බලංගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන්ගේ බෙහෙත් මංජුසාව… සියලූ උණ රෝග නසන දේශීය ප‍්‍රතිකාර

Spread the News

balan222බුදුබව පැතූ බුදුබවට පෙරුම් පිරූ පූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත‍්‍රී නායක හාමුදුරුවන් වහන්සේ සිංහල වෙදකම ගැන අප‍්‍රමාණ දැනුමක් තිබූ යතිවරයෙකි. උන්වහන්සේ විසින් එක්රැස් කරන ලද ඉපැරණි වෙද පොත්, වෙද වට්ටෝරු විශාල ප‍්‍රමාණයක් අදත් සුරැුකී පවතී. මේ වටිනා වෙද වට්ටෝරු ගණනාවක් ‘ඉරිදා දිවයින’ පුවත්පත මගින් විටින්විට ඉදිරිපත් කරන ලදී. මේ පළවන්නේ ද එවැනි ලිපියකි.

සිංහල වෛද්‍ය ශාස්ත‍්‍රය සහ ආයුර්වේදය තුළ උණ රෝග හඳුන්වනු ලබන්නේ ‘ජ්වර’ රෝග වශයෙනි. බළංගොඩ ආනන්ද මෛත‍්‍රි නාහිමියන් වහන්සේ උණ රෝගය සුවපත් කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ ඉපැරණි වට්ටෝරු කිහිපයක් මෙසේය.

1. උණට දෙන ප‍්‍රත්‍යක්‍ෂ කසායක්

කොත්තමල්ලි කලඳක් සහ සිද්ධිඟුරු කලඳක් හොඳින් අඹරා වතුර කෝප්ප 8 ක් යොදා පත 8 ට 1කට සිඳ උදේ වරුවේදී දෙන්න. මෙය දින 3 ක් ලබාදීමෙන් උණ රෝගය සුවපත් වේ.

එසේම වගපුල් සිද්ධිඟුරු, කොතබුරු යන තුන් වර්ගය සම සමව ගෙන විලඳ යොදා කැඳ සාදා රෝගියාට දීමෙන් උණ සුවපත්වේ.

2. උණ රෝගයට තවත් බෙහෙතක්

සඳුන්, සුවඳකොට්ටං, වම්මුතු, පැපිලිය, ඉරිවේරිය, සිද්ධිඟුරු පත 8 ට 1කට සිඳ නිවා තබා සීනි, මී පැණි හෝ සූකිරි අනුපාන වශයෙන් යොදා පානය පිණිස දෙන්න. උණ හොඳ වේ.

 

balan111

3. රත් පිත සමඟ හටගන්නා පීඩාකාරී උණ රෝගයට

වැල් මී, උක්දඬු, ඉරිවේරිය, පියුම්කෙසරු, ඉරමුසු, මීපුප්, එළසඳුන්, සුවඳකොට්ටං යනාදිය සම සමව ගෙන වතුර නැළියක දමා කැකුළු හීනටි සහල් සහ මුං පියලි පත බැගින් ද රතු ලූනු කලඳක් ද යොදා කකාරා නිවා පොවන්න. රත් පිත් සෙම අඩු වී ක‍්‍රමයෙන් උණ බැස යයි.

4. පැරණි උණ රෝගාබාධවලට

රසකිඳ, කටුවැල් බටු, සිද්ධිඟුරු යොදා තැනූ කසායට වගපුල් සුණු මිශ‍්‍රකර රෝගියාට ලබාදෙන්න. කල් ගතවූ උණ, අප්පිරියාව, ක්‍ෂය රෝග තත්ත්වය, ඇහිබැම කෙළවර රිදීම, සෙම්ප‍්‍රතිශ්‍යාව යන රෝග සුව වේ.

5. උණ සන්නිපාතයට

දසමූලය, ඉරිවේරිය, සිද්ධිඟුරු, පොකුරුමුල්, පැපිලිය, අරළු, සිරිතේක්කු යනාදිය යොදා කසාය කකාරා දෙන්න. උණ සන්නිපාතය විටින්විට නැඟී එන උණ, පපුවේ මහන්සිය, සන්ධි රිදීම, කල්ගිය උණ, අජීර්ණය යනාදී රෝග මෙයින් සුව වේ.

6. වාත, පිත්ත, කඵ, යන තුන් දෝෂය නිසා හටගන්නා උණට ප‍්‍රතිකාර

සිද්ධිඟුරු, වම්මුතු, කිඳි, හෙළ ලූහුනු, දුම්මැල්ල, අරළු, බුළු, නෙල්ලි යනාදිය යොදා කසායකර පැණි සහ හකුරු අනුපාන වශයෙන් මිශ‍්‍රකර රෝගියාට දෙන්න. එසේම සාදික්කා, සිද්ධිඟුරු, කරාබුනැටි, තිප්පිලි, වසාවාසි, සැවැන්දරාමුල්, නෙල්ලි, අරළු, සැබෝමුල්, බැබිලමුල්, කලාඳුරුඅල, දුම්මැල්ලමුල්, සූදුරු, මාදුරු, පැපිලිය, වසාවාසි යනාදිය සම සමව ගෙන පත 8ට 1කට කකාරා රෝගියාට දෙන්න. තුන් දොසින් හටගන්නා උණ සුවපත් වේ.

7. විටින්විට හටගන්නා හෙවත් මුර උණට ප‍්‍රතිකාර

අබ, කළුදුරු, සූදුරු, සිද්ධිඟුරු, මිරිස් මඳක් කබලේ රත් කර කුඩුකොට දොඹගෙඩියක පමණ ප‍්‍රමාණයක් ගෙන දෙහි ඇඹුල් පතකට මිශ‍්‍රකර උණ හටගන්නා අවස්ථාවේදී පානයට දෙන්න.