Spread the News

විජේවීර සහෝදරයා ජීවිතය පුජාකළේ ඒකීයභාවයේ ධජය වෙනුවෙන්
– විමල් කියයි

පළාත් සභා ක්‍රමයට සහ ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයක නිරත ව සිටිය ජනතා විමුක්‌ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනයට ලක්‌වී මෙම මස 13 වැනිදාට වසර 27 ක්‌ සම්පූර්ණ වේ. මේ මොහොත වන විට ද සමහර කරුණා කාරණා අතින් රට තුළ පවතින්නේ විජේවීර මහතා ඝාතනයට ලක්‌වූ පරිසරයට සමාන තත්ත්වයකි. එම තත්ත්වය තුළ අද රෝහණ විජේවීර මහතා ජීවතුන් අතර සිටියා නම් කුමක්‌ කරනු ඇත්ද යන්න පිළිබඳ අප විමසා සිටියේ එදා ඔහුගේ සටන් සගයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙනි. ඒ පිළිබඳව ඒ මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – ඉල්මහ විරුවන් ලෙස විරුදාවලියට ලක්‌ වී තිබෙන රෝහණ විජේවීර මහතා ඇතුළු පිරිස සිය ජීවිතය පරිත්‍යාග කළේ කුමන අරමුණක්‌ ඇතිවද යන කාරණය යළි සිහි කරනවා නම්,

පිළිතුර – ජනතා විමුක්‌ති පෙරමුණ 1983 දී තහනම් කිරීමට ප්‍රධානතම හේතුව වූයේ, එය ඊනියා මාක්‌ස්‌වාදී විෂයයක්‌ වෙනුවට ජාතිකවාදී පදනමින් මාක්‌ස්‌ ලෙනින්වාදී දැක්‌මක්‌ මත ක්‍රියාත්මක වූ දේශපාලන පක්‍ෂයක්‌ නිසා. 1987 ඉන්දු – ලංකා ගිවිසුමට පෙර සහ පසු රෝහණ විජේවීරයන් නායකත්වය දීපු ජනතා විමුක්‌ති පෙරමුණේ මතය දරපු සිය දහස්‌ ගණනක්‌ දේශප්‍රේමීන් සහ විප්ලවවාදීන් ඒ ආණ්‌ඩුව විසින් මරා දැමුවේ, ඒ ගෙන යන ලද අරගලයට ප්‍රති උත්තරයක්‌ ලෙස. එදා 87 -89 වකවානුවේදී ගෙන ගියේ රාජ්‍යයේ ඒකීය භාවය රැක ගැනීමේ සටනක්‌. බෙදුම්වාදීන්ට දොළපිදේනි දීමේ සටනක්‌. ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් මෙරට මුදා ගැනීමේ සටනක්‌. ඒ නිසා තමයි ඉන්දියානු හමුදාවට පවා බෝම්බ ගහන මට්‌ටමකට ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ සන්නද්ධ සාමාජිකයන් කටයුතු කළේ. එපමණක්‌ නොවෙයි විජේවීරයන් 83 දී පක්‍ෂය තහනම් කිරීමෙන් අනතුරුව ඇතිවූ තත්ත්වය තුළ සිටිමින් එළිදක්‌වපු “ඊළාම් අරගලයට විසඳුම කුමක්‌ද?” යන කෘතියේ ඔහු ඉතා මැනවින් විග්‍රහ කර තිබෙනව බෙදුම්වාදයට, පෙඩරල් වාදයට අනුබල දෙන්නා කිසි ලෙසකින්වත් සැබෑ මාක්‌ස්‌ ලෙනින්වාදියකු නොවන බව. විජේවීර සහෝදරයාට මේ රට පිළිබඳව, අධිරාජ්‍යවාදය පිළිබඳ මනා අවබෝධයක්‌ තිබුණා. එම නිසා බෙදුම්වාදය සහ අධිරාජ්‍යවාදය අතර තිබෙන උපාය මාර්ගික සමපාත වීම දැක තිබුණා. එය වැළැක්‌වීමේ සටනක්‌ තමයි එදා දියත්a වූයේ.

