අපේ අවුරුද්ද

Spread the News


අපේ අවුරුද්ද

තව දින කිහිපයකින් තවත් අවුරුද්දක්‌ උදාවනු ඇත. ඒ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමගය. සූර්යයා පෘථිවිය වටා චලනය වීමේ දී දළ වශයෙන් දින 365 1/4 කට වරක්‌ මේ සංක්‍රමණය සිදුවෙයි. සූර්යයා ගමන් නොකරන බවත් පෘථිවිය නම් සූර්යයා වටා චලනය වන බවත් එබැවින් මෙය මිථ්‍යාවක්‌ බවත් පඬියන් කියනු ඇත. කොපර්නිකස්‌ පෘථිවිය සූර්යයා වටා චලනය වන බව දැනගෙන අවුරුදු පන්සියයක්‌ පමණ වන බවත් එහෙත් අප ඒගැන නොදැනීම පුදුමයට කරුණක්‌ බවත් පඬියන් තවදුරටත් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. එහෙත් මෙරට පඬිවරු විශේෂයෙන්ම බටහිර දැනුමෙන් හිස පුම්බාගත් පඬිවරු බටහිර දැනුම සම්බන්ධයෙන් ද බොහෝ දේ නොදනිති.

චලිතය සාපේක්‍ෂ බවත් නිරපේක්‍ෂ චලිතයක්‌ නොමැති බවත් ඔවුන් නොදන්නා සේය. සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය චලනය වන්නා සේම පෘථිවියට සාපේක්‍ෂව සූර්යයාද චලනය වෙයි. අවුරුද්ද උදාවන්නේ සූර්යයා පෘථිවියට සාපේක්‍ෂව අවකාශයේ තරු පොකුරු (රාශි) පසුබිම් කරගෙන චලනය වන බැවිනි. අවශ්‍ය නම් කෙනකුට සූර්යයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය පදනම් කරගෙන ද අවුරුද්ද උදාවන ආකාරය ප්‍රකාශ කළ හැකිය. අපේ අවුරුද්ද උදාවන විට දළ වශයෙන් සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය කන්‍යා රාශියේ සිට තුලා රාශියට සංක්‍රමණය වෙයි. පඬියන්ට අවශ්‍ය නම් එසේ ප්‍රකාශ කිරීමේ වරදක්‌ ද නැත. අවුරුද්ද උදාවන දිනය හා වේලාව ක්‍රමයෙන් ඉදිරියට ඇදී යයි. රොබට්‌ නොක්‌ස්‌ පැමිණි දිනවල එකල ඉංගිරිසින් යොදාගත් ජුලියස්‌ දින දර්ශනය අනුව අවුරුද්ද උදාවූයේ මාර්තු මස අගදීය.

එහෙත් අද ලෝකයේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ආධිපත්‍යය යටතේ යොදා ගැනෙන ග්‍රෙගරි දින දර්ශනය අනුව නම් එදා අවුරුද්ද උදාවී ඇත්තේ අප්‍රියෙල් මස මුලදීය. අවුරුද්ද සාමාන්‍යයෙන් දින 76 කට වරක්‌ එක්‌ දිනයකින් ඉදිරියට යයි. තව අවුරුදු සියයකින් පමණ අවුරුද්ද අප්‍රියෙල් 15 හා 16 දිනවල උදාවනු ඇත. මෙයට හේතුව පෘථිවියේ අයනය ය. එනම් පෘථිවි අක්‍ෂය පෘථිවි (සූර්ය) ගමන් මාර්ගයට ලම්බ වූ අක්‍ෂය වටා භ්‍රමණය වීමය. (වැඩි විස්‌තර සඳහා සිංහල අවුරුද්ද නමින් පළවී ඇති පොත කියවන්න.) අවුරුද්ද උදාවීම හා මෙකල මන්නාරමට හෝ දෙවුන්දරට හෝ හිරු මුදුන්වන දිනය අතර සම්බන්ධයක්‌ නැත. බටහිරට ගැති පඬියන් මෙන් ම කිසිම තර්කයකට නැතිව හුදෙක්‌ ආවේගීව අදහස්‌ ප්‍රකාශ කරන අයද මෙරට වෙති.

