Spread the News

(නිහාල් පී. අබේසිංහ‍) Siluimina

විශේෂාංග

මෙරට මූල්‍ය හා ජනතා ජීවන ගැටලු උග්‍ර වීම නිසා රටේ විවිධ ප්‍රදේශවල රජයට විරුද්ධව උද්ඝෝෂණ බහුලව සිදුවෙද්දී ජනපතිට හා අගමැති හා රජයට සහාය දැක්වීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද දැන් රටපුරා ක්‍රියාත්මක වේ.

ඒ යටතේ අනුරාධපුරය, මහනුවර, කොළඹ, තංගල්ල, බඩල්කුඹුර, මොනරාගල, මඩකලපුව, නිකවැරටිය යන ප්‍රදේශවල මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණ.

‘කොළඹ ජන පවුර‘ මැයෙන් ජනපති හා අගමැති සුරැකීමේ උද්ඝෝෂණ මාලාව මුලින්ම ආරම්භ කළේ කොළඹ සීමාසහිත ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ ස්වයංරැකියා නියුක්තිකයන් විසිනි. ඒ අය සියල්ලම වාගේ කොළඹ නගරයේ පදික වෙළෙඳුන් ය.

අපේ රටට තිස් අවුරුදු යුද්ධයෙන් සාමය උදා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් හා අගමැති මහින්ද රාජපක්ෂයන් මේ රටට කළ සදානුස්මරණීය සේවය නිසා එතුමන් ලබාගත් ජනවරමට අනුව තවදුරටත් තව වසර 3 – 4 ක් මේ රටේ නායකත්වය දැරිය යුතු යැයි මෙහිදී උද්ඝෝෂකයෝ අවධාරණය කළහ.

‘පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, සරසවි සිසුන් ඇතුළු ආවේගකාරී පිරිසක් ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවෙස අසල ප්‍රදේශයටත් ඇමැතිවරුන්ගේ නිවෙස්වලටත් හානි සිදු කළ අමුතුම ආකාරයේ උද්ඝෝෂණ පිළිබඳව අපි දින කීපයක් අවධානය යොමු කළා. මේවා ඉල්ලීම් දිනාගන්න ප්‍රතිපත්ති වෙනස් කරන්න බල කරන සාමකාමී උද්ඝෝෂණ නෙමෙයි. පළිගැනීම් කරන්න කළ උද්ඝෝෂණ. ඒ උද්ඝෝෂණ නිසා උද්ඝෝෂකයන්ටත් පොලිසියටත් ප්‍රදේශවාසීන්ටත් තුවාල වුණා. ඒ නිසා වහාම කළ යුත්තේ මෙවැනි උද්ඝෝෂකයන්ට සාධාරණය පෙන්වා දී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර උද්ඝෝෂණවලට යොමු කිරීමයි.‘

කොළඹ පදික වේදිකාවේ වෙළෙදාම් කරන පිරිස එකතුවී, වසර 30 තිස්සේ පැවැති යුද්ධයට තිත තැබූ හා උපාධිධාරීන් 150000 කට රැකියා දුන් හා විශේෂයෙන් කෝවිඩ් එන්නත් තුනම ලබාදී රටේ කෝටි 2 ක් වූ සුරැකිනු ලැබූ මේ රජය ආරක්ෂා කිරීම සඳහා තමයි අපි පාරට බැස්සේ.

අද අපේ රටේ විදුලි අර්බුදය ප්‍රධාන ලෙසම සිදුවී ඇත්තේ 2015 – 2019 අතර කාලයේදී එකම විදුලි බලාගාරයක්වත් ඉදි නොවීම නිසයි. විශේෂයෙන් සාම්පූර් බලාගාරය ඉදිකිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ජනතා විමුක්ති පෙරමුණ ඒ පිළිබඳව දැඩි විරෝධය දැක්වූවා. එය ඉදිවී තිබුණා නම් විදුලි බලය පිළිබඳ ගැටලුවක් ඇතිවන එකක් නැහැ. එවිට ඉන්ධන ගැටලුත් ඇති නොවන්න තිබුණා. වත්මන් රජය ක්‍රමයෙන් මේ ගැටලුවලට විසඳුම් දෙමින් සිටිනවා. මේ නිසා අප කළ යුත්තේ තිබෙන මූල්‍ය ගැටලු අවම කර රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජයට අත හිත දීමයි“ යැයි සීමාසහිත ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගමගේ පෙන්වා දෙයි.