එම සටන තුළදී මේ රටේ ඒකීය භාවය ආරක්‍ෂා කළ යුතු බවත්, දෙමළ බෙදුම්වාදය පරාජය කළ යුතු බවත්, ඒ වගේම ඉන්දියානු ආක්‍රමණකාරී ව්‍යාප්තවාදී බලපෑමෙන් රට නිදහස්‌ කර ගත යුතු බව විශ්වාස කළ සහ සමාජ සාධාරණත්වය ගෙන ආ යුතු බව විශ්වාස කළ මිනිසුන් ජීවිත පූජා කළා.

අද අවුරුදු 27 කට පස්‌සේ ජනතා විමුක්‌ති පෙරමුණේ නිර්මාතෘවරයා ඉහළින් ම එසවූ ඒකීය භාවයේ ධජය අතහැරපු කට්‌ටියක්‌, රුධිරය පූජා කරල රකින්න උත්සාහ කළ ඒකීය භාවයේ ධජය අතහැරපු කට්‌ටියක්‌, දෙමළ බෙදුම්වාදයට එරෙහි අධිරාජ්‍යවාදයේ අත්‍යවශ්‍යම උපාංගයක්‌ ලෙස ක්‍රියාත්මක දෙමළ බෙදුම්වාදයට එරෙහි මතවාදී මෙහෙයුම අත්හල පක්‍ෂයක්‌, ඉන්දියානු සමාජවාදී බලපෑම ගැන මුනිවත රකින දේශපාලන කල්ලියක්‌ විජේවීර සහෝදරයා සහ ඉල්මහ විරුවන් සමරනවා කියන්නේ, ඔවුන් නැවත පාවාදීමක්‌ මිස වෙන කිසිවක්‌ නොවෙයි.

ප්‍රශ්නය – මේ මොහොත වනවිටත්, රෝහණ විජේවීර මහතා ඝාතනයට ලක්‌වන අවස්‌ථාවේදී පැවැති දේශපාලන පරිසරයට බොහෝදුරට සමාන දේශපාලන පරිසරයක්‌ පවතිනවා. එම තත්ත්වය තුළ මේ මොහොත වනවිට රෝහණ විජේවීර මහතා ජීවතුන් අතර සිටියා නම් කුමන පියවරක්‌ ගනීවිද?

පිළිතුර – එතුමා මේ මොහොතේ ජීවත්ව සිටියා නම්, අධිරාජ්‍ය ගැති දෙමළ බෙදුම්වාදයට ගැති එජාප කොන්ත්‍රාත්කරුවන් ටික පක්‍ෂයෙන් එළවල, පක්‍ෂය නිසි මගට ගනීවි. එසේ නොමැති නම් සෝමවංශ අමරසිංහ සහෝදරයාට වගේ හදිසි හෘදයාබාධයක්‌ ඇති වෙලා මියයයි. ඔය දෙකින් එකකට විජේවීර සහෝදරයාට මුහුණදීමට සිද්ධ වෙනවා.

ප්‍රශ්නය – ජනතා විමුක්‌ති පෙරමුණ ඉතා ඉහළින් සිය පක්‍ෂයේ නිර්මාතෘවරයා සැමරීමට කටයුතු යොදා තිබෙනවා.

එම සැමරුම ඔබට පෙනෙන්නේ කොහොමද?

පිළිතුර – ජනතා විමුක්‌ති පෙරමුණට ආණ්‌ඩු විරෝධී ස්‌වරූපයක්‌ ආරූඪ කර ගැනීමට සිද්ධ වෙනවා. එසේ නොමැතිව එම පක්‍ෂයට දැනට පවතින තත්ත්වයවත් ආරක්‍ෂා වන්නේ නැහැ. එම නිසා ඔවුන් හොරාගත් ක්‍ෂේත්‍රවල ආණ්‌ඩු විරෝධී ජවනිකා රඟ දක්‌වනවා.

රෝහණ විජේවීර සහෝදරයා ජීවතුන් අතර සිටි කාලයේදීත් ඉන්පසු කාලයේදීත් ජනතා විමුක්‌ති පෙරමුණ ජනාධිපතිවරණයක්‌ මග හැරියේ නැහැ. අන්තිම අසීරු අවස්‌ථාවලදීත් එම මැතිවරණයට තරග කරල තිබෙනවා. 1994 දී ප්‍රසිද්ධ දේශපාලන ප්‍රවාහයට එක්‌වූ පසු එළැඹි ජනාධිපතිවරණයට එම පක්‍ෂය තරග කළා. ඊට පෙර නිහාල් ගලප්පත්ති සහෝදරයා ඉදිරිපත් කළා. නමුත් ඒවා ඉතා අසීරු අවස්‌ථා.

