Spread the News

දේශපාලන රැස්‌වීම් එපාකියා අභයාරාමයට දාපු නඩුව මොකක්‌ද?

* ආණ්‌ඩු දනගැස්‌සුවේ අභයාරමයේ සටන් වලින්

ඡේ. ආර්.ගේ ආණ්‌ඩුව දන ගස්‌සවන ලද තිදෙනා ලෙස ධර්මන් වික්‍රමරත්න විසින් වරක්‌ හඳුන්වා දී තිබුණේ, මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හාමුදුරුවෝ, විෙ-වීර සහ තොන්ඩමන්ය. දේශපාලනඥයෙකු නොවූ  ආනන්ද හාමුදුරුවෝගේ සටන්කාමී ගුණය ඒ තුළින් පමණක්‌ම කියා පෑ හැකිය. වෘත්තිය සමිති ව්‍යාපාරය ඔස්‌සේ සිය සටන්කාමීබව ප්‍රකට කළ ආනන්ද හිමියෝ, මේ දිනවල කතාබහට ලක්‌ව ඇත්තේ, ජනවාරි අට වෙනිදා මහින්ද රාජපක්‌ෂ මහතා පරාජය වීමෙන් පසු ඔහුගේ ඉදිරි දේශපාලනයේ පදනම වීම හේතු කොට ගෙනය. දේශපාලන පිටියෙන් අතු ගා දමන්නට සියල්ල සූදානම් කළ මහින්ද රාජපක්‌ෂ බලවේගයට ඉඩක්‌ වෙන්වූයේ, අභයාරාමය තුළය. මේ නිසා බලයට පැමිණි ආණ්‌ඩුව  අභයාරාමය සමග උරණ වූයේය.

පසුගිය සතියේදී දැන ගන්නට ලැබුණේ, අභයාරාමය තුළ දේශපාලනය කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණය ඉදිරියේ නඩුවක්‌ පවරා තිබෙන බවය. අභයාරාමයේ විහාරාධිපති හිමියන් බව පවසමින්, පත්බේරියේ විමලඥාන හිමියෝ මේ නඩුව ගොනු කර තිබුණි. එහිදී ප්‍රමුඛතාවයක්‌ ලබා දී තිබුණේ, අභයාරාමය තුළ සිදුවන දේශපාලනික ක්‍රියා කලාපයන් නතර කර දෙන ලෙසය. සිය පෙත්සමෙන් පත්බේරියේ විමලඥාන හිමියෝ කියා සිටින්නේ,


විහාරස්‌ථ භූමියට මෝටර් රථ ඇතුළු කිරීම,

විහාර භූමියේ පාවහන් පැළඳ සිටීම,

ශබ්ද නැගීම සහ ඝෝෂාකාරී ලෙස පිරිස්‌ හැසිරීම

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම

පූජනීය බෞද්ධ විහාරස්‌ථානයකට උචිත නොවන ආකාරයේ ඝෝෂා පවත්වමින් සාකච්ඡා පැවැත්වීම.

විහාරස්‌ථ භූමියෙහි අශ්ශීල වචනයෙන් කථා කිරීම.

විහාරස්‌ථ භූමියකට නොගැලපෙන ඇඳුම් පැළඳුම් වලින් සැරසීම.
පැමිණෙන දේශපාලනඥයන් විෂයගත විහාරස්‌ථානය තුළ බෞද්ධ විහාරස්‌ථානයක්‌ යෑයි යන හැඟීමෙන් නොව ඔවුන්ගේ දේශපාලනික වේදිකාවක්‌ය යන හැඟීමෙන් හැසිරෙන බවත්,

එකී දේශපාලන සහ වෘත්තීමය ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රචාරය ලබාදීම සඳහා මාධ්‍යවේදීන් විශාල කණ්‌ඩායම් වශයෙන් පැමිණෙන බවත්, ඔවුන් තම වෘත්තිමය අරමුණ සඳහා පමණක්‌ අවධානය යොමු කරන බැවින් බෞද්ධ විහාරස්‌ථානයක හැසිරිය යුතු සංවර හා විනීත ආකාරයෙන් නොහැසිරෙන බවත්,

ඒ අනුව සෑම දෙනාම මාධ්‍ය මගින් ලැබෙන්නා වූ ප්‍රචාරය පිළිබඳ අපේක්‌ෂාවෙන් ක්‍රියාකිරීම හේතුවෙන් විහාරස්‌ථානයේ සංවරව හා විනීතව හැසිරීම සිදු නොවන බවත්පෙත්සම්කාර ස්‌වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටී.

