යන්තරව වෙළෙඳ කටයුතු දියුණු කිරීමටද රටේ ජාතික නිෂ්පාදනයට මෙන්ම දළ දේශීය ආදායම මෙන්ම ඒක පුද්ගල ආදායමද වැඩි කරවා ගැනීමද අප ලත් සමහර ජයග්‍රහණයන්ය. තිස් අවුරුද්දක් ඉක්‌මවා රට තුළ පැවති යුද්ධයෙන් ත්‍රිවිධ හමුදාවත් සමඟ යුද්ධ පිටියේදීම ජය අත්කර දීමෙන් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ නම මතු ඉතිහාසයට එක්‌වන්නේ පෙර අපගේ රජ දරුවන්ගේ නම්වලට සමාන සමාජ ගෞරවයක් හා පිළිගැනීමකට ලක්‌වීමෙනි.
අපි අවුරුදු හැටහතක නිදහසින් පස් අවුරුද්දක් පමණ ඡේ.වී.පී. ත්‍රස්‌තවාදයෙන්ද, අවුරුදු තිස්‌පහක් පමණ බෙදුම්වාදී ඊළාම් යුද්ධය නිසාද රටේ ඉදිරි ගමන් මඟ අවහිර වූ පසුගාමී වූ ජාතියකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අප සමඟම නිදහස ලබාගත් ජපානය, ඉන්දියාව, බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව, චීනය ආදී රටවල් අද අපට ඉදිරියෙන් සිටී. දෙවැනි මහා ලෝක යුද්ධයෙන් සුන්නද්ධූලී වූ ජපානය අද බටහිර රටවලටද ණය ආධාර සපයයි. එම රටවල් නවීන විද්‍යාවෙන් හා තාක්‌ෂණයෙන් අත් කරගෙන ඇති දියුණුව හා සසඳන විට අපට තවමත් අප රටේ නිෂ්පාදිත එළවළු, පලතරු ආදියෙක් අතිරික්‌තය
රැස්‌කර කල් තබාගෙන ප්‍රයෝජනයට ගැනීමට තරම්වත් අවශ්‍ය තාක්‌ෂණ හා විද්‍යාත්මක ක්‍රමවේදයන්හි දියුණුවක් ලබා ගැනීමටවත් අපොහොසත්ය. අප රටේ අතිරික්‌ත එළවළු හා පලතුරු වර්ග ආර්ථික මධ්‍යස්‌ථානවලින් ටොන් ගණනින් ඉවත් කරන අයුරු රූපවාහිනියෙන් නිතර දැකගත හැක.
ගම්බද ආර්ථිකය ඉදිරියට ගියේ නැත
අප රටේ ජනගහනයෙන් සියයට අසූවක්‌ම ජීවත් වන්නේ ගම්වලය. ගම තවමත් වානිජකරණයට හෝ නව තාක්‍ෂණය වැළඳගෙන පෙරට ගොස් නැත. වෙනත් ආසියාතික රටවල නම් ගම තුළ කර්මාන්ත මගින් නිෂ්පාදනය වන නොයෙක් විද්යුත් හා ඉලෙක්‌ට්‍රොනික් භාණ්‌ඩ හා ඒවාට අවශ්‍ය නිමි කොටස් ගම තුළම නිෂ්පාදනය කරන එකලස් කරන මධ්‍යස්‌ථාන එරට ගෘහ කර්මාන්ත වශයෙන් පවත්වාගෙන යයි. තායිවානය, ජපානය, මැලේසියාව, තායිsලන්තය, සිංගප්පූරුව වැනි රටවල් එයට උදාහරණය. මෘදුකාංග නිෂ්පාදනය ඉන්දියාවේ ගෘහ කර්මාන්තයක් වශයෙන් දියුණු වී ඇමරිකා ආදී බටහිර වෙළෙඳපොළටද සපයයි. අපේ ගම්වල තිබූ අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය යුගයට ගැළපෙන අන්දමට දියුණුවී නැත. ගමේ නිෂ්පාදනයන් වන සුළු අපනයන භෝග කරාබු, එනසාල්, ගම්මිරිස්, කුරුඳු, කෝපි, කොකෝවා වැනි නිෂ්පාදනයන්ට වැඩි අගයක් ලබාදී ඒවා නිමි පාරිභෝගික භාණ්‌ඩ වශයෙන් අපනයනය කිරීමේ කර්මාන්තශාලා ගම තුළ ඉදිවී නැත. ඌවේ දෙහි, දොඩම් අතිරික්‌ත රජරට පලතුරු වර්ග ආශ්‍රිත අපනයන කර්මාන්ත ශාලා තබා ඒවා රට තුළම
රැස්‌කර තබා ගැනීමේ ශීත ගබඩා ජාලයක් හෝ අපට නැත. තඹ, පිත්තල. වැනි ලෝහවලින් නිෂ්පාදිත ගෘහ අලංකරණ භාණ්‌ඩ කර්මාන්තයද එදා පැවති ගතානුගතික තත්ත්වයේමය. ඉරානය මෙවැනි අලංකරණ භාණ්‌ඩ හා මෙවලම් ලෝක වෙළෙඳපොළට යවයි. අපි කර ඇත්තේ පුරාඡේරු දේශපාලන කතාවලින් ජනතාව රවටා තබා ගැනීමයි. බලය ප්‍රයෝජනයට ගනිමින් හත්මුතු පරම්පරාවටම ඇති පමණ ධනය රැස්‌කර ගැනීමය.
