සීගිරියේ බඹරුන් මැරීම ජාතික අපරාධයක්‌

Spread the News

සීගිරියේ බඹරුන් මැරීම ජාතික අපරාධයක්‌

Source Link:

සීගිරියේ බඹරුන් මරා දැමීම ජාතික අපරාධයක්‌. ඒ සත්තුත් ජීවත් වෙන්න ඕන. ඒ සත්තු අමු අමුවේ ගිනිගහල මරා දැමුවා. සීගිරිය ලෝක උරුමයක්‌ වුණේ මේ බඹරුන් එක්‌කමයි. සීගිරියේ බඹර ප්‍රහාරයට හේතුව අප විසින්ම කරන වැරදි. ඒකට විසඳුම ඒ සත්තු අමු අමුවේ මරා දමන එක නෙවෙයි. ඒ නිසා සීsගිරියේ ඉතිරි බඹර ජනපද ටිකවත් රැක දෙන්නැයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

“දිවයින”ට මේ අදහස්‌ ප්‍රකාශ කළේ ඊයේ (07 දා) “දිවයින” කාර්යාලයට දඹුල්ලේ සිට පැමිණි සීගිරියට ඉමහත් සේ ආදරය කරන පරිසර හිතකාමියකු වන ඩීමන් ආනන්ද මහතාය. එසේම ඔහු පේරාදෙණිය සරසවියේද සහාය ඇතිව සීගිරියේ බඹරුන් පිළිබඳව පර්යේෂණ හා ගවේෂණ කටයුතුවල නියෑලී සිටින්නෙකි.

ඔහු දඹුල්ලේ සිට කොළඹ “දිවයින” කන්තෝරුවට පැමිණ සිටියේ සීගිරියේ බඹරුන් මරා දැමීම පිළිබඳවත්, සීගිරිය විනාශය පිළිබඳවත් ජනතාව වෙත කරුණු හෙළිදරව් කරන්නටය. සීගිරියේ බඹර ප්‍රහාර පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය තුළින් බොහෝ තොරතුරු වාර්තා විය. මේ ප්‍රහාර වැඩි වශයෙන්ම එල්ල වූයේ විදේශිකයන්ට බවද ඇතැම් ප්‍රවෘත්ති වාර්තාවලින් කියෑවිණි. මේ බඹර ප්‍රහාර නිසා සීගිරිය නරඹන්නට එන සංචාරකයන්ට ආරක්‍ෂිත කබා පළඳින්නට ද උපදෙස්‌ ලැබිණි. කෙසේ හෝ බඹර ප්‍රහාර වලට විසඳුම ලෙස අවසානයේදි තීරණය වී ඇත්තේ ඔවුන් මරා දැමීම බව පෙනෙන්නට තිබේ. ඒ අනුව සීගිරියේ බඹරුන් විශාල පිරිසක්‌ මරා දාන්නට ද නිලධාරීන් දැනටමත් පියවරගෙන තිබේ.

ඩීමන් ආනන්ද අපට කියා සිටියේ සීගිරිය ලෝක උරුමයක්‌ වුණේ බඹරුන් එක්‌කම බවයි. එසේ නම් සීගිරියේ බඹරුන් විනාශ කිරීම එම ලෝක උරුමය විනාශ කිරීමේ වැඩපිළිවෙළේම කොටසක්‌ද? ඩීමන් ආනන්ද කියන අදහස්‌ වලින් අපට එසේද හැඟෙයි.

ඇත්තටම සීගිරියේ බඹර ප්‍රහාරවලට විසඳුම කුමක්‌ද? ඒ සත්තු මරා දැමීමද? බෞද්ධයන් ලෙස නම් සත්ත්ව ඝාතනය අපට කිසිසේත්ම අනුමත කළ නොහැකිය. එය මහා පාපකර්මයකි. බඹරුන් මරා පව් පුරවාගෙන සීගිරිය නරඹන්නේ කුමකටද? කවරක්‌ නමුත් දැන් දැන් මේ බඹර ප්‍රහාර වැඩි වන්නට හේතුවක්‌ද තිබිය යුතු බව අපගේ අදහසයි. අතීතයේ මිනිසුන් ඕනෑ තරම් සීගිරිය බලන්නට ගොස්‌ තිබේ. එහෙත් ඉතාම කලාතුරකින් මිස බඹර ප්‍රහාර එල්ල වූයේ නැත. ඒ නිසා බඹරුන් මරා දැමීමටද අවශ්‍යතාවක්‌ නොවීය. එහෙත් දැන් මේ සිදුවී ඇත්තේ කුමක්‌ද?

පරිසර හිතකාමී ඩීමන් ආනන්ද ඒ පිළිබඳ අපට කරුණු පැහැදිලි කළේ මෙසේය. “මම නැවතත් කියනවා. මේ බඹරු මැරීම ජාතික අපරාධයක්‌. බඹරු බොහොම නිහඬතාවට ඇලුම් කරන සත්තු කණ්‌ඩායමක්‌ මිනිස්‌සු කරන අවනීත වැඩ නිසා තමයි, මේ බඹර ප්‍රහාර වලට හේතුව. එය නවත්තන්න ඕන. ඒවා නවත්තන්නෙ නැතුව ඒ සත්තු මරා දාන එක මේකට විසඳුම නොවෙයි.

ඇයි මේ බඹර ප්‍රහාර එල්ල වන්නේ? මම ඩීමන් ආනන්දට ප්‍රශ්නයක්‌ යොමු කළෙමි.

