දෙහිවල දුම්රියපොළේ බෝම්බ පිපිරවූ කොටින්ට අනුබල දුන් දෙදෙනා වසර 2 ක්‌ සිරගෙට

Spread the News

දෙහිවල දුම්රියපොළේ බෝම්බ පිපිරවූ
කොටින්ට අනුබල දුන් දෙදෙනා වසර 2 ක්‌ සිරගෙට

ඒ. ඡේ. ඒ. අබේනායක

දෙහිවල දුම්රිය ස්‌ථානයේ නවතා තිබූ දුම්රියක බෝම්බ අටවා පුපුරුවා හැර මගීන් 64 දෙනකු ඝාතනය කිරීමට හා තවත් 275 දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ට ආධාර අනුබලදීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනකුට කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස්‌ අයිරාංගනී පෙරේරා මහත්මිය ඊයේ (14 දා) වසර 2 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළාය.

විත්තිකරුවන්ට එරෙහිව ඇත්තේ එම වරදට ආධාර අනුබල දීම යන චෝදනා යන කරුණු මෙන්ම ඔවුන් දෙදෙනාම මේ වනවිටත් වසර 20 කට ආසන්න කාලයක්‌ රක්‌ෂිත බන්ධනාගාර භාරයේ පසුවීම යන කරුණු සලකා බැලූ විනිසුරුවරිය එම දඬුවම් නියම කළාය. එමෙන්ම ඔවුන් බන්ධනාගාර දඬුවම් කාලයෙන් අනතුරුව වසර 1 බැගින් වව්නියාව පුනරුත්ථාපන කඳවුරේ රඳවා පුනරුත්ථාපනය කිරීමටද කොමසාරිස්‌වරිය එහිදී නියෝග කළාය.

1996 ජුලි මස 27 වැනිදා සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් ත්‍රස්‌ත විමර්ශන ඒකකය මගින් පැවැත්වූ විමර්ශන අනුව එම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු පස්‌දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 1708 ක්‌ යටතේ නඩු පවරා තිබුණි. අඹුසැමි යුවළක්‌ ඇතුළු විත්තිකරුවන් තිදෙනකු එම නඩුවේ චෝදනා කිහිපයකට 2013 වසරේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය (පූර්වගාමි) ඔවුන් තිදෙනාට වසර 25 බැගින් වූ සිරදඬුවම් නියම කොට තිබුණි.

සෙල්වරාසා ශ්‍රීධරන් හා සින්නප්පු සෙල්වරාජා නමැති විත්තිකරුවන්ට එලෙස දඬුවම් නියම කෙරිණි.