Spread the News

බෑන් කී මූන්ට එරෙහිව හොරණ විරෝධතාවක්

හොරණ මධ්‍යම විශේෂ චන්ද්‍රා ශ්‍රී පෙරේරා

source link:

Video link:

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ ත්‍රි පුද්ගල කමිටු වාර්තාව අප රට වසර 30කට පසු ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් නිදහස් නිවහල් භාවයට තර්ජනයක් වන අයුරින් නිර්මාණය කර ඇතැයිද, එය සාවද්‍ය හා අවිචාරවත් වාර්තාවක් ලෙසට අපට ද පෙනී යනු යැයි පවසමින් ඊයේ (24 ඉරිදා) සන්ධ්‍යාවේ හොරණ ප්‍රධාන බස් නැවතුම් පළේ දී ප්‍රදේශයේ මහා සංඝරත්නය, දේශපාලනඥයන් හා පොදු මහජනතාව විසින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් බස් නැවතුම්පළ ඉදිරිපිට දී බෑන් කී මූන්ගේ අනුරුවක් පිළිඹිබුවන පඹයකු පුලුස්සා දමන ලදී.

මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණේ හොරණ නගර සභාව හා හොරණ ප්‍රාදේශීය සභාවයි. මෙම අවස්ථාවට හොරණ නගර සභාවේ සභාපති ග්‍රැන්විල් රාජපක්ෂ, ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් හතුරුසිංහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන යසපාල කෝරලගේ, ලලිත් වර්ණකුමාර බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි ඇතුළු නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් ද හොරණ පූර්වාරාමාධිපති උඩුගල් මොටේ සිරිවිමල හිමි ඇතුළු ප්‍රාදේශීය විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා රැසක්ම සහභාගි වී සිටි අතර, එම ක්‍රියාව පිළිබඳව ජනතාව හා මාධ්‍යවලට කරුණු පැහැදිලි කිරීමක්ද කරනු ලැබීය.

උඩුගල්මොටේ සිරිවිමල හිමියෝ – කිරිබොන වයසේ දරුවාගේ සිට මහල්ලා දක්වා ඝාතනය කරමින් ශ්‍රී මහා බෝධිය, දළඳා වහන්සේට කෲර ලෙස පහරදෙමින් රටේ අස්සක් මුල්ලක් නෑර වසර 30ක් ත්‍රස්තවාදය පතුරවා තිබියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රට ඉන් මුදාගෙන මානුසික මෙහෙවරක් රට තුළ ස්ථාපිත කරද්දී එයට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නිර්මාණය කරනු ලබන කුමන්ත්‍රණකාරී කමිටු නිර්දේශය රටට ආදරය කරන සියලු දෙනාම පක්ෂ, භේදවලින් තොරව විරෝධය පා ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ත්‍රිවිධ හමුදාවටත් ශක්තිය හා ධෛර්ය ලබාදිය යුතු යැයි ද කීහ.

මෙහි දී නගර සභාපති ප්‍රාදේශීය සභා සභාපති පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද අදහස් දැක් වූහ.