මේ පිළිබඳ කරුණු දක්වන මේ සංගමයේ සාමාජිකයන් පොදුවේ පවසන්නේ වත්මන් රජය විසුරුවා හැර වෙන රජයක් පත් වූවොත් තත්ත්වය මීටත් වඩා දරුණු වන බවයි. “යුද්ධ තිබුණ කාලේ කොළඹ කිසිම වෙළෙඳාමක් කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තිබුණේ. ඒ සමඟම කෝවිඩ් කාලෙත් අපිට හරි වෙළෙඳාමක් තිබුණේ නැහැ. මේ දෙකම සමථයකට පත් කළේ වත්මන් ජනපති හා අගමැතියි. ඒනිසා ඒ දෙදෙනා සමඟ වත්මන් රජය සුරැකීම ශ්‍රී ලාංක්ය ජනතාවගේ යුතුකම වන නිසයි අපි මේ උද්ඝෝෂණය කළේ“ ඔවුහු කියති. එම සංගමයේ නිලධාරීන් විශේෂයෙන් අවධාරණය කරන්නේ තැන් තැන්වල සින්දු කියා උද්ඝෝෂණය කරන මල්ලිලා නංගිලා මේ පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

මහනුවර නගරයේ ද වත්මන් රජය සුරැකීම වෙනුවෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. ශ්‍රී දළදා මාලිගාවේ ඉදිරිපිටින් ආරම්භ වූ උද්ඝෝෂණය නගරය පුරා පා ගමනින් ගමන් කර යළි දළදා මාලිගාව ඉදිරිපිරින් අවසන් කෙරිණි.

මේ පිළිබඳ කරුණු දක්වන මහ නුවර මහ නගර සභාවේ විපක්ෂ නායක සේන දිසානායක කියන්නේ රටේ පවතින මූල්‍ය ප්‍රශ්න විසඳිය යුතු නමුත් ඒ සඳහා ප්‍රතිපත්තිමය විරෝධතා ඉදිරිපත් කිරීම වඩා සුදුසු බවයි.

“අපි මේ උද්ඝෝෂණය සංවිධානය කළේ 69 ලක්ෂයේ ජනතාව තවමත් මේ රටේ රජය හා ජනපති සුරැකීමට කැමැත්තෙන් සිටින නිසයි. සේන දිසානායක පවසන පරිදි මෙම උද්ඝෝෂණය සඳහා ගම්පොළ, නාවලපිටිය ආදී ප්‍රදේශවලින් ද එම ප්‍රදේශවල පළාත් පාලන නියෝජිතයෝ මෙන් ම නගර සභා, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ද සහභාගී වූහ.

මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේ රට පුරා පසුගිය දිනවල පැවැති රජයට විරුද්ධ උද්ඝෝෂණ මාලාව සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූ නිසා ඒ උද්ඝෝෂණවලට දැන් ජනතාව සහභාගී නොවන බවයි.

තංගල්ලේ පැවැති රජය හා ජනපති අගමැති සුරකින උද්ඝෝෂණයට ප්‍රදේශයේ විශාල ජනකායක් එක්වී සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඇතුළු වත්මන් ආණ්ඩුව තවදුරටත් බලයේ රැඳී සිටිය යුතු යැයි පවසමින් ‘WE WANT GOTA’ යන මැයෙන් මෙම සියලු උද්ඝෝෂණ ක්‍රියාත්මක විය.

‘ජන අරගලය බල අරගලයක් නොකර ගනිමු – 69 ලක්ෂයේ අපි‘ යන පුවරු ප්‍රදර්ශනය කරමින් හා “කාගෙද මේ බලවේගේ ගෝඨාභයගෙ බලවේගේ“, “ගෝඨ අපට – අපි ගෝඨට“ යන සටන් පාඨ කියමින් මෙම පිරිස් උද්ඝෝෂණවල යෙදී සිටියහ.

