Spread the News

රාවතාවත්ත ළමා නිවාසයේ සාක්ෂි යටපත් කර අධිකරණය නොමග යැව්වාද ? – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Source:

මොරටුව රාවතාවත්ත “ප්‍රේම් ළමා නිවාසයේ” පාලනාධිකාරිය විසින් දරුවන් විකිණීමේ ජාවරමක යෙදී සිටියැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ඊට අදාල ව කටයුතු කිරීම සහ සමස්ථ සිදුවීම සම්බන්ධයෙන් නිකුත් වී තිබෙන අධිකරණ තීන්දුවේ දී සාක්ෂි යටපත් කොට අධිකරණය නොමග යැවීමක් දැයි ජාතික හෙළ උරුමයේ නායක, ආචාර්ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රශ්ණ කරති.

මේ බව දක්වමින් උන්වහන්සේ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක් වේ.

මොරටුව රාවතාවත්ත “ප්‍රේම් ළමා නිවාසයේ” දරුවන් විකිනීමේ ජාවාරමක යෙදී ඇති බවට තොරතුරු ඇතැයි ළමා ආරක‍ෂක අධිකාරිය පසුගිය දිනක රටට හෙළි කරන ලදී. මහත් ආන්දෝලනයකට පත් එම පුවත සම්බන්ධව රටේම අවධානය යොමු විය. මෙම සිද්ධිය සම්බන්ධව ළමා ආරක‍ෂක අධිකාරිය විසින් පුළුල් විමර්ෂණයක නිරත වෙමින් සිටියදී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් විසින් “මිෂනරි ඔෆ් චැරිටි” දූත සේවාවේ කටයුතු වලට එරෙහිව ජාතික ළමා ආරක‍ෂක අධිකාරිය ගෙන යන වැඩපිළිවෙලට තමන් නිල වශයෙන් විරෝධය පළ කරන බවත් එළඹෙන නත්තල් සමයේ කිසිදු රාජ්‍ය උළෙලකට සහභාගි නොවන බවත් ප්‍රකාශ කර සිටින ලදී.

රටේ පවතින පොදු නීතිය අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ප්‍රේම් ළමා නිවාසයට විරුද්ධව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අවස්ථාවක අගරදගුරුතුමාගේ එම තර්ජනාත්මක ප්‍රකාශය නීති ගරුක, විනය ගරුක සමාජය අනුමත නොකල හ. ස්වාධීන පරීක‍ෂණයකින් හෝ අධිකරණමය තීන්දුවකින් සත්‍ය අසත්‍යතාවය රටට හෙළිදරව් වීමට පෙර මෙම පරීක‍ෂණ නවතා දමන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් විසින් රජයට හා ළමා ආරක‍ෂණ අධිකාරියට දැඩි බලපෑම් එල්ල කලේ කුමන පදනමක සිට ද යන්න පැහැදිලි කරගත යුතුව ඇත.

එනමුත් අධිකරණ තීන්දුව ලබා දීමට පෙර රජයේ වගකිවයුතු ඇමතිවරු කිහිප දෙනෙක් අගරදගුරුතුමාගෙන් සමාව අයැද සිටියේ ඇයිද යන්න ප්‍රශ්ණයකි. අධිකරණමය තීන්දු අප කිසිසේත් ප්‍රශ්ණ කිරීමකට හෝ අභියෝගයකට ලක් නොකරන අතර ළමා ආරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවත්වන්නට යෙදුනු ප්‍රේම් ළමා නිවාසයට එරෙහි පරීක්ෂණ පොලීසියට හා රහස් පොලීසියට භාර දුන්නේ ඇයිද යන්න නැවත සිතා බැලිය යුත්තකි. එම පරීක්ෂණ නොමග යැවීමට හෝ යටපත් කිරීමට යම්කිසි අදිසි හස්තයක් ක්‍රියාත්මක වී ඇති බව ඉතාම පැහැදිලි ය. එසේම ප්‍රේම් ළමා නිවාසය නීති විරෝධී බවට සාක්ෂි ඉදිරිපත් කල ළමා ආරක්ෂණ අධිකාරියට අධිකරණය හමුවේ මුනිවත රැකීමට සිදුවූයේ ඇයිද යන්නත්, ප්‍රශ්න කළ යුතුව ඇත. ස්වාධීන පරීක්ෂණයක යෙදී සිටි එම නිළධාරීන් වෙත එල්ල කෙරුණු තර්ජන ගර්ජන හමුවේ ඔවුන්ට නිහඬ ව සිටින්නට සිදුවූවා ද?
කරුණු මෙසේ හෙයින් මේ රටේ අධිකරණයේ ස්වාධිපත්‍ය අභියෝගයට ලක්වී ඇති ආකාරය සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.

ආචාර්ය්‍ය ඕමල්පේ සෝභිත හිමි
නායක,
ජාතික හෙළ උරුමය