එහෙත් ඉතිහාසයේ පළමුවන අවස්‌ථාවට 2015 ජනාධිපතිවරණයට ජ.වි. පෙරමුණ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළේ නෑ. එපමණක්‌ නොවෙයි එම මැතිවරණයේදී එම ජනාධිපතිවරණයට තරග කළ ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් එක්‌ අයකු පරාජය කරවන ලෙස ඉල්ලා සිටියා. එයින් අනියමින් ඉල්ලා සිටියේ අනිත් පුද්ගලයා දිනවන්න කියන එක. එතකොට මේ ජවි පෙරමුණ ගෙනා පාලකයන් තමයි. අද ජවිපෙරමුණට අත සෝදාගෙන එයින් ඉවත් වන්න බෑ. එම පාලනයෙන් අද එට්‌කා දෙන්න යනවා. රණවිරුවන්ට පන්නා පන්නා ගහනවා. මේ රටේ ආර්ථිකය බංකොළොත් කරනවා. මහබැංකුව සුද්ද කරනවා. පෙඩරල් පාලනයක්‌ ගේන්න හදනවා. යුද අපරාධ අධිකරණයක්‌ පිsහිටුවන්න හදනවා. රාජ්‍ය ආයතන විකුණන් කන්න හදනවා. එම පාලනය හම්බන්තොට වරාය චීනයට දීල ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දෙන්න හදනවා. ඒවගේම ඒ පාලනය මේ රටේ අනාගත මාවත විනාශකාරී මාවතකට ඇද දමමින් සිටිනවා. ඒ සියල්ලටම ඉඩ සලසපු ජවි පෙරමුණ කොහොමද වර්තමානයේදී දුරදක්‌නා දේශපාලන ව්‍යාපාරයක්‌ වන්නේ. නමුත් එදා එහෙම නෑ. එදා දුර දක්‌නා නුවණක්‌ තිබුණා, ජාතිකවාදී මතයක්‌ තිබුණා. අධිරාජ්‍ය විරෝධී විප්ලවවාදී දේශපාලනයක්‌ තිබුණා. අද ඒ සියලු ඇඳුම් උනාදාල සිරිකොතේ කොළපාට යට කලිසම ඇඳගත් කල්ලියක්‌ විජේවීර සහෝදරයා සමරනවා කියන්නේ ඔහුට කරන ලොකුම අපකීර්තිය සහ අවමානයයි.

ප්‍රශ්නය – නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ උප කමිටු හයෙන් එකක්‌ වන මාධ්‍ය පරිධිය සබඳතා පිළිබඳ කමිටුව ඉදිරියේ කළ යෝජනාවෙන් ඉඩම්, පොලිස්‌, මූල්‍ය බලතල පළාත් සභාවට ලබාදීමටත්, පළාත් සභා විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීමටත් යෝජනා කර තිබෙනවා.

එම කමිටුව නියෝජනය කළ ජවි පෙරමුණේ නියෝජිතයා එම යෝජනාවලට එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – ඉතාම සූක්‍ෂමව දෙමළ බෙදුම්වාදයටත්, ඩයස්‌පෝරා එකටත්, ඒ වගේම බටහිර අධිරාජ්‍යවාදී රටවලටත් මේ රටේ ව්‍යවස්‌ථාවෙන් ඇති කර ගැනීsමට දීර්ඝ කාලයක්‌ බලාපොරොත්තු වූ බෙදුම්වාදී කල්ලිවලට අවශ්‍ය දොලපිදේණිය මේ යෝජනාවලියේ තිබෙනවා. මෙම යෝජනාව උප කමිටුවකින් මෙහෙයුම් මණ්‌ඩලයට ගෙනත් තිබෙනවා. මෙයට ජ. වි. පෙරමුණේ අය අත්සන් කරල ඇති. කවුරු අත්සන් කළත් අපි බලන්න ඕනි මේ යෝජනාවෙන් මොකද වෙන්නේ කියල. එම යෝජනාවෙන් නිර්දේශ කරල තිබෙනවා පරමාධිපත්‍යය බලය අනාගතයේදී පිහිටුවන ඒ පළාත් සභාවලට හෝ ආණ්‌ඩුවලට ලබාදීමට. පරමාධිපත්‍යය බලය බෙදන්න බෑ. එය බෙදුවොත් රට බෙදුනා හා සමානයි.

