Spread the News

p1 22 2

Divaina : තමා දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට වලපනේදී එක්වෙමින් සඳහන් කළේය.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳර ’ 15 වැනි වැඩසටහන පෙරේදා (20දා) ක‍්‍රියාත්මක වුණේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වලපනේ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමිනි.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.
 
 ”දැන් තමුන්නාන්සේලා දන්නවානේ මම එනවා කිව්වමත් පාර හැදෙනවා. ඒක කොච්චර ලොකු දෙයක්ද? තමුන්නාන්සේලා මාව පත්කළේ මාස 60කට. දැනට මාස 14ක් ගිහිල්ලා. තව තියෙනවා හොඳ ගාණක්. ඉතින් සමහර අය මම ආයෙත් එන්නෙ නැහැ කිව්වා කියලා කලබල වෙලා තිබුණා. ඒක ජනතාව තෝරන්නේ. මේ පාරත් ජනතාවනේ තේරුවේ. ඉස්සෙල්ලා මට දීපු 60 වැඩ කරලා පෙන්වන්න ඕනේ නේද හාමුදුරුවනේ. ඊට පස්සේ තමයි ඉතුරුවා හිතන්නේ.
 
 මගේ අවශ්‍යතාව මේ මාස 60 තුළ විශේෂයෙන්ම අපේ ගම්මාන දියුණු කිරීම. හැමදාම නගරයට විතරක් වැඩ කරන්න බැහැ. අද අවාසනාවන්ත සිද්ධියක් වුණා පස්සර බස් රථයක් අඩි 300ක ප‍්‍රපාතයකට වැටිලා. දැන් මේ පාරවල් පටුයි. ඒ බස් වේගයෙන් යනවා. හැබැයි පාරවල් පටුයි. මම කවදාවත් පරිසරය විනාශ කරලා නැහැ. උද්‍යාන හැදුවා. ජලාශ හැදුවා, තෙත්බිම් ආරක්ෂා කළා. මේ කොළඹ නගරයේ, පිළියන්දල, කැස්බෑව මේවා තමයි පරිසරය හැදෙනවා කියන්නේ. කුණු ඉවත් කළා.
 
 අපි විහාර මහාදේවි උද්‍යානය හොඳට හැදුවා. ඊයේ ඒකේ විශාල බිල් බෝඞ් එකක් ගහලා රූපවගයක් ඇඳලා. ඒකෙන් පරිසරය විනාශ කරනවා. මම කොළඹ පෝස්ටර් ගහන එක නැවැත්තුවා. බිල් බෝඞ් ගැහිල්ල නැවැත්තුවා. මම දැක්කා අද පත්තරේ තියෙනවා. ඔය කෑගහන විපක්ෂයේ කෙනෙක් දුවට හන්තාන රක්ෂිතයෙන් තෑගි ඔප්පුවක් දීලා. ඉතින් ඒක සුද්ද කරලා. ඇමැතිවරුන්ට ඒවා කරන්න පුළුවන්. හන්තාන විනාශ කරද්දි අඬන්න, අඬවන්න කෙනෙකුත් නැහැ. පුදුම මාධ්‍ය තියෙන්නේ.
 
 දැන් හාමුදුරුවනේ මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහගේ නිදහස නෙමෙයිනේ. මාධ්‍ය අයිතිකාරයාට ඕන විදිහට රට කරන්න හදනවා නම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ. මහරාජලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. රජය, පාලකයෝ පාලනය කරන්න හදනවා. මාත් එක්ක ඒවා බැහැ. ඒවට කරන්න ඕන දේවල් මම දන්නවා.
 
 මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මම මාස 14ක් පාලනය කළා. මම කිසිම මාධ්‍යයකට බලපෑම් කරලා නැහැ. ඒ අය වැරදියට පාවිච්චි කරන්න ආවොත්. ඒකටත් නීති තියෙනවා, කරන්න පුළුවන් ක‍්‍රම තියෙනවා. ඒවා මම ක‍්‍රියාත්මක කරනවා. ජාතික චින්තනය තියෙන මාධ්‍යයත් බොරු ප‍්‍රචාර යවනවා. මම හොයලා බැලූවා කවුද කියලා. යුද්ධ කාලෙත් ඒ අයම තමයි අපිට විරුද්ධව වැඩ කළේ. පුවත්පතක හිටපු කණ්ඩායමක් ඕවා කරන්නේ. කුරුණෑගල අනවසරයෙන් අක්කර 77ක් එළිකරලා. 2015 සිට 2019 දක්වා පුත්තලමේ අක්කර 258ක්, මොනරාගල අක්කර 100ක්. රත්නපුර අක්කර 42ක්, අනුරාධපුර අක්කර 224ක් දැන් මේවට කවුරුත් ඇඬුවෙත් නැහැ. බැලූවෙත් නැහැ. මේවා ඒ අය දැක්කේ නැහැ. ඒ අයට අවශ්‍ය රජයක්නේ තිබුණේ. බොරු ප‍්‍රචාර ගෙනියනවා ජ.වි.පෙ පරිසරවේදියෝ අර මුහුණු පොතේ දානවා. සිංහරාජේ අවසන් ගමන් ගිය තවත් ගහක් කියලා දානවා. හැබැයි මොකක්ද මේ ඉන්දියාවේ ඔඞීෂා නගරයේ ගහක් කපපු එකක් උඩුදුම්බර වන විනාශය කියලා දානවා. ඒක මේ රටේවත් නෙමෙයි කියලා. ඉතින් ජනතාව මුළා කරන්න බොරු ප‍්‍රචාර ගෙනියනවා. මේවට රැවටෙන්න එපා’’