Spread the News

රූපවාහිනියේ රූකඩ නොවන්නට…

source
ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මිනිස්‌ මනසට කරන්නාවූ බලපෑම අතිශය ප්‍රබලය. ඇසි පිය නොහෙළා එදෙස බලා සිටින ඕනෑම තැනැත්තෙකු ඒ කෙරෙහි ඇදී බැඳී යන්නේ දිගු කාලීනව රැවටීමකට තමා ගොදුරු වන බව නොදැන විය හැකිය. උගුරට හොරා බෙහෙත් කන්නා සේ රැවටෙන බව දන්නා නමුත් නොරැවැටුනා සේ රැවටෙන පිරිස ද මේ අතර වේ. මෙහි බරපතළම ව්‍යසනයට ගොදුරු වන්නේ අපගේ දරු පරපුරයි. විශේෂයෙන් ම එදිනෙදා ජීවිතයේ අතිශය සමීපතම ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වන රූපවාහිනිය හරහා බහුජාතික සමාගම් හි ඉලක්‌ක බවට පත්ව ඇත්තේ දරු පරපුරයි. රූපවාහිනියෙන් දෘශ්‍ය වන බොහෝ චරිත හා සිදුවීම් අත්හදා බැලීම දරුවන්ගේ ස්‌වභාවයයි. දරුවන්ගේ සාමාන්‍ය ස්‌වභාවය වන්නේද අන් අය අනුකරණය කිරීමයි. මව් කුසින් මෙළොව එළිය දුටු දා පටන් ඇසෙන දේ කියන්නත්, දකින දේ කරන්නත් දරුවන් නිරතුරුව උත්සුක වනු ඇත. සොබාදහම, අවට පරිසරය අත්විඳින්නට උපන් මොහොතේ පටන් දරුවන්ට ඉඩකඩ සලසන ලෙස මනෝ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එබැවිනි.

කාර්යබහුල මිනිස්‌ සමාජයේ මව්පියන්ට තම දරුවන්ට සොබා දහම අත්විඳීම සඳහා යොමු කරවීමට තරම් ඉස්‌පාසුවක්‌ නැත. හිමිදිරි උදෑසන ගස්‌ අතුපතර මතින් හිරු නැගෙන අයුරු වත්මන් සමාජයේ මව්පියවරුන් බොහෝ විට දකින්නේ නැත. උදා හිරු සමඟ ප්‍රබෝධවත් වන පරිසරයේ සෞන්දර්ය අත්විඳින්නටද ඔවුන්ට පින් මහිමයක්‌ නැත. මළ හිරු බැස යද්දී රන්වන් පැහැවන අහස්‌ කුසෙහි සියොතුන් වේගවත් ගමනේ සිය කැදැලි කරා යන අයුරු ද ඔවුන් දකින්නේ නැත. හිරු නැගෙන්නට පෙර නිවසින් බැහැර වන මව්පියවරුන් පොදු ප්‍රවාහන සේවාවල තෙරපෙමින් රැකියා ස්‌ථාන කරා ගොස්‌ දවස පුරා නොයෙකුත් පීඩනයන් හිස්‌ මුදුණේ ගොඩ ගසා ගනු ඇත. ඔවුන් යළි නිවෙස්‌ වෙත පැමිණෙන්නේ මළ හිරු සැඟවී හෝරා කිහිපයකට පසුවය. දවස පුරා එක්‌ රැස්‌ කළ සියලු දුක්‌ඛ දෝමනස්‌සයන් නළු නිළියන් සමඟ බෙදා හදා ගැනීම සඳහා ටෙලිවිෂනය ඉදිරිපිට හරි බරි ගැසී අසුන් ගන්නා දෙමව්පියන්ට රෑ අහසේ තරු මල් පිරිවරාගෙන සඳ නැගෙන අයුරු හෝ සඳ බැස යන අයුරු හෝ දකින්නට වරම් අහිමිය. එහෙව් දෙමව්පියන්ගේ දරුවන්ට සොබා දහම අත්විඳින්නට කවර නම් ඉඩක්‌ද?