ඒ වගේම එම යෝජනාවලියෙන් දැන් තිබෙන සමගාමී ලැයිස්‌තුව ඉවත් කිරීමට යෝජනා කර තිබෙනවා. ඉඩම්, පොලිස්‌ සහ මූල්‍ය බලතල ලබාදීමටත් යෝජනා කර තිබෙනවා. මෙම යෝජනා මගින් මුදුනේ තිබෙන මධ්‍යම ආරක්‍ෂාව බලවත් ලෙස දුර්වල කරනවා. පරිධියේ තිබෙන පළාත් ආණ්‌ඩුව බලවත් ලෙස ශක්‌තිමත් කරනවා.

ඒ වගේම ව්‍යවස්‌ථාදායක අධිකරණයක්‌ පිහිටුවීමටත් යෝජනා කර තිබෙනවා. එම අධිකරණය පිහිට වුවහොත් ව්‍යවස්‌ථාව පිළිබඳ අර්ථ නිරූපණ දීමේ බලයක්‌ එම අධිකරණයට හිමි වෙනවා. යම් පළාත් සභාවක්‌ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණයක්‌ වුවත් එම අධිකරණයේ අභියෝගයට ලක්‌ කිරීමට පුළුවන්කම තිබෙනවා. ඒ අනුව ජනපතිගේ තීරණය වැරදියි කියල නියෝග දෙන්නත් පුළුවන්. පළාත් සභාව මෙතරම් බලවත් කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ කුමක්‌ද?

තිම්පු සාකච්ඡාවලදී වෙන්න පුළුවන්. වඩුක්‌කොඩෙයි සම්මේලනයේදී වෙන්න පුළුවන්. මොකකින් වුවත් දෙමළ බෙදුම්වාදය අතීතයේ සිට බලාපොරොත්තු වූයේ මෙම තත්ත්වය ව්‍යවස්‌ථාවෙන් ලබා ගැනීමට. ඒක කිරීමට තමයි රනිල් – සිරිසේන ආණ්‌ඩුව මේ සූදානම් වන්නේ. ඔවුන් ජනවාරි 08 බලයට ආවේ දමිළ ජාතිවාදීන්ගේa, අනිකුත් සුළු ජාතිවාදීන්ගේa සම්පූර්ණ අනුග්‍රහය යටතේ. එම නිසා අද ඔවුන් එම ජාතිවාදී කල්ලිවල සිරකාරයන් බවට පත්වී සිටිනවා. උතුරේදී පොලිස්‌ අණ නොතකා ධාවනය කළ මෝටර්සයිකලයට වෙඩි තැබූ වහාම, ඊට පසුදාම එම පොලිස්‌ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන්ගේ ළඟට ඇවිත් කඳුළු ගෑස්‌ තුවක්‌කුවෙන් පොලිසිය වෙඩි තබනවා. එම ප්‍රහාරයක්‌ වැදිල කොටි ප්‍රහාරයකින් එක්‌ ඇසක්‌ අන්ධ වූ රණවිරුවකුගේ අනිත් ඇසත් අහිමිවීමේ අවදානමකට ගොදුරු වී සිටිනවා. නමුත් රණවිරුවාගේ ළඟටම ඇවිත් කොකා ගස්‌සපු කෙනා ගැන අද සොයනවාද? බලය ඉක්‌මවා ගියාද කියල සොයනවාද? නැහැ. මෙම සිදුවීම්වලින් පෙනීයන්නේa මෙම ආණ්‌ඩුව සම්පූර්ණයෙන් සුළු ජාතිවාදී කල්ලිවල ප්‍රාණ ඇපයට අසුවී සිටින බව තමයි. මෙම තත්ත්වය තුළ ආණ්‌ඩුව හදන ව්‍යවස්‌ථාව මතුපිටින් කෙසේ වුවත්. ඇතුළතින් දෙමළ බෙදුම්වාදී ජාතිවාදීන්ට අවශ්‍ය ආකාරයේ එකක්‌ වෙනවා. එම තත්ත්වයට ඉඩ දී බලාසිටිය හොත්, මේ රට මුනිවත රැක්‌කොත් මෙතෙක්‌ රණවිරුවන් ජීවිත පරිත්‍යාග කරල ආරක්‍ෂා කරගත් මේ පිං බිම දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ට අවශ්‍ය තැනට යන එක වළක්‌වන්න බෑ. පළාත් සභාවලට පරමාධිපත්‍යය බලය බෙදා ඇති බව පිළිගැනීමට ප්‍රමාණවත් වෙනවා. ජාත්‍යන්තර අධිකරණයකින් වෙනම රාජ්‍යයක්‌ ලබා ගැනීමට. නැගෙනහිර ටිමෝරයට වෙනම රාජ්‍යයක්‌ ලබා ගැනීමට අවස්‌ථාව උදා වූයේ ටිමෝරය එම පළාතට පරමාධිපත්‍යය ලබාදී තිබූ නිසා. අද මේ ආණ්‌ඩුව රට ගෙන යමින් තිබෙන්නේ එතැනට. එම නිසා දෙමළ ජාතිවාදය සහ අනිකුත් අන්තවාදී කල්ලි පිනවන මේ ආණ්‌ඩුව වහාම පලවා හැරීමට නොහැකි වුවහොත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්‌ථාව මේ ආණ්‌ඩුව ගෙන එනවා. ඒ වගේම රට අනතුරට වැටෙනවා.

