Spread the News
ඓතිහාසික පුරාවෘත්තයන් සපිරි නගරයක් වන උණවටුනෙන් බිහිවී ජනසන්නිවේදනයේ ලක් අඹර ප්‍රභාමත් කළ දීප්තිමත් පහනක් වූ එඩ්වින් ආරියදාස මැතිතුමා, ලක් ඉතිහාසයේ ‘ඓතිහාසික‘ චරිතයක් බවට පත්වූයේය. එවන් තත්ත්වයකට පත්වීම උදෙසා හේතුකාරක වූ අද්විතීය ගුණාංග රැසක් උපතින්ම එතුමා සතුව තිබිණ.
නිවැරදි ඉලක්ක ස්ථාපනය, එම ඉලක්ක ස්ථිරසාරව හඹායෑම, කිසිදු කාර්යයක් කල් නොදැමීම, අතපසු නොකිරීම, විශ්ව ඥාන ගවේෂණයට තිබූ අතිමහත් ඇල්ම, තමා උකහා ගන්නා දැනුම සමාජයට බෙදාදීම සඳහා වූ සුවිශේෂී උනන්දුව හා දානමය හැඟීම, සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්වයම මනාව හැසිරවීම උදෙසා වූ ඉමහත් කැපවීම, ලේඛනයේ දී හා භාෂණයේ දී තමන් ඉදිරිපත් කරනු ලබන විෂය කරුණට අදාළව කුතුහලය ඇති කරමින් පාඨකයා හා ශ්‍රාවකයා ඇද බැඳ තබා ගැනීමට හැකි වූ ආකර්ෂණීය ප්‍රකාශන හැකියාව මෙන්ම හඬ පෞරුෂය, තමා කරන කවර කාර්යයක් වුවද පරිපූර්ණ ලෙස නිමා කිරීමට දැරූ දැඩි වෙහෙස හා කැපවීම ආදී විෂයානුබද්ධ ගුණාංග පමණක් නොව, කිසිවකු සමග අමනාප නොවන, සෑම අයකුටම සෙනෙහස දක්වන මානවවාදී ගුණය ද එතුමා සතුවිය.
අන්තර්ජාලය නොතිබූ අතීතයේ එතුමා අපට අන්තර්ජාලයක් බඳුවිය. එතුමා ඇවිදින පුස්තකාලයක් වීය. ජනමාධ්‍ය ලෝකයේ එතුමා විශ්ව ඥානකෝෂයක් විය.
මගේ මුල්ම මාධ්‍ය ගුරුතුමා, එතුමා වීමේ භාග්‍යය මම ලැබුවෙමි. ‘ධ. නන්දලාල් විජේසිංහ’ යන නම මම එසමයේ මාධ්‍යකරණයේදී භාවිතා කළෙමි. මගේ මුල්ම නිර්මාණ පුස්තකය වන “අන්න සඳක් රිවි කිරණින්” නම් වූ නිසඳැස් කාව්‍ය සංග්‍රහය එවක භාවිතාවූ උස්තල මුද්‍රණ ශිල්පය භාවිතා කරමින්, මා එළිදැක්වූයේ 80 දශකයේදීය. එයට ආශීර්වාදාත්මක පසුවදනක් ලෙන්ගතුකමින් යුතුව ලියා දෙමින් මගේ අංකුර ප්‍රකාශනය දිරිමත් කළ එතුමා, ඒ අවධියේදී නවයුගය පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා විය. (කෘතියට පෙරවදන සපයා දුන්නේ මගේ මව් පාසල වූ කොළඹ රාජකීය විද්‍යාලයයේ එවක විදුහල්පති සී. ටී. එම්. ප්‍රනාන්දු මැතිතුමාය)
එතැන් පටන් මේ දක්වාම දශක තුනකට වැඩි කාලයක් ඔස්සේ මගේ මාධ්‍ය ජීවිතයේ හැඩතල, සීමා ඉසව් නිර්ණය කරන්නට එඩ්වින් ආරියදාස මැතිතුමාගෙන් මා ලද ගුරු දායකත්වය අතිමහත්ය.
දස දහස් ගණනින් වූ විශාල ගෝල පිරිසකට, තම ද්විභාෂික හැකියාවන් ඔස්සේ ජනමාධ්‍ය නැණ පහන් දල්වාලූ එතුමා, ජනසන්නිවේදනය යන විෂයය ලාංකේය විශ්වවිද්‍යාලයයන් තුළ ශාස්ත්‍රීය විෂය ධාරාවක් බවට පත්කිරීමට පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින්, අපගේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ දිදුලන ප්‍රදීපස්ථම්භයක් බවට පත්විය.
ආදරණීය ඇදුරුතුමනි, ශෝකභරිත මනසක හිඳිමින්, ඔබ දෙපා නමදිමින්, අපි ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු !
ධර්මානන්ද විජේසිංහ
ජනමාධ්‍ය කථිකාචාර්ය