ජපානයේ රූපවාහිනිය ආරම්භ වූයේ ප්‍රධාන අරමුණු තුනක්‌ මුල්කර ගනිමිනි. ඉන් පළමුවැන්න අධ්‍යාපනයයි. දෙවැනි, තෙවැනි අරමුණු වූයේ රසඥතාවය හා තොරතුරු සන්නිවේදන කිරීමයි. එහෙත් වර්තමානයේ රූපවාහිනිය ඔස්‌සේ මෙම මූලික අරමුණු ඉටුවන්නේ දැයි ප්‍රශ්න කළ හැකිය. අධ්‍යාපනික වැඩසටහන් සීමිත ප්‍රමාණයක්‌ ඇති නමුත් ඒවා ද විභාග ඉලක්‌ක කරගත් සුළුතරයකට පමණක්‌ ලඝූ වූ වැඩසටහන්ය. බොහෝ තොරතුරු සන්නිවේදනය කරන නමුත් ඒ ඒ නාලිකා එම තොතර=රු සන්නිවේදනය කිරීමෙහිලා දක්‌වන පරස්‌පරතාවන් මහජන විශ්වාසය පළුදු කරනවා හැරෙන්නට වෙනත් සිදුකරන්නා වූ යහපතක්‌ නැත.

රසඥතාවය සම්බන්ධයෙන් කතා කිරීමට බොහෝ දේ ඇත. එය ඉතා කෙටියෙන් නැතහොත් සංක්‍ෂිප්තව දක්‌වන්නේ නම්, රසඥතාවය සුනුවිසුනු කර දමන්නට රූපවාහිනිය පැරද වූ අන් කිසිවක්‌ නැති තරම්ය. වර්තමානයේ රූපවාහිනී නාලිකා ඔස්‌සේ විකාශය වන එකක්‌ දෙකක්‌ වැඩසටහන් හැර සියලු දැ එසේම යෑයි නොබියව ප්‍රකාශ කළ හැක්‌කේ අතීතයේ ඉහළ රසඥතාවකින් යුතු වැඩසටහන් රැසක්‌ විවිධ නාලිකාවල විකාශය වූ බැවිනි. යම්කිසි දෙයක්‌ තිබූ තැනක සිට ප්‍රගතිය කරා ගමන් කරනවා වෙනුවට අපේ රටේ රූපවාහිනී මාධ්‍ය ප්‍රතියමාන කරනුයේ ඊට පටහැනි වූ ප්‍රතිඵලයකි.

මෙයින් බහුජාතික සමාගම්හි ඉලක්‌ක ග්‍රාහක පිරිස ළමයින් නම් ඔවුන් ඩැහැ ගැනීම උදෙසා රූපවාහිනිය ඔස්‌සේ දියත් කරන්නා වූ වැඩසටහන් මොනවා දැයි අවධියෙන් යුතුව විමසීම වැදගත් වේ.