නව ව්‍යවස්‌ථාවක්
මෙම අවුරුදු හැටහතටම අප සෝල්බරි ව්‍යවස්‌ථාව, සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ව්‍යවස්‌ථාව, විධායක ජනාධිපති ව්‍යවස්‌ථාව ආදී විවිධ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවන් අත්හදා බලා ඇත්තෙමු. සෝල්බරි ව්‍යවස්‌ථාව වෙස්‌ට් මිනිස්‌ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අප පිට පැටවූවකි. සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක් මෙන් ක්‍රියා කොට සම්මත කරගත් ව්‍යවස්‌ථාවකි. අද නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව සියලුම දේශපාලන පක්‍ෂ මෙන්ම රටේ පොදු ජනතාවද අවධාරණය කරන අවස්‌ථාවකට අප පැමිණ ඇත. එම අවශ්‍යතාව ජනතා සිතුම් පැතුම් පරිදි සපුරාලීමට අවශ්‍ය පහසුකම් හා අවස්‌ථාව සැපයීම පාලකයන් සතු වගකීමකි. මෙතෙක් අප පාලනය වූ ව්‍යවස්‌ථා සියල්ලෙන්ම සිදු වූයේ පාලකයන්ගේ සිතුම් පැතුම් ඉටුකර ගැනීම මිස ජනතා අපේක්‍ෂාවන් හා අභිලාෂයන් ඉටුකර ගැනීම නොවේ. මෙතෙක් සිදුවූයේ පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් ලවා ව්‍යවස්‌ථාවක් සම්මත කර එය අනුව ජනතාව පාලනය කිරීමය.
පාර්ලිමේන්තු නියෝජනයක් නැති විවිධ ක්‌ෂේත්‍රවල රටේ උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන්, විද්‍යාඥයන්, ඉංජිනේරු වෛද්‍ය ආදී විශේෂඥයන් මෙන්ම ආගමික නායකයන් ආදීන් මෙම ක්‍රියාදාමයට දායකත්වයක් ලබා දුන්නේ නැත. එබැවින් රටේ විවිධ ක්‌ෂේත්‍රවල මෙන්ම විවිධ ප්‍රදේශ තුළ විසිරී පවතින ඥන හා දැනීම් සම්භාරය නව ව්‍යවස්‌ථාව සම්පාදනයේදී ලබාගත යුතුය. ඒ නිසා මෙම අදහස් හා යෝජනා ලබා ගැනීම ප්‍රාදේශීය මට්‌ටමින් දිස්‌ත්‍රික් මට්‌ටමින් මෙන්ම පළාත් මට්‌ටමින්ද සිදු කිරීම අවශ්‍ය වේ. අප මේ දක්‌වා පාලනය වී ඇත්තේ ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් අනුව ජනතාව වෙනුවෙන් ජනතාව සඳහා වූ ජනතාවගේ ව්‍යවස්‌ථාවකින් නොවේ. සුදු අධිරාජ්‍යවාදීන් අප පිට පැටවූ මොඩලයකට එහෙන් මෙහෙන් පැලැස්‌තර දමාය.