Spread the News

කන්දේ විහාරයේ දේපොළ සොරාගත්
සිව්දෙනාම වරද පිළිගනිති

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ source:

ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරස්‌ථානයේ ධාතු මන්දිරයට ඇතුළු වි රුපියල් ලක්‍ෂ දෙකක්‌ වටිනා රන්මාල හතරක්‌ද රුපියල් 29,000 ක මුදලක්‌ද සොරාගැනීම සහ ඓතිහාසික බිතුසිතුවම්වලට හානි කිරීමේ නඩුවේ චූදිතයන් සිව්දෙනා ඊයේ (9 වැනිදා) කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් කනිෂ්ක විඡේරත්න මහතා ඉදිරියේ චෝදනාවන්ට වරද පිළිගත්තේය.

චෝදනා සියල්ලටම වරදකරුවන්වූ චූදිතයන් සිව්දෙනාට වසරක බැගින් බරපතළ සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවම වසර පහකට අත්හිටුවනු ලැබීය. එක්‌ චූදිතයකුට රුපියල් 51,500 බැගින් සිව් දෙනාට රුපියල් දෙලක්‍ෂ හය දහසක දඩයක්‌ද ගෙවීමට නියම කළ විනිසුරුවරයා කන්දේවිහාරයට රුපියල් ලක්‍ෂ දෙකක වන්දි මුදලක්‌ ගෙවන ලෙසද චූදිතයන්ට නියම කළේය.

රුපියල් 15,000 ක දඩ මුදල් නොගෙවන්නේ නම් චූදිතයන්ට වසර දෙකක ලිහිල් සිරදඬුවමක්‌ද රුපියල් 50,000 ක දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6 ක ලිහිල් සිරදඬුවමක්‌ද චූදිතයන්ට විනිසුරු නියම කළේය.

මෙහි චූදිතයන් වූයේ සංඛ සංජීව, කේ. ඒ. ජෝසප් සුරේෂ්, නවීන් දර්ශන කුලසේකර හා කේ. කේ. ප්‍රභාත් විඡේවර්ධන නොහොත් ජෝරා යන අයයි. 2011-02 – 4 වැනි දින කන්දේ විහාරස්‌ථානයට ඇතුළු වී මෙම සොරකම සිදුකිරීම සම්බන්ධව සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර 5 වැනි චූදිත වූ පින්තාලියේ වංගීස්‌සර හිමි, ඒ. තුෂාර සිල්වා යන දෙදෙන නීතිපතිවරයා විසින් නිදහස්‌ කර තිබිණි.

අලුත්ගම පොලිස්‌ ස්‌ථානාධිපති හා ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රවිදු සිල්වා මහතා විසින් මෙම නඩුව පවරා තිබිණි.