උත්තරායනයේදී දෙවුන්දරට හිරු මුඳුන්වන්නේ අප්‍රියෙල් මස 5 වැනිදාය. අප්‍රියෙල් 14 වැනිදාට හිරු මුදුන්වන්නේ දකුණු ඉන්දියාවටය. ඒ බව විශ්වාස නොකරන අයකු වේ නම් කළ යුත්තේ අප්‍රියෙල් 14 වැනි දාට දෙවුන්දරට හෝ පේදුරුතුඩුවට හෝ ගොස්‌ සෘජු කෝටුවක්‌ පෘථිවියට ලම්බව සිටුවා එහි හෙවනැල්ල නැතිවන වේලාවක්‌ ඇත්දැයි දැන ගැනීම පමණය. මේ පුද්ගලයන් අවුරුදු පතා තමන්ගේ මතය වැරදි බව පෙන්වාදී තිබියදී ද ඒ වැරදි මතයම පුනරුච්චාරණය කරති. හැකිනම් මේ අයට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවැනි අවුරුද්දේ ශිෂ්‍යයකු සමග විවාද කර තම මතය නිවැරදි බව පෙන්වීමට අභියෝග කරමු. බටහිර ගැති පඬියන් නොදැන සිටියද දැනට අවුරුදු 1500 කට පමණ පෙරද භාරතීයයෝ සූර්යයාට සාපේක්‍ෂව සිදුවන පෘථිවියේ චලිතය ගැන දැනසිටියහ. පෝලන්තයේ විසූ කොපර්නිකස්‌ට ඒ පිළිබඳ දැනුම ලැබී ඇත්තේ ද භාරතයෙනි. කොපර්නිකස්‌ ඒ දැනුම ඉතාලියට රැගෙන ගියේ ඔහු කතෝලික පූජකවරයකු ලෙස පුහුණු වීමට එහි ගිය අවස්‌ථාවේදීය. ඒ දැනුම යුරෝපයට බෙදාදීමේ දී ප්‍රධාන කාර්ය භාරයක්‌ ඉටුකළේ ගැලීලියෝ ය.

බටහිර විද්‍යාව උපත ලැබීමේ දී මේ සංසිද්ධිය බෙහෙවින් බල පෑවේය. පෘථිවිය චලනය වන බව භාරතීයයන් බොහෝ කලක සිට දැන සිටිය ද ගැලීලියෝගේ කාලයේදී ද ඒ බව යුරෝපයට එත්තු ගැන්වීම ඉතා අසීරු කටයුත්තක්‌ විය. පෘථිවිය චලනය වන බව පෙන්වීමට ගැලීලියෝ ට අභියෝග කෙරිණි. ගැලීලියෝ අවසානයේදී ඒ සඳහා වියුක්‌ත දැනුම යොදා ගත්තේය. එහෙත් භාරතීයයන්ට එය ප්‍රත්‍යක්‍ෂ සංයුක්‌ත දැනුමක්‌ විය. පංෙච්න්ද්‍රියයන්ට ගෝචර නොවූව ද (පඬියන් කී දෙනකු පෘථිවිය චලනය වනු දැක ඇත්ද? එය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ නොවේ. මා කලකට පෙර පඬියන්ගෙන් ඉල්ලු ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්‌ට්‍රොaන දුසිම තවම ලැබී නැත. අවශ්‍ය නම් ඒ සඳහා ඊළඟ අවුරුද්ද තෙක්‌ කල්ගත හැකිය) දියුණු කරන ලද මනසට සූර්යයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය දැකගත හැකි විය. ධ්‍යාන මාර්ගයෙන් හා භාවනාවෙන් දැනුම ලබා ගැනීමට භාරතීයයන් හා සිංහලයන් පුරුදු වී සිටිය ද යුරෝපීයයනට ඒ කළ නොහැකි විය. ඔවුන් දැනගෙන සිටියේ පංචෙන්ද්‍රියන්ගේ ඇසුරෙන් පමණක්‌ දැනුම ලබා ගැනීමටය.