ප්‍රශ්නය – නව ව්‍යවස්‌ථාවෙන් රට අනතුරට වැටෙන බව ඔබ සඳහන් කරනවා. ඒ අතරම නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා පත් කර තිබෙන ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය තුළත් ඔබලා කටයුතු කරනවා.

නව ව්‍යවස්‌ථාවෙන් රට අනතුරට වැටෙනවා නම් ඇයි තවදුරටත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය තුළ රැඳී සිටින්නේ,

පිළිතුර- ජාතික නිදහස්‌ පෙරමුණේ අපි මේකට හවුල් වූයේ නැහැ. නමුත් ඒකාබද්aධ විපක්‍ෂයේ සෙසු පක්‍ෂවල නියෝජිතයන් මෙම ක්‍රියාදාමය තුළ සිටිනවා. ජාතික නිදහස්‌ පෙරමුණ ඊට හවුල් නොවූයේ ඔබ මතු කරන ප්‍රශ්නය අපට තිබෙන නිසා. නමුත් ඒaකාබද්ධ විපක්‍ෂයේ බහුතර පක්‍ෂවල මතය වූයේ කමිටු නියෝජනය කර ඒවා තුළින් ඇති විය හැකි බලපෑම වළක්‌වමු යන්න සහ තීරණාත්මක අවස්‌ථාවක්‌ උදා වුවහොත් ඉන් ඉවත් වී ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට එරෙහිව නැඟී සිටිමු කියන එක. ඒ අදහස අනුව තමයි ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් එම කමිටු නියෝජනය කරන්නේ.

එම කමිටුවල වාර්තා පිටවීමත් සමග ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන්ට වැඩි කාලයක්‌ එම කමිටු නියෝජනය කිරීමට හැකි වන එකක්‌ නෑ.

ප්‍රශ්නය – අධිරාජ්‍යවාදී රටවල් පිළිබඳව ඔබ සඳහන් කළා. පසු ගිය 08 වන දා පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජයග්‍රහණය කිරීම මෙරටේ ජාතිකවාදීන්ගේ පවා සතුටට හේතු වී තිබෙනවා.

පිළිතුර – එක්‌සත් ජනපදයේ රාජ්‍ය නායකයා කවුරු වුවත්, එරට අත්නොහැර පවත්වාගෙන යන ප්‍රතිපත්ති සහ තමන්ගේ බල පරාක්‍රමය පතුරුවා ලීමේ වැඩපිළිවෙළක්‌ තිබෙනවා. රාජ්‍ය නායකයා කවුරු වුවත් එහි ලොකු වෙනසක්‌ වන්නේ නැහැ.