12. තවද,

(අ) පසුගිය කාලය පුරා ඉහත කී ආකාරයෙන් විහාරස්‌ථානය තුළ දේශපාලනික ක්‍රියාකාරකම් වර්ධනය වූ බවත්,

(ආ) ඒ හරහා විවිධ සංගම් සමිති බිහි වූ බවත්,

(ඇ) ඔවුන් සිය අරමුණු සඳහා ක්‍රියාත්මක වීමේ සහ සංවිධානය කිරීමේ මධ්‍යස්‌ථානය ලෙස විෂයගත විහාරස්‌ථානය යොදාගත් බවත්,

(ඈ) එකී ඇතැම් ක්‍රියාකාරකම් නිති විරෝධී ක්‍රියාකාරකම් බවත්,

(ඉ) ඒ සියල්ල වගඋත්තරකාර ස්‌වාමීන් වහන්සේගේ අනුදැනුම සහ අවසරය මත සිදු වූ බවත් පෙත්සම්කාර ස්‌වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටී.

13. තවද,

(අ) වගඋත්තරකාර ස්‌වාමීන් වහන්සේගේ ඉහත ක්‍රියාකලාපය හේතුවෙන් ඉහත කී ආකාරයේ දේශපාලනික වටපිටාවක්‌ විහාරස්‌ථානය වටා ගොඩනැගීම හේතුවෙන් එකී විහාරස්‌ථානය දේශපාලනික මධ්‍යස්‌ථානයක්‌ ලෙස සමාජය තුළ ජනමතයක්‌ ගොඩනැගුණු බවත්,

(ආ) ඒ හරහා විෂයගත විහාරස්‌ථානයට බෞද්ධ විහාරස්‌ථානයක්‌ ලෙස පැවති ගෞරවය සමාජයෙන් බැහැර වූ බවත්,

(ඇ) ඇතැම් දේශපාලන ක්‍රියාකාරකම් හැඳින්වීමේ සළකුණක්‌ සහ/හෝ සංඥවක්‌ සහ/හෝ යෙදුමක්‌ වශයෙන් විෂයගත විහාරස්‌ථානය සහ එහි නාමය සමාජය තුළ භාවිත වූ බවත්,

(ඈ) විශේෂයෙන්ම පුවත් පත්කරුවන් විසින් විෂයගත විහාරස්‌ථානය පාදක කර ගනිමින් කාටුන් නිර්මාණය කරන තත්ත්වයක්‌ උද්ගත වූ බවත් පෙත්සම්කරු ප්‍රකාශ කර සිටී.

14. ඉහත විස්‌තර කර ඇති පරිදි සිදු වන සමාජ ක්‍රියාකාරකම් විෂයගත විහාරස්‌ථානය තුළ සිදුවීම හේතුවෙන් බෞද්ධ විහාරයක්‌ සතුව පවතින ගරුත්වයට හා කීර්ති නාමයට දැඩි බලපෑමක්‌ එල්ල වී ඇති බවත්, ඉන් බෞද්ධ ධර්මයටත් විහාරස්‌ථානයටත් මුළු මහත් සංඝ සමාජයටත් බෞද්ධ ජනතාවටත් බලවත් හා අප්‍රතිකාරි හානියක්‌ සහ කැළලක්‌ සිදු වන බවත් පෙත්සම්කරු ප්‍රකාශ කර සිටී.

15. මේ තත්ත්වය හේතුවෙන් විෂයගත විහාරස්‌ථානය පිළිබඳව පැවති තොරතුරු විකෘති වී එකී විහාරස්‌ථානය,

(අ) දේශපාලන ක්‍රියාකාරීන්ගේ ස්‌ථානයක්‌

(ආ) දේශපාලනික රැස්‌වීම් මධ්‍යස්‌ථානයක්‌

(ඇ) මාධ්‍ය නිවේදන සහ මාධ්‍ය සාකච්ඡා පවත්වනු ලබන ස්‌ථානයක්‌

(ඈ) පුද්ගලයින් හට ආවේගීව සහ අසංවරව හැසිරිය හැකි ස්‌ථානයක්‌ය යන අදහස සමාජය තුළට ඇතුළු වී ඇතැයි පෙත්සම්කාර ස්‌වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටී” යන බවය.