බටහිර විද්‍යාවට අදත් දැනුම ලබා ගැනීමේදී පංචෙන්ද්‍රිය ප්‍රධාන වන්නේ ඔවුන්ට මනසින් පමණක්‌ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබා ගැනීමට නොහැකි නිසාය. එබැවින් ඔවුහු වියුක්‌ත දැනුමකට ආකර්ෂණය වූහ. මෙයින් කියෑවෙන්නේ මෙරට පඬියන් ද වියුක්‌ත චින්තනයෙහි දක්‍ෂයන් බව නොවේ. ඔවුන් දක්‍ෂ වන්නේ අනුකරණයෙහි දී පමණය. අදත් මෙරට ඇතැම්හු භාවනාවෙන් සිත දියුණු කරගෙන හෝ වෙනත් ආකාරයකින් දෙවියන්, අමනුෂ්‍යයන් ආදීන් සමග සම්බන්ධ වී හෝ දැනුම ලබා ගනිති. ඔවුන් අතර මිත්‍යාදෘෂ්ටික අමනුෂ්‍යයන්ගෙන් දැනුම ලබා ගන්නෝ ද වෙති. එසේ මිථ්‍යා දෘෂ්ටිකයන් ඔස්‌සේ මෙරට ඉතිහාසය විකෘත කිරීමට උත්සාහ ගන්නෝ ද වෙති. එහෙත් ඒ කිසිවක්‌ ප්‍රසිද්ධියේ තමන් දැනුම ලබාගත් ආකාරය නො කියති. ඒ පඬියන්ට ඇති බිය නිසාය. වැඩිකල් නොගොස්‌ම පඬියන් තුට්‌ටුවකටවත් මායිම් නොකරන කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අපි කිහිප දෙනෙක්‌ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම් පිළිබඳ ව ඊනියා ලෝකයාට කෙසේ වෙතත් සිංහලයන්ට කියන්නෙමු. ලෝකයන් වූ ලෝක බැංකුකාරයන් අපට ඉංගිරිසි, තොරතුරු තාක්‍ෂණය, මෘදු කුසලතා හෙවත් මොත්තෙ දැමීම, ඊනියා ජනවාර්ගික සංහිඳියා ගැන කිනම් උපදෙස්‌ දුන්න ද සම්බුද්ධත්වයෙන් විසිහත් වැනි සියවසේ සිට නැවත වරක්‌ දැනුම ආධ්‍යාත්මික ව නිර්මාණය කෙරෙනු ඇත. ඊනියා විසිඑක්‌වැනි සියවසේ දැනුම ලෝක බැංකුවට නොව අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරමු. ලෝක බැංකුවෙන් දෙන මිලියන කිහිපයක ණයකට අපි රට උගස්‌ නො තබමු. අප ණයකාරයන් බවට පත් කිරීමට තිත තබමු.

අපේ අවුරුද්ද යනු ඓතිහාසික ව ගත් කල සිංහලයන්ගේ අවුරුද්ද ය. එය සිංහල හින්දු අවුරුද්දක්‌ බවට පත්කළෝ ඉංගිරිසිහු ය. චින්තන පර්ෂදයේ පිරිසක්‌ කලකට පෙර යාපනයට ගොස්‌ දෙමළ හින්දු ජනයා අවුරුද්ද නොපවත්වන බව නිරීක්‍ෂණයෙන් ම දැනගත්හ. අද ද තමිල්නාඩුවේ හින්දු ජනයා පවත්වන අවුරුද්දක්‌ නැත. අවුරුද්ද වැඩි වශයෙන් ම පැවැත්වෙන්නේ මියන්මාරය, තායිලන්තය වැනි ථෙරවාදී බෞද්ධ රටවල ය. ඒ රටවල සංස්‌කෘතියේ යම් සංරචකයක්‌ සිංහල බෞද්ධ බව බොහෝ දෙනාට අමතක වෙයි. එසේ වී ඇත්තේ සංස්‌කෘතික යටත්විජිතවාදයක ප්‍රතිඵලයක්‌ නිසා නොව ගැමුණු රජු (අවුරුදු ගණනාවක සිට එළාරලා පටබැඳි “දුටු” යන්න එතුමන්ගේ නාමය ඉදිරියෙන් නොයොදන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.) මෙරටට උරුම කරදුන් සිංහල බෞද්ධත්වයේ උදාරත්වය නිසා ය. කෙසේ වෙතත් අද අවුරුද්ද සිංහලයන්ගේ මෙන් ම දෙමළ ජනයාගේ ද අවුරුද්දක්‌ බවට පත්කෙරෙන්නේ නම් අප එයට විරුද්ධ විය යුතු නො වේ. ගැමුණු රජු හඳුන්වා දුන් සිංහල බෞද්ධ රාජ්‍යයට, ඒ (අලිත) ව්‍යවස්‌ථාවට දෙමළ ජනයා පමණක්‌ නොව මුස්‌ලිම් ජනයා ද සංස්‌කෘතික වශයෙන් එකතු කරගත යුතුය. සිංහල කිතුණුවන් ආගමින් කෙසේ වෙතත් සංස්‌කෘතික වශයෙන් සිංහල බෞද්ධයන් මෙන් කටයුතු කරනු දැකීම සතුටට කරුණකි.