නමුත් මෙතැන තිබෙනවා විශේෂත්වයක්‌, ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සුදු ජාතික බහුතරයේ ඡන්ද වලින් ජයග්‍රහණය කිරීම. ඔහුට සුළු ජාතික ඡන්දවලින් ලැබිල තියෙන්නේ සුළු අනුපාතයක්‌ පමණයි. සුළු ජාතික ඡන්ද දායකයන්ගෙන් බහුතර ඡන්ද සංඛ්‍යාවක්‌ ලැබිල තියෙන්නේ හිලරි ක්‌ලින්ටන්ට. නමුත් ඇයට සුදු ජාතික ඡන්දවලින් ලැබිල තියෙන්නේ සුළු අනුපාතයක්‌ පමණයි. මෙයින් පෙනී යනවා එක්‌සත් ජනපදයේ සුදු ජාතිකයන් තමන් අනාරක්‍ෂිත තත්ත්වයකට පත්වී ඇති බවත් තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකටත් මුහුණදී සිටින බව. එබඳු තත්ත්වයක්‌ තිබූ නිසා තමයි සියලු මාධ්‍ය උපයෝගී කරගෙන එම මාධ්‍ය ට්‍රම්ප්ට එරෙහිව යෙදවුවත්, ක්‌ලින්ටන් අරමුදලේ මුදල්වලින් මාධ්‍ය මිලදී ගනිද්දී ඒ අතර ඔහුට එරෙහිව විශාල අවලාද මෙහෙයුමක්‌ දියත් වෙද්දී , ඇමරිකානු ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට පුළුවන් වන්නේ. ඇත්ත වශයෙන්ම එය එක්‌සත් ජනපදයේ සුදු ජාතිකයන් තමන් මුහුණ දෙන අනාරක්‍ෂිත භාවයට ඔවුන් සොයාගත් උත්තරයක්‌.

ඒ වගේම එයින් පෙනී යනවා සුළු ජාතිවාදී කල්ලි මත යෑපෙමින්, ඒ කල්ලි පිනවමින් යන දේශපාලනය අවසන් වෙමින් පවතින බව. අද එම තත්aaත්aවය රනිල් වික්‍රමසිංහගේ මහගෙදරින්ම පෙන්වාදී තිබෙනවා. නමුත් රනිල්ල මෙහෙ කරන්නේ, හිලරි එහෙත්aa කරල පරාජයට පත්වූ දේ. ඊළඟ මැතිවරණයේදී දැන ගැනීමට පුළුවන්වේවි. ලංකාවේ ජයග්‍රහණය කරන්නේ ට්‍රම්ප් කරල දිනපු දේ ද, නැතිනම් හිලරි කරල පරාජය වූදේ ජය ගන්නෙ කියන එක.

ඇත්ත කතාව තමයි අද ලෝකයේම ජයග්‍රාහී බලවේගය බවට පත්වී තිබෙන්නේ ජාතිකවාදය. ඒ ජාතිකවාදය ප්‍රගතිශීලී තත්ත්වයෙන් ජයග්‍රහණය කරා ගෙන යාම තමයි අපට තිබෙන අභියෝගය. ඇමරිකානු ඡන්ද ප්‍රතිඵලයෙනුත් පෙන්වන්නේ ඒක.

හිලරි ක්‌ලින්ටන් ඉතා පැහැදිලිව දෙමළ ඩයස්‌පෝරාව සමග කටයුතු කළා. ඒ වගේම දෙමළ ඩයස්‌පෝරාවත් ඇයගේ ජයග්‍රහණය ඉතා තදින් බලාපොරොත්තු වූවා. ඒ වගේම ශිවාජිලිංගම් මන්ත්‍රීතුමාත් ඇයගේ ජයග්‍රහණය පතා පොල් ගෙඩි එක්‌දහස්‌ ගණනක්‌ ගැහුවා. එයින් පෙනී යනවා මේ රටේ අන්තවාදී කල්ලිවල අපේක්‍ෂාව වූයෙත් ඇයගේ ජයග්‍රහණය බව. ඔවුන්ගේ තෝරා ගැනීම පරාජය වීම අපගේ පැත්තෙන් යහපතක්‌. ඔවුන්ගේ තෝරා ගැනීම පරාජයවීම රටට යහපතක්‌ වූ පමණින් ට්‍රම්ප් නියෝජනය වෙමින් ඇමරිකානු අධිරාජ්‍යවාදය හරහා අපට තර්ජනයක්‌ එන්නෙත් නැහැ කියන මතයක ට අප යායුතු නෑ.

නමුත් විශේෂ වෙනස තිබෙන්නේ හිලරි ක්‌ලින්ටන් දෙමළ ඩයස්‌පෝරාවේ ප්‍රබල හිතවතියක්‌ වෙද්දී, ට්‍රම්ප් මේ වනතුරු ඒ තත්ත්වයට පත්වී නෑ. එම වෙනස තමයි අපට මෙතැන තිබෙන හිතකර වෙනස.

සාකච්ඡා කළේ
එරික්‌ ගාමිණි ජිනප්‍රිය