මේ පෙත්සමත් සමග රට පුරා පැතිරී ගිය ආරංචිය වූයේ, තවත් යහපාලන දඩබිමක්‌ බවට අභයාරාමය ද පත්වෙමින් තිබෙන බවය. පත්බේරියේ විමලඥාන හිමියන්ගේ පෙත්සම පිටුපස ආණ්‌ඩුවේ පිරිස්‌ සිටිනා බවට කතා පැතිරී ගියත්, උන්වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ, එවැනි කිසිම සහයෝගයක්‌ හෝ යෝජනාවක්‌ ආණ්‌ඩු පක්‌ෂයෙන් තමන් වහන්සේට නොලැබුණ බවය. නමුත් විපක්‌ෂයේ එක්‌ දේශපාලනඥයෙක්‌ ආනන්ද හිමියන්ට එරෙහිව මෙවැනි පියවරකට නොයන ලෙස තමන් වහන්සේ හමු වී ඉල්ලීමක්‌ කළ බව විමලඥාන හිමියෝ ප්‍රකාශ කළහ.

අභයාරාමය තුළ ශාසනික සේවාවන් ඉටුනොවෙන බව පවසමින් එය දේශපාලන භූමියක්‌ බවට පත් නොකරන ලෙස පෙත්සමක්‌ ඉදිරිපත් වී තිබුණත් මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කර සිටින්නේ, තමන් වහන්සේ මෙම විහාරස්‌ථානයට එන විට තිබුණ ඒ චෛත්‍යයක්‌ පමණක්‌ තිබූ ඉඩමක්‌ බවය. ඒ හැර සියලු ඉදිකිරීම් සිදුකර ඇත්තේ ආනන්ද හිමියන්ගේ අවවාද අනුශාසනා මතය. දහම් පාසල, වසර ගණනක්‌ පුරා නොකඩවා කෙරීගෙන යන, බෝධි පුජාව, ඇතුළු ශාසනික කටයුතු රාශියක්‌ අභයාරාමය තුළ තවමත් සිදුවෙමින් පවතින බව ආනන්ද හිමියෝ පෙන්වා දෙති.

අභයාරාමයෙන් දේශපාලනය ඉවත් කළ හැක්‌කක්‌ නොවේ. එය නිකම්ම පන්සලක්‌ නොවී රටේ ප්‍රසිද්ධ පන්සලක්‌ වන්නේ, එම ගතිකය නිසාය. ෙ-. ආර්. ගේ ආණ්‌ඩු කාලයේ සිට මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ සිය ශාසනික සේවයට අමතරව දේශපාලන අරගලය සිදු කරගෙන ගියෝය. අතීතයේ සිට සිංහල භික්‌ෂුව හැසිරුණු ආකාරය අනුව උන් වහන්සේ පියවර මැන්නා මිස එහි අලුත් යමක්‌ නොවීය.

1986 මාර්තු 18 සහ 19 යන දෙදින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට හෙද සංගමය ගත් තීරණය ෙ-.ආර්.ගේ ආණ්‌ඩුව සසල කළේය. රජය මාර්තු 19 වැනිදා නිවේදනයක්‌ එක්‌ කරමින් හෙදියන්ට සේවය අතහැර යන ලෙස නිවේදනයක්‌ නිකුත් කළේය. ඡේ. ආර්. ආණ්‌ඩුව දණ ගැස්‌සවීමේ පළමු වෙඩි මුරය බවට පත් වූයේ මේ වැඩ වර්ජනයය. ඇද වැටී තිබූ ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරයට එමගින් නව ජීවයක්‌ ලැබිණි. රාජ්‍ය සේවා එක්‌සත් හෙදි සංගමය තහනම් සංවිධානයක්‌ ලෙසින් ගැසට්‌ නිවේදනය කළ එජාප ආණ්‌ඩුව 1986 අප්‍රේල් 2 වැනිදා අභයාරාමයේ පිහිටි එම සංගමයේ මූලස්‌ථානයට ද සීල් තැබීය. බැංකු ගිණුම් තහනම් කළේය. හෙද හෙදියන් ලැගුම්ගත් හෙද නේවාසිකාගාරවල විදුලි බලය විසන්ධි කෙරිණි. ජලය කපා හැරිණි. අනතුරුව එක රැයින් කොළඹ සහ පිට පළාත් ප්‍රධාන රෝහල්වල හෙදියන් දහස්‌ ගණනක්‌ පොලිසි යොදා නේවාසිකාගාරවලින් එළියට ඇද දමන ලදී. රටපුරා ජනතාව හෙදි සටනට සහාය දුන් අතර තහනම් කළ හෙදි සංගමය වෙනුවට සුජාතා කුලඟන සංසදය පිහිටවූ ආනන්ද හිමියෝ සටනට උපාය උපක්‍රම අනුගමනය කරමින් මුහුණ දුන්හ. 1986 මාර්තු 18 වැනිදා ආරම්භ වූ වර්ජනය අප්‍රේල් 17 වැනිදා ජයග්‍රාහීව අවසන් විය. එය සාමාන්‍ය වෘත්තීය සමිති සටනක්‌ නොවූ අතර එජාප ආණ්‌ඩුව පළමු වරට දණ ගැස්‌සූ තැන විය.