අප මෙරට ජනයා එකතු කිරීමට ක්‍රිකට්‌ නොව අවුරුද්ද වැනි සංස්‌කෘතිකාංග යොදාගත යුතුය. අපේ අවුරුද්ද මුළු මහත් රටේ ම, එනම් අප සියල්ලන්ගේම අවුරුද්ද බවට පත්කර ගත යුතුය.

එහෙත් ඒ කළ හැක්‌කේ බටහිර දැනුමට ගැති වී බටහිරින් ලැබෙන ව්‍යවස්‌ථා අනුකරණය කරමින් ඕල්කට්‌ බෞද්ධයන් හෝ කෝනල් සිංහලයන් හෝ වීමෙන් නො වේ. අවුරුද්ද ගොවි සංස්‌කෘතියක කොටසකි. මේ රට ගොවි රටකි. ඒ ගොවිකම බටහිර කෘෂිකර්මයක්‌ නොව සිංහල බෞද්ධ ගොවිකමකි. රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශක ආදිය යොදා ගැනෙන්නේ අපේ ගොවිකමේ නො වේ. අපේ අවුරුද්ද අපේ ගොවිකම සමග බද්ධ නොවුණු කල ඇත්තේ වාණිජ්‍ය අවුරුද්දකි. අද අපේ අවුරුද්ද බොහෝදුරට වාණිජ්‍ය අවුරුද්දක්‌ බවට පත්වී ඇත. එහෙත් අවුරුදු දිනයේ දී අපි තවමත් පන්සල් යමු. අපට තවමත් පුණ්‍ය කාලය නමින් වෙන් කෙරුණු කාල පරිච්ඡේදයක්‌ වෙයි. අප ඒ සියල්ල රැකගත යුතුවා පමණක්‌ නොව වර්ධනය කරගත යුතු ය.

අද ආණ්‌ඩුව ගෙවතු වගාවක්‌ ආරම්භ කර ඇත. ඒ ඉතා වැදගත් කරුණකි. ඒ වගාව බටහිර කෘෂිකර්මය අනුව නොව මෙරට තිබූ සිංහල ගොවිකම අනුව, පිටරටින් විදේශ විනිමය වැයකර පොහොර වල්නාශක කෘමිනාශක යනුවෙන් හැඳින්වෙන වස විස නොයොදා කෙරෙන්නේ නම් වඩාත් වැදගත් වනු ඇත. අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් උපදෙස්‌ දීමට කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්‌ඩායමක්‌ සූදානම්ය. එහෙත් එකක්‌ කිව යුතුය. සිංහල ගොවිකම ආවට ගියාට කළ හැක්‌කක්‌ නොවේ. සිංහල සංස්‌කෘතියේ සෑම දෙයක්‌ම අධ්‍යාත්මය සමග බැඳී ඇත. ගැමුණු රජු ආධ්‍යාත්මිකව යුද්ධ කරන ආකාරය ද අපට ඉගැන්වීය. පසුගිය මානුෂික මෙහෙයුමේදී අපි ඒ යොදා ගත්තෙමු. පස්‌පව්වල ගිලී සිංහල ගොවිකමෙන් ඵල නෙළාගත හැකි නො වේ. සිංහල ගොවියා පළමු කොටම පන්සිල් රකින්නකු විය යුතු ය. ඔහු භාවනාවෙහි ද යෙදෙන්නේ නම් වඩාත් යහපත් ය. අද අපේ ආහාර රටාව ද ඇතුළු ජීවන රටාව වෙනස්‌ වී අපි රෝගීන් වී ඇත. අපට නිරෝගී වීම සඳහා සිංහල ගොවිකම හා ජීවන රටාව සමග බැඳුණු සිංහල වෙදකම වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා සිංහල වෙදකම කෙතරම් දියුණු ද යන්න මම දිනපතා අත්දකිමින් සිටින්නෙමි. මේ සම්බුද්ධත්ව ජයන්ති අවුරුද්දේ අපි නැවතත් සිංහල බෞද්ධ වෙමු.