මහනුවර පැවැති උද්ඝෝෂණයට අධික පිරිසක් පැමිණ සිටි අතර තංගල්ලේ උද්ඝෝෂණයට ද විශාල පිරිසක් එක්වූහ. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන්, පළාත් පාලන නියෝජිතයන් හා එම ප්‍රදේශවල පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් මේ උද්ඝෝෂණවලට එක්වෙමින් රජය ජනාධිපති, අගමැති සුරකින බවට සටන් පාඨ කියමින් අදාළ නගර පුරා සැරිසැරූහ.

අනුරාධපුර නගරයේ පැවැති ජනපති අගමැති හා රජය සුරැකීමේ සාමකාමී උද්ඝෝෂණයට හිටපු මහ ඇමැති එන්. එම්. රන්ජිත් ප්‍රමුඛ ප්‍රාදේශීය දේශපාලනඥයන් එක්වී සිටියහ. එහිදී කරුණු දැක්වූ හිටපු මහ ඇමැති එස්.එම්. රන්ජිත් පැවසූයේ මේ රජය සුරැකීමේ උද්ඝෝෂණ ඇරඹුණේ 69 ලක්ෂයට අයත් ග්‍රාමීය පොදු ජනතාවගේ උනන්දුව නිසා බවයි.

“දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ පාලන බලය වෙනස් කිරීමට හෝ කළ යුත්තේ සාමකාමී උද්ඝෝෂණයි. නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ දේපළවලට හානි කරමින් තමයි පසුගිය දිනවල ජවිපෙ ඇතුළු උද්ඝෝෂණ කල්ලිය උද්ඝෝෂණවල යෙදුණේ. ඒ නිසා එස්.එම්. චන්ද්‍රසේන ඇමැති තුමාගේ නිවසට හා දේපළවලට විශාල හානි සිදුවුණා. අනෙක් පොහොට්ටුවේ දේශපාලනඥයන්ටත් නගරාධිපතිතුමාටත් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ලක්වීමට සිදුවුණා.

මේ ප්‍රචණ්ඩ උද්ඝෝෂණවලට විරුද්ධව වගේම ජනපති අගමැති ප්‍රමුඛ රජය සුරැකීම පිණිස තමයි අපේ ජනතාව මෙතැන එක්වෙලා ඉන්නේ. තිස් අවුරුදු යුද්ධය වගේ ම කෝවිඩ් යුද්ධයත් මෙරටින් තුරන් කළ වත්මන් ජනපති අගමැති ඇතුළු වත්මන් රජය නීති විරෝධී ලෙස ඉවත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපේ බලය ජනතාව ලබාදුන් බලයයි. ඒ අනුව වත්මන් ජනපතිට හා අගමැතිට තව වසර 03 ක් පමණ බලයේ සිටීමට ව්‍යවස්ථානුකූල බලයක් තිබෙනවා. එය සුරැකීමටයි අපි මේ උද්ඝෝෂණය කරන්නේ. හිටපු ඇමැති එස්. එම්. රන්ජිත් පැවසීය.

ජනපතිට අගමැතිට හා වත්මන් රජයට සහාය දැක්වීමේ උද්ඝෝෂණ මොනරාගල, මඩකලපුව, නිකවැරටිය, බඩල්කුඹුර, හිරියාල, හලාවත ඇතුළු ප්‍රදේශ ගණනාවක පැවැත්විණ. මේවායේදී ද අවධාරණය කළේ පසුගිය වසර 2 – 3 ඇතුළත තමාගේ වාහන, කාර්ය මණ්ඩලය හා අනෙකුත් වියදම් විශාල ලෙස අඩු කරගත් වත්මන් ජනපති තවදුරටත් මේ රටේ ජනාධිපති ලෙස ක්‍රියා කිරීම රටේ උන්නතියට ඉමහත් පිටුබලයක් බවය. ඒ අනුව ‘69 ලක්ෂයේ අපි‘ එක හඬින් පැවැසූයේ “ගෝඨා අපිට ඕනෑ“ – “69 ලක්ෂය සීරුවෙන්“ කියාය.

සේයාරූ – හිරන්ත ගුණතිලක
අනුරාධපුර අමිල ප්‍රභාත් වනසිංහ

2022-04-16