1987 මැයි දිනය, එජාප ආණ්‌ඩුව විසින් තහනම් කිරීමට එරෙහිව සටනට ඇරඹුණේ අභයාරාමයෙන් ය. තහනම කඩ කරමින් දහස්‌ ගණනකගේ සහභාගිත්වයෙන් මැයි දිනය, අභයාරාමයේ පැවැත්වීමට ආනන්ද හිමියෝ සමත් වූහ. අභයාරාමය ඇතුළට පැමිණ පොලිසිය කළ වෙඩි තැබීමෙන් ලෙස්‌ලි ආනන්ද කිරිබත්ගොඩ සහ කිත්සිරි මෙවන් රණවක ඝාතනයට පත්වූහ.

ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේද සහභාගිත්වයෙන් එජාප ආණ්‌ඩුව අත්සන් කිරීමට එරෙහිව 1987 ජුලි 28 වැනිදා කොටුව බෝගහ අසළ 20,000 කට ආසන්න ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැති විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන්නේද මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හාමුදුරුවෝය.

එදා ෙ-.ආර්.ගේ ආණ්‌ඩුව දණ ගැස්‌සවූ අභයාරාමය පසු කාලයකදී චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවට ද එරෙහිව සටන් කළේය. පැකේජය නමින් නව ව්‍යවස්‌ථාවක්‌ චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව ගෙන එන විට එයට එරෙහිව සටන, මේ නායකත්වය ලබා දුන්නේ, මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හාමුදුරුවෝය. 2000 අගෝස්‌තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පැකේජයට ඇඩ්‍රස්‌ නැති වූයේ අභයාරාම සටනේ ප්‍රතිපලයක්‌ ලෙසය.

මහින්ද පරාජය වී යහපාලන ආණ්‌ඩුව කරලියට ඈවිත් වසරක්‌ ගත වනවිට විපක්‌ෂය සිටින්යේ පැත්තකට වී, කාලයට ඉඩදීගෙනය. නමුත් යහපාලනය බලයට පැමිණ පසුදා සිට ආනන්ද හාමුදුරුවෝ සටනට පිවිසුණහ. විපක්‌ෂයේ හඬ අභයාරාමය වටා ගොනු කරගන්නට ආනන්ද හිමියෝ වරුවකට වඩා ගත නොකළහ.

මුරුත්තෙට්‌ටුවේ ආනන්ද නාහිමියන්ගේ “නොනවතින අරගලයක සැබෑ කතාව” නම් ග්‍රන්ථය එළිදැක්‌වීමේ උළෙලේදී සෝභිත හාමුදුරුවන්, ආනන්ද හාමුදුරුවෝ ගැන දේශනා කළේ මෙසේය. “මේ රටට අප කළේ මොනවද කියා මටත් ආනන්ද හාමුදුරුවන්ටත් කීමට දේ තියෙනවා. උන්වහන්සේ අරගලය තවම කරනවා. අපවත්වන තුරුම කරනවා. හාමුදුරුවෝ හෙදියන්ගේ වැඩ කරන්නේ මොකටද? හාමුදුරුවරු රට හදන්න ඕනෑද? පන්සලට වෙලා දානයක්‌ වළඳලා නිකම් ඉන්නෙ නැතුව රට හදන්න යන්නෙ මොකටද? කියලා සමහරු කියනවා. මේ මානසිකත්වය අපට ලබාදුන්නෙ සුද්ද. ඒක නැති කරන්නයි එදා ධර්මපාලතුමා පාරට බැස්‌සේ…. මුරුත්තෙට්‌ටුවේ ආනන්ද නාමියෝ ගොරව ගොරවා වහින වැස්‌සක්‌ වගෙයි…”

සෝභිත හාමුදුරුවෝ එහෙම කිව්වේ, ආනන්ද හාමුදුරුවෝ හඬ පමණක්‌ නොව වැඩ ද තිබෙන කෙනෙක්‌ බව ප්‍රකාශ කිරීමටය.

එහෙම කිව්වත් දැන් ඒ සියල්ලේ අනාගතය තීරණය කෙරෙනුයේ, අධිකරණය ඉදිරියේය.

මනෝඡ් අබයදීර