ළමා පරපුර වැඩි නැඹුරුවක්‌ දක්‌වන්නේ කාටූන් වෙතය. ඒවයෙහි විකාශය වන්නේ නැත්නම් අන්තර්ගත දර්ශන හා හඬකැවීම්වලට මුසුවූ භාෂා විලාසය කුමක්‌ දැයි දකින්නට අසන්නට දෙමව්පියන්ට වේලාවක්‌ නැත. මන්ද ඒවා විකාශය කෙරෙන්නේ උදෑසන මව මුළුතැන්ගෙයි කඩිමුඩියේ ඉවුම්, පිහිම් කරන වේලාවේදීය. බොහෝ පියවරු ඒ කාලය ගතකරනුයේ එක්‌කෝ මූණ කට සෝදා ඇඳුම් ඇඳ රැකියාවට යැමට සූදානම් වෙමිනි. නැතහොත් හොඳහැටි නින්දේය. සවස්‌ කාලයෙ ද ගෙදර සිටින වැඩිහිටි පිරිස රාත්‍රි ආහාරය පිළියෙල කිරීමට සූදානම් වන හෝ බොහෝ දරුවන්ගේ රැකවරණයට සිටින ආච්චිලා, සීයලා හැන්දෑවේ මල් පහන් පුදන්නට කළමනා සූදානම් කරනුයේ කාටූන් විකාශය වන කාල හෝරා කිහිපය ඇතුළතදීය. රැකියා සඳහා ගිය දෙමව්පියන් ගෙන් වැඩි දෙනෙක්‌ ඒ වේලාව වනවිට නිවෙස්‌වලට පැමිණ නැත. පැමිණ ඇතත් ඔවුන් ගේ දොර අස්‌පස්‌ කිරීමට යොමුවනු ඇත. මේ නිසා දරුවන්ට කිසිවකු ගේත් බලපෑමකින් තොරව තනිවම විග්‍රහ කර ගනිමින් මෙම කාටූන් බැලීමට හැකිවනු ඇත. මෙම වේලාවන් යොදා ගැනීම බහුජාතික සමාගම් විසින් සිතාමතා සිදුකරන බව කිව යුතුය. ඉතා සූක්‍ෂම ලෙස දරුවන්ගේ මනස විකෘති කරවීම හා නොයෙකුත් ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමේ අභිලාෂයෙන් දරුවන්ව නොයෙක්‌ දෑ කෙරෙහි ක්‍රමානුකූලව ඇම්බැහි කරවා ගැනීම මෙම කාටුන් හරහා ඉතා සාර්ථකව සිදුකරගෙන යන බව මව්පියවරුන් ගෙන් බහුතරයක්‌ නොදන්නා කාරණයකි. ඒවායෙහි ගැහැනු පිරිමි පෙම් කරන ආකාරය, මත් වතුර පානය කරන ආකාරය, එවැනි භාවිතයන් නිසා මත්වීමෙන් පසු අසිහියෙන් යම් යම් දේ සිදුකිරීම විදහා දක්‌වන ආකාරය දැකීමෙන් සිනහා සෙමින් දරුවන් මහත්සේ විනෝදයක්‌ ලබනු ඇත. මත්වීම සුන්දර විනෝදයක්‌ බව ඒ හරහා ඉතාමත්ම සූක්‍ෂම ආකාරයෙන් පුංචි මනස විකෘති කරනු ඇත. වැඩිහිටියන් බවට පත්වීමෙන් පසු බහුජාතික සමාගම්වල ආදායම් ඉහළ දැමීමට මෙම දරු පරපුර විශාල ආයෝජනයක්‌ වනු ඇත.

වැඩිහිටි අත්දැකීම් කාටූන් ඔස්‌සේ තම තම නැණ පමණින් අත්විඳින දරු පරපුර නිරතුරුවම වැඩිහිටියන් උදෙසා ඉදිරිපත් කරන චිත්‍රපට, ටෙලි නාට්‍ය නැරඹීමට උත්සුක වනු ඇත. ඇතැම් දෙමව්පියන්ගේ අදහස වන්නේ පුංචි දරුවෝ ටෙලි නාට්‍ය දිහා බලාගෙන හිටියාට ඒවායේ පෙන්වන හා කියන දේවල් දරුවන්ට නොතේරෙන බවයි. මෙම අවතක්‌සේරුව දරුවන් සිත්සේ භුක්‌ති විඳින අතර වැඩිහිටි නාට්‍ය නරඹමින් කාටූන් හරහා ලැබූ අත්දැකීම් තවදුරටත් පෝෂණය කර ගැනීම දරුවන් විසින්ම සිදු කරගනු ඇත. යම්කිසි අවස්‌ථාවක දරුවන්ගේ වචන භාවිතයේ හෝ ක්‍රියාකාරකම්වල විශේෂ අවස්‌ථාවක්‌ ඇති වුවහොත් වැඩිහිටියන් සිනහාසෙමින් දරුවා ඉදිරියේදීම එය විග්‍රහකරනුයේ දැන් ළමයි අපිට වඩා බුද්ධිමත්, හරියට පැහිලා, මේවා කොහෙන් ඉගෙන ගන්නවාද මන්දා” අපි නම් ඒ කාලේ ඕවා අහලාවත් නෑ. දැන් ළමයි අපට වඩා දක්‍ෂයි ආදී වශයෙනි. මෙවැනි දෙයින් දරුවන් තමා ගැනම තක්‌සේරු ගොඩනඟා ගනිමින් එතැන් සිට ඉහළට ගමන් කරනු ඇත.

ලෝකයේ බොහෝ රටවල් සිදු කර ඇති පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ රූපවාහිනිය නැරඹූ වයස අවුරුදු 18 ට හෝ 16 ට අඩු ළමයි වැඩි සංඛ්‍යාවක්‌ තරුණ වියට පා තැබීමත් සමඟම දිගුකාලීනව මත්පැන් හා දුම්වැටි භාවිතයට ගොදුරු වන බවයි. දුම්කොළ හා මද්‍යසාර සමාගම් බොහෝමයක්‌ ලොව පුරා ටෙලි නාට්‍ය හා සිනමා නිර්¨මාණ සඳහා නිෂ්පාදන වියදම් ලබා දෙනුයේ ඇදහිය නොහැකි සීමා විරහිත ප්‍රමාණයන්ටය. එයට හේතුව සෑම රූප රාමුවකින්ම විශාල ප්‍රේක්‌ෂක පිරිසක්‌ තම ගනුදෙනුකරුවන් ලෙස අනාගතයේදී තම ව්‍යාපාරයට එකතුවන බව ඔවුන්ට සක්‌සුදක්‌ සේ තහවුරු වී ඇති බැවිනි.

දුම්වැටි හා මද්‍යසාර නිෂ්පාදන භාවිත කිරීමෙන් මව් කුස තුළ සිටින දරුවන්ගේ පටන් ලොව පුරා මිනිස්‌ ප්‍රජාව අතිශය භයානක රෝග තත්ත්වයන්ට ඇද දමනු ඇත. හෘද රෝග, දරුණු පිළිකා, දියවැඩියාව, මූලගාය (අර්ශස්‌), ආමවාත රෝගය (ග්‍රැස්‌ට්‍රයිටිස්‌), අංශ භාග ඇතුළු රෝග ගණනාවකට දුම්වැටි හා මද්‍යසාර භාවිතය හේතුවකි. ලොව පුරා මිනිස්‌ ජීවිත ගණනාවක්‌ අකාලයේ ඝාතනය කර දැමීමට මෙම දුම්වැටි හා මද්‍යසාර ප්‍රබල සාධකයක්‌ විය. එපමණක්‌ නොව මද්‍යසාර භාවිතය නිසා ඇතිවන සිහි මඳ ගතිය කාලයාගේ ඇවෑමෙන් මානසික විකෘතිතා ඇතිකිරීමටත්, පිත්තාශය ඇතුළු ඉන්ද්‍රියන්වල නොයෙකුත් රෝගකාරකයන්ටත් මූලිකත්වය සපයනු ඇත. මද්‍යසාර භාවිතා කරමින්, එය ඇපයට තබමින් පෞද්ගලික පළිගැනීම් සිදු කළ අවස්‌ථා මෙන්ම නොයෙකුත් ලිංගික හිංසන ක්‍රියාවලියන් සිදුකරන බවට තොරතුරුවල අඩුවක්‌ නැත. ශ්‍රී ලංකාවේ ගෘහස්‌ථ හිංසනය බහුලවීම කෙරෙහි මද්‍යසාරවලින් ලබා දෙන රුකුල සුළු පටු නොවේ.