සීගිරිය අවට වනාන්තරය විනාශ කිරීම, මත්පැන් පානය කොට සීගිරිය නැරඹීමට යැම, සංචාරකයන් අධික සුවඳ විලවුන් ගල්වාගෙන යැම, ඝෝෂාකාරීව සීගිරිය ගල නැඟීම, ඝෝෂාකාරී හැසිරීම්, සීගිරි ගලෙන් ගලාගෙන පැමිණි දිය සීරාව නැති වන තැනට කටයුතු කිරීම, සීගිරි පර්වතය මුදුනේ කරල තියෙන වන විනාශය යනාදී මේ හැම දෙයක්‌ම වර්තමානයේ බඹර ප්‍රහාර වැඩිවීමට හේතු වෙලා තියෙනවා. එහෙම නම් මේ වැරදි අපි වහාම නවත්තන්න ඕන. සීගිරිය රැකගන්න ඕන රාජ්‍ය ආයතනවල බලධාරීන් තමයි මේ විනාශයන්ටත් වගකියන්න ඕන. මේ වැරදි වැඩ කරන්නෙ නැත්නම් අපට බඹර ප්‍රහාර නවත්තගන්න පුළුවන්. ඒකට සත්තු මරා දාන එක අපරාධයක්‌. සීගිරියේ ඉතුරු බඹර ජනපද ටිකවත් අපට රැකදෙන්න.

ඩීමන් ආනන්ද පවසන පරිදි සීගිරියේ තිබූ බඹර ජනපදවලින් සියයට 70 ක්‌ පමණම විනාශ කොට අවසන්ය. මේ බඹරුන් විනාශ කිරීමට පෙර ඊට හේතුවූ නිසි කරුණු සොයා බැලීමට බලධාරීන් පියවර ගත්තාද? එසේ නැත්නම් ඒ ඇයි. ඒ බඹරුන් ඝාතනයේ ඉදිරි පියවර යටතේ ඉතිරි බඹර ජනපද ටිකත් විනාශ කිරීමට මේ වගකිවයුත්තන් දැන් සූදානම් වන බවද ඩීමන් ආනන්ද ඇතුළු සීගිරිය සුරැකීමේ සංවිධානයත්, සීගිරිය අවට ගම්වාසීනුත් චෝදනා කර සිටිති. ඉතිරි බඹර ජනපද ටිකවත් රැක දෙන්නැයි ඔවුන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ නිසාය. “දිවයින” කන්තෝරුවේදී අපට කතා කළ ඩීමන් ආනන්ද අපට තවත් හෙළිදරව්වක්‌ කළේය.

රාවණා රඡ්ජුරුවන්ගේ දඬුමොණර යන්ත්‍රය තියෙන්නේ සීගිරිය ගල ඇතුලේ. තව ඇතෙක්‌ බරට වස්‌තුවත් සීගිරිය ගල ඇතුළේ තියෙනවා. දැන් මේවාට ඇතුල්වන දොර පවා සොයගෙන තිබෙන්නේ. මෙතරම් වටිනාකමක්‌ ඇති අපේ සිංහල උරුමය ගැන අද කැණීම් කරන්නේ විදේශිකයින්. ජපනුන්, කොරියන්කාරයන්. මේ අය කැණීම් කරන මුවාවෙන් සීගිරි ගලේ ඇති නිධන් සෙවීමට උත්සාහ දරන බවටද ඩීමන් ආනන්ද ඇතුළු සීගිරිය ගම්වාසීහු සැකපහළ කරති. ඒ නිසා මේගැන වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසත්, සීගිරි පර්වතය විනාශ කිරීම වහාම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔවුහු තවදුරටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

මේ මාසය ඇතුළත ඉතා නුදුරු දිනකදීම සීගිරියේ සිදුවන මේ විනාශයට එරෙහිව උපවාසයක්‌ කිරීමටද සීගිරිය සුරැකීමේ සංවිධානය පියවර ගැනීමටද සූදානම් වෙති. සීගිරිය ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වෙනු ඇත. මේ උපවාසයේ ප්‍රධාන ඉල්ලීම් මෙසේයි. “සීගිරිය විනාශය වහාම නවතනු, සීගිරිය අවට වන විනාශය නවතනු, කැණීම් කරන මුවාවෙන් සීගිරි පර්වතයට කරන හානිය වහාම නවතනු, සීගිරියේ බඹර ජනපද විනාශය නවතනු, ඉතිරි බඹර ජනපද ටිකවත් රැකදෙනු සහ කැණීම් කරන මුවාවෙන් සීගිරියේ නිධන් හෑරීම නවතනු.

පරිසර හිතකාමී ඩීමන් ආනන්ද ඇතුළු සීගිරිය ගම්වාසීන් කියන මේ කතාවල ඇත්ත නැත්ත අප හරිහැටි දන්නේ නැත. මේ ගැන බලධාරීන්ටද කියන්නට වෙනත් අදහස්‌ද තිබෙනවා විය හැකිය. කෙසේ වෙතත් ඩීමන් ආනන්දලා කියන මේ කතාවටත් අප සවන් දිය යුතු යෑයි අපි සිතුවෙමු. මෙය “දිවයින” පුවත්පත හරහා මහජනතාව වෙනුවෙන් අප සටහන් කළේ මේ නිසාය.

සීගිරිය පර්වතයේ සිටින බඹරුන්ට කුමන අයුරකින් හෝ හානියක්‌ පීඩනයක්‌ සිදුනොවන පරිදි සංචාරයකන්ට සිදුවන බඹර ප්‍රහාර නතර කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත්, එය කළ හැකි දෙයක්‌ බවත් ඔවුහු තවදුරටත් කියා සිටිති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත