Spread the News

දිනසේන රතුගමගේ

 
minisjawarama

Divaina :එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප‍්‍රබල නායකයකු උතුරේ සිට පිටරටවලට මිනිස් ජාවාරමක් සිදු කරමින් සිටින බවට මන්නාරම සිලාවතුර පොලිසියට තොරතුරු ලැබී තිබේ.
 
 මේ වන විට එම පුද්ගලයා ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මක කර තිබේ.
 
 මේ ජාවාරම පිළිබඳව මන්නාරම සිලාවතුර පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ විදේශයකට යැවීම සඳහා පුද්ගලයින් 20 දෙනකු මන්නාරම ප‍්‍රදේශයට රැගෙන ඒමෙන් පසුව ඔවුන් නාවික හමුදා අත්අඩංගුවට පත්වීමත් සමගය.
 
 වයඹ නාවික විධානය මගින් සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප‍්‍රදේශයේ විශේෂ මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙහෙයුමේදී සැකකටයුතු ත‍්‍රීරෝද රථ 04ක් පරීක්ෂාවට ලක් කෙරිණි. එම ත‍්‍රීරෝද රථ තුළ ගමන්ගත් පුද්ගලයින් 20දෙනකු නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදේශයකට සංක‍්‍රමණය වීම සඳහා මෙලෙස ත‍්‍රීරෝද රථ මගින් සිලාවතුර මුහුදු ප‍්‍රදේශය වෙත ගමන් කරමින් සිටි බවට අනාවරණය වූ බැවින්, එම පුද්ගලයින් පිරිස සහ ත‍්‍රීරෝද රථ 04 නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
 
 නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් 20 දෙනා අතර පිරිමි 14දෙනෙක්, කාන්තාවෝ 04දෙනෙක්, වයස අවුරුදු 13ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙක් ද වෙති. මෙම පිරිසෙන් පුද්ගලයින් 09දෙනකු මුලතිව් ප‍්‍රදේශයේ ද, 04දෙනකු යාපනය ප‍්‍රදේශයේ ද, 04දෙනකු මන්නාරම ප‍්‍රදේශයේ ද අය බව හෙළිවී තිබේ. එමෙන්ම වාලච්චේනය, වත්තල සහ පුත්තලම යන ප‍්‍රදේශවල පදිංචි එක් පුද්ගලයකු බැගින් සිටි බවට ද හඳුනා ගෙන තිබේ.
 
 පසුව මේ පිරිස මන්නාරම සිලාවතුර පොලිසියට භාරදීමෙන් පසුව පොලිසිය සිදු කළ පරීක්ෂණවල දී මෙම ජාවාරම සිදු කරන පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළි වී තිබේ.