පවුල් ඒකකවල ආර්ථිකය කඩා වැටීම කෙරෙහි ද දුම්වැටි හා මද්‍යසාර බලපානු ඇත. ඊට ඇබ්බැහි වූ පිරිස එදිනෙදා උපයන සියලු සේසත දුම්වැටි හා මද්‍යසාර භාවිතය සඳහා වැය කරද්දී අඹුදරුවන් කුසගිනි උහුලා ගන්නට නොහැකිව පවුල් සංස්‌ථා ගිනි ජාලා බවට පත්වනු ඇත. විශේෂයෙන්ම එදිනෙදා කුලී වැටුපෙන් ජීවත්වන ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාව මද්‍යසාර ලෝලීන් වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල් ගොඩනඟා ගැනීමට ක්‍රමයක්‌ ඇත්තේම නැත. කම්කරුවන් සදාකල් කම්කරුවන් ලෙසම තැබීමට නම් ඔවුන්ව මද්‍යසාරයට හා දුම්වැටිවලට හුරුකරවීම කළ යුතුය. මන්ද ඔවුන් එම සමාජ තලයෙන් ඉහළ සමාජ තලයකට ගමන් කළහොත් කම්කරු සේවාවේ අඩුව පිරවීමට වෙනත් පිරිසක්‌ නොවන බැවිනි. මේවාද බහුජාතික සමාගම්හි අතකොලු සේවාවන්වල නියුතුවූවන්ගේ උප්පරවැට්‌ටි බව කෙසේ නම් එම අහිංසක කම්කරු ජනතාවට පහදා දෙන්නේද?

දුම්වැටි හා මද්‍යසාර අභිබවමින් මේ රටේ පාසල් අවට ඉතා භයානක ලෙස විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට තොරතුරු වාර්තා වෙමින් පවතී. සියලු ව්‍යාපාරිකයන්ගේ ඉලක්‌ක ආයෝජකයින් වන්නේ ළමා පරපුර බැවින් ඔවුන් එම ගොදුරුවලින් රැක ගැනීම ශ්‍රී ලංකාව ඇතුළු තුන්වැනි ලෝකයේ රටවල් බහුතරයකට අද ගැටලුවක්‌ වී තිබේ. ඉතා සුළු ඉඩකඩකින් පවා දරුවන් වෙත රිංගා එන්නට තරම් අලෙවිකරණයේ සූක්‍ෂමතා ප්‍රබලය. ඊට ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලින් ලබා දෙන්නා වූ දායකත්වය අතිවිශාලය. එබැවින් දරුවන්ට අහිතකර භයානක දෑ රූපවාහිනිය ඔස්‌සේ විකාශය කිරීම නවතා දැමීමට ඔබ අප කිසිවෙකුටත් කළ හැකි නොවේ.

මේ යථාර්ථය හොඳින් අවබෝධ කර ගනිමින් අනාගත දරු පරපුර ගොදුරු කර ගැනීමට පැමිණෙන භයානක විනාශකාරී රකුසෙකු ලෙස භාර ගනිමින් නිවසේ රූපවාහිනියෙහි ස්‌විචය නිවා දැමීම හැර මීට වෙනත් විසඳුමක්‌ ඇත්තේම නැත. රූපවාහිනියෙන් ඉතාම සුළු වශයෙන් ප්‍රයෝජනයක්‌ ලැබුණත් මහා පරිමාණයෙන් සිදුවන විනාශයන් පිළිබඳ සංවේදී වෙමින් දරුවන්ගේ ඇස ගැටෙන මානෙකවත් එය නොතබා වසා දැමීමෙන් ඔබේ දරුවන් වහා විනාශයකින් යම්තාක්‌ දුරකට ආරක්‌ෂා කරගත හැකි වනු ඇත. රූපවාහිනිය ඔබව පාලනය කරන්නට පෙර ඔබ රූපවාහිනිය පාලනය කළ යුතු වේ.

තුෂාරී